Home » දේශීය සංස්කෘතිය » ජාතිය වෙනුවෙන් යුධ වැදුණු වරදට බලහත්කාරයෙන් දුප්පත් කළ ඌවේ සිංහලයෝ
dis_mon_dayatakirula3

ජාතිය වෙනුවෙන් යුධ වැදුණු වරදට බලහත්කාරයෙන් දුප්පත් කළ ඌවේ සිංහලයෝ

“තදින් එන සුළං හඬ සලකා හූවේ
පෙදෙන් නම යෙදුණු බව පවසමි ඌවේ“
ජන කවියා පැවැසු පරිදි ඌවට නම් ලැබුණේ කඳු මුදුන් සිට සිසාරා හූ හඞ නඟමින් එන සුළං හඬ හේතුවෙන්, ඌව යන නම සැදුණු බවකි. එසේම උල්පත් බහුලව පැවැති පළාතක් බැවින් ඌල් නමින්ද පසුව කටවහරින් ගොස් ඌව නමට නාමකරණය ලද බවද, පැවැසේ. මේ ආකාරයට ඌව නමින් නම ලැබීමට තවත් ඉතිහාස කතාන්දර ගණනාවක්ම පවති.
මහවැලි මහ නදියෙන් පෝෂණය වන්නාවුද, පිදුරුතලාගල, නමුණුකුල, මඩොල්සිම කඳුවැටියෙන්ද, හපුතලේ කඳු මුදුන්වලින්ද ඇරඹෙන වළවේ ගඟ, මැණීක් ගඟ, ඌමා ඔය, කිරිඳි ඔය, බඳුලු ඔය, ලොග්ගල් ඔය, හෑපොළ ඔය, ගලඔය, මාතැටිල් ඔය, කුඹුක්කන් ඔය, උල්හිටිය ඔය, මාඳුරුඔය, ඇතුළු මහා ගංඟා, ඔයවල් වලින් සුසැදි සශ්‍රීක වු ඌව පළාත රටේ ඓතිහාසික වැදගත් තැනක් හිමි කරගත් පළාතකි.

image-slider-3

මහවැලි නදි නිම්නයේ සඟවා ඇති ප්‍රාග් ඓතිහාසික යුගයට දිවෙන ඉතිහාසයද එලෙසම රාවණා ඇල්ල ගිරි ශිඛර අතරද සිරව ඇති ඉතිහාසයක් ඇති බවද පැවසිය යුතුය. ඌවේ මනරම් බව සොබාදහමෙන් සිතුවම් කළ රටේ උසම දියඇල්ල වු බඹරකන්ද ද, කාගෙත් නෙත් සිත් වසඟ කරන දියළුම, දුංහිඳ, රාවණා ඇල්ල, පීස්ස ඇල්ල බෝඹුරුඇල්ල ආදි දිය ඇලිද, ඒවා නිර්මාණයට දායකවූ ප්‍රතාපවත් පෞරුෂයකින් නැඟි සිටි නමුණුකුල, මඩොල්සිම , හපුතලේ කඳුද සොබාදහම ඌවට උරුම කරදුන් අමිලවූ මනරම් දයාද විය.

73-namunukula

බුදුරාජාණන් වහන්සේගේ පහස ලැබූ මේ රටේ පළමු බිම්කඩ මහියංගනය විය. එසේම මුතියංගණය, කිරිවෙහෙර ලොව බෞද්ධ ජනයාටම පුජනීය ස්ථාන බවට පත්විය. එසේම ආසියාතික සමාජ රටාවකට ඉතිහාසයෙන් උරුමකම් කියු අපේ රටේ වැසියන් බෞද්ධාගමින් පෝෂණය විය. ඒ අනුව ඌව දනව්ව පුරා ඓතිහාසිකව වැදගත් කමින් යුක්ත බෞද්ධ වෙහෙර විහාර රාශියක් ඉදිවුණි. ඒවාද ඌව බැබැළු ආභරණ විය.

z_p02-Religious-01

දුටුගැමුණු  රජ දවස රට එක්සේසත් කිරිමේ මහා සටනක් දියත්වු බව ඉතිහාසයේ සඳහන් වේ. එම සටනට ඌව වෙල්ලස්සෙන් මිල කල නොහැකි දායකත්වයක් ලබාගත් බවටද ඉතිහාසය සාක්ෂිදරයි. යුද්ධයක් කිරිමට ප්‍රථම ඊට රට සුදානම් කළ යුතුය. රටේ ආර්ථිකය ඊට අනුරුප ලෙස ශක්තිමත් කළ යුතුය. ඒ සඳහා කෘෂීකර්මාත්තය නඟාසිටුවා ආහාර අතින් ස්වයංපෝෂිත බවක් ගොඩනඟා ගත යුතුය. ඒ සඳහා මනා සැලසුම් සහගතව සුදානම් විය යුතුය. දුටුගැමුණු  රජතුමාගේ සහෝදරයා වු සද්ධාතිස්ස කුමරුට එම වගකිම පැවැරු බවත් ඒ අනුව වෙල්යායවල් ලක්ෂයක්, වෙල්ලස්සට, ඌවට උරුම වු බවත් ඉතිහාසය පවසයි. ඌව යනු මහා ධාන්‍යාගාරක් බවට පත්වු වෙල්යායවල් ලක්ෂයක්ද, වැව් අමුණු ලක්ෂයක් ඉක්මවු ප්‍රමාණයක් ද, මනා ස්වයං පෝෂිත භාවයෙන් යුත් ගෙවතුවලින් ජනාවාස වූ බිමක්ද, මේ සශ්‍රීකත්වය හේතුවෙන් කායික හා මානසික ශක්තියෙන් හෙබි ජනතාවක්ද උරුම වු සුවිශේෂී බිමක්ද බවට ඌව පත්විය.

10-copy

1815 මාර්තු 02 වන දින මුළු ශ්‍රී ලංකාද්වීපයම බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්විමත් සමඟ ස්වදේශික ලාංකික ජනයා මහත් මානසික පීඩාවකට, ආර්ථික කඩාවැටීමකට, සංස්කෘතික විනාශයකට ගොඳුරුවන්නට විය. මෙම ආර්ථික සමාජ බිඳවැටීම හමුවේ අධිරාජ්‍යවාදී බලපැමෙන් රට මුදවා ගැනිමට, මව් බිමට නිදහස ලබා ගැනිමට එඩිතරභාවයකින් නැඟීසිටීමට නම්,ආර්ථික, මානසික ශක්තිය අවැසි විය.  එම තත්තවයන් සැපිරී තිබු ඌව දනව්ව එහිදි පෙරමුණු කාර්යයන් ඉටු කළ බව අප කවුරුත් දන්නා ඉතිහාසයේ දැක්වේ. ඉංග්‍රීසින් විසින් හඳුන්වන ඌව වෙල්ලස්ස කැරැල්ල, සැබෑ ලෙසම ජාතික නිදහස් සටනක් විය. එය ඌවේ ජනයාගේ නායකත්වයෙන් හා දායකත්වයෙන් ඇරඹිණි. 1815-1818 කාලය තුල ඉංග්‍රීසින්ට රට අත්හැර යාමට තරම් ප්‍රබල බලපෑමක් එල්ල කළ, ඔවුන් කළකිරීමකට ලක්කළ, මෙම සටන ස්වදේශිකයන්ගේ තනතුරු, තානාන්තර, තුටු පඬුරු හමුවේ පාවාදිමේ හා, බිඳවැටිම් හමුවේ ජාතික නිදහස් සටන අඩපණ විය. සටනින් පසු තුන් අවුරුදු කාලයක් ඉංග්‍රීසීන් විසින් දියත් කළ යුධ නීතිය හේතුවෙන් ඌව දනව්ව මහත් විනාශයකට ගොදුරුවිය.  වැව් අමුණු විනාශ කරණ ලදී. කෙත් වතුද, ඵල දරන ගස්ද කපා බිම හෙළිය. හරකාබාන මරා දැමිණි, වෙහෙර විහාර බිමට සමතලා කරන ලදි. ඌව ජන ශූන්‍ය ප්‍රදේශයක් බවට පත් කිරිමේ හා රටේ ආර්ථික කොඳුනාරටිය බිඳ දැමීමේ මෙහෙයුමක් දියත් විය. ඌවේ අභිමානය, සශ්‍රීකත්වය, සුනුවිසුණු කර දමා අදට වසර 200 කට ආසන්න වී ඇත.

cap

2015 වසරේ මුදල් අමාත්‍යංශයේ වාර්තා පවසන පරිදි ලංකවේ පළාත් නමය අතුරින් දරිද්‍රතාවය වැඩිම පළාත එනම් දුප්පතුන් වැඩිම පළාත ඌවය. ඌව දුප්පත් වුවාද? දුප්පත් කළාද? සැබැවින්ම ඌව පළාත බලහත්කාරයෙන් දුප්පත් කළ පළාතකි.1948 නිදහසින් පසු පාලකයින්, බලධාරින් ඌව වෙල්ලස්සට සාධාරණයක් ඉටු කළේ නම් 2015 වන විටත් දුප්පත්කමේ අංක එක ලබමින් ඌව දුප්පත්කමේ කිරුළ හොබවන්නේ නැත. ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තේරීමේදි වසර ගණනාවක්ම පසුගිය කාලයේ වැඩිම දුප්පතුන් සිටිතැයි වාර්තාවූ එනම් දුප්පත්කමේ අංක එක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය සියඹලාණ්ඩුව විය. 1815-1818 පැවැති අධිරාජ්‍ය විරෝධී සටනේදී “සිය බලයෙන් ඉංග්‍රීසින්ට විරුද්ධව ආණ්ඩුවක් සැදී ප්‍රදේශය“  පසුව සියඹලාණ්ඩුව නමින් විරුදාවලිය ලදී. එම ප්‍රදේශය ලංකාවේ දුප්පතුන් වැඩිම ප්‍රදේශය වුවේ කෙසේද? එසේම ලංකාවේ දෙවනුව දුප්පතුන් වැඩීම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය රිදිමාලියද්දද, තෙවනුව මීගහකිවුලද, සිව්වෙනුව, කන්දකැටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයද වේ. මේ සියලු කොට්ඨාශ ඌවට උරුම විය. සශ්‍රීකත්වයේ හා ස්වයංපෝෂිත භාවයෙන් අංක එකට තිබූ පළාතක් දුප්පත්කමින් පළමු තැනට පත්වු මෑත ඉතිහාසය එබඳුය. ලෝකයේ යුධ අපරාධ හොයන යුගයක, දඩුවම් දෙන යුගයක, වන්දි ගෙවන යුගයක, බ්‍රිතතාන්‍ය අධිරාජ්‍යවාදින් සහමුලින්ම යටත් කරගෙන කළ මහත් විනාශය, කළ මහා කොල්ලයට අප රටටද සැබෑ ලෙසම වන්දි ගෙවිය යුතුය. සාධාරණය ඉටු කළ යුතුය.

Killing-Fields-Ceylon-1818 (1)

එබැවින් ඌවේ අභිමානවත් ඉතිහාසය නැවත ලිවිය යුතුය. නැවත කියවිය යුතුය. ඒ අනුව ඉදිරි ලිපි තුලන් ඌව වෙල්ලස්සේ  ඉතිහාසය නැවත සටහන් කරමු. එහි පළමු දිගහැරුම මෙලෙස නිමා කරමු.

Add a Comment

Your email address will not be published. Required fields are marked *