Home » දේශීය සංස්කෘතිය » පැරැණ්නන්ගේ විශ්වාසයට අනුව ශුභ සහ අශුභ ඵල ගෙන දෙන පෙරමඟ නිමිති
sathara-pera

පැරැණ්නන්ගේ විශ්වාසයට අනුව ශුභ සහ අශුභ ඵල ගෙන දෙන පෙරමඟ නිමිති

සාම්ප්‍රදායික ග්‍රාමීය ජන සමාජය තුළ නක්ෂත්‍ර විද්‍යාව මෙන් ම පෙර මඟ නිමිති වලට ද හිමි වන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයකි. එකළ ග්‍රාමීය ජන සමාජය මෙන් ම අදටත් මෙම පෙරම මඟ නිමිති පිළිබඳව වන්නා වූ අදහස් වල යම් යම් සත්‍යතා විශ්වාස කිරීමට බොහෝමයක් ග්‍රාමීය ප්‍රදේශ වල වැසියන් පුරුදු පුහුණු වී සිටිති. නිමිති යනු මතුවට සිදුවනදේ පිළිබඳ ව පූර්වයේ කියා පෑමකි. එවන් නිමිති වර්ග රැසක් ඇති අතර පෙර නිමිති, පෙර මඟනිමිති, කැට නිමිති, බාධක නිමිති, ශබ්ද නිමිති, කෞතුහලික නිමිති, සංකේත නිමිති, හෝරා නිමිති, අංග ලක්ෂණ නිමිති, සාමුද්‍රික නිමිති, අංග විස්තූර්ණ නිමිති,  ස්වප්න නිමිති ආදිය මේ අතර වැදගත් වේ. මේ අතර පෙරමඟ නිමිති ශුභ හෝ අශුභ වශයෙන් දෙයාකාර ලෙස සලකා යහපත් ප්‍රතිඵල ලබා දෙන නිමිති ශුභ නිමිති ලෙසත්, අයහපත් ප්‍රතිඵල ලබා දෙන නිමිති අශුභ නිමිති ලෙසත් ග්‍රාමීය ජන සමාජය විසින් පිළිගෙන ඇත. පෙර මඟ නිමිති පිළිබඳ තොරතුරු මහාවංශය වැනි ග්‍රන්ථ වල සේම මේ නිමිති විශේෂය පිළිබඳව බුද්ධ චරිතයේ ද  විවිධ අවස්ථා වලදී ද නිදසුන් ලැබේ. සිදුහත් කුමරු කෙස් වැටිය කපා අහසට දමා බුදු වන්නේ නම් අහස රැදේවායි කළ අදිටන ද ඉතා ප්‍රකට කරුණකි. ජාතක කතා වල ද බොහෝ තැන් වල මෙම පෙර මඟ නිමිති පිළිබඳ කරුණු සඳහන් වේ. ඉන්දියාව ආදී රට වල ද පෙර නිමිති ශාස්ත්‍රය පිදිබඳ දැඩි පිළිගැනීමක් ඇත. සංදේශ කාව්‍යන් වලින් ද ග්‍රාමීය ජනතාව විසින් පිළිගනු ලබන මෙවැනි පෙරමඟනිමිති කෙතරම් තීව්‍ර ලෙස සමාජය තුළ මුල් බැසගෙන තිබුනේ ද යන්න පැහැදිලි කරන ලබයි. මේ අනුව ගැමි ජනතාවගේ දෛනික ජීවිතයේ යම් යම් සුවිශේෂී කාර්යන් සිදු කිරීමේ දී සුභ පෙර නිමිති ම ප්‍රමුඛ වන ආකාරයට එම කාර්යයන් සිදු කිරීමට උත්සුක වන අයුරු නිරීක්ෂණය කළ හැකිය. මෙසේ දෛනික ජීවිතයේ විශේෂ අවස්ථාවන් සඳහා පැරණි ග්‍රාමීයයන් ගමේ පන්සලේ හාමුදුරුවෝ, වෙද මහතා, නැකැත්කරුවන්, හෝ ගැරුවරු හමු වීමට උනන්දු වූවා සේ ම සුවිශේෂී ස්ථානයක් මෙම පෙර මඟ නිමිති වලට ද දී ඇති අයුරු විශේෂ වේ.
ග්‍රාමීය ජනයා කාර්යයන් සිදු කිරීමේ දී කල්වේලා ඇතිව අවදි වී උදෑසනින් එම කාර්යය කිරීමට පුරුදු පුහුණු වී සිටියහ. සෑම විටම පාහේ සුභ කාර්යයන් සඳහා සුදුසු වේලාවන් පාන්දර යාමයේ යොදා ගැනීමට වැඩි වශයෙන් උත්සුක වී ඇති බව පෙනේ. කෙසේ වෙතත් සුභ හෝ අසුභ නිමිති පිළිබඳ අවබෝධයෙන් පෙර සූදානමක් ඇති ව කටයුතු කළ ගැමියෝ ගමනකදී ඇඳ ගන්නා ඇඳුම, අඳින්නා වූ පැත්ත ආදී සියුම් දෙයෙහි සිට පරිසරයේ ජීවත්වන විවිධ සතුන් දක්වන්නා වූ ඉරියව් හා හ ආදියෙන් පවා පෙර මඟනිමිති පිළිබඳ අනාවැකි කීමෙහි සමර්ථයෝ වූහ. හූණු ශාස්ත්‍රය, සකුණ ශාස්ත්‍රය, වායස ශාස්ත්‍රය කපුටු- ආදී සත්ත්වයිනගේ ඉරියව්, හැසිරීම් හා හඬ පිළිබඳ ව අධ්‍යයනයෙන් පෙර මඟනිමිති කීමට ග්‍රාම්‍යයෝ පුරුදු පුහුණු වී සිටිය හ.
යහපත් ප්‍රතිඵල දෙනු ලබන පෙර මඟනිමිති ලෙස එළිපත්තේ වසු පැටවෙකු කෑ ගැසීම, කලු කපුටෙකු සුදු පැහැති වසුරු, උරය, කොන්ද, හා හිස යන ස්ථාන වල පැහැරීම, ගමනක් යාමට සූදානම් ව එළියට බැසීමේ දී කන්‍යාවක්, කුඩා දරුවන්, අත දරුවන් රැගත් කාන්තාවන්, ගැබිණි මාතාවන් ඉදිරියෙ හි දැකීම, ජලයෙන් හෝ කිරි වලින් පිරුණු භාජන දැකීම, මල, පළතුරු ආදිය සුභ නිමිති බවත්, මැහැලියන්, ආභාධිතයින්, වැරහැලි ඇඳි අය, අධිකව මත් පැන් බී සිටින අය, ආයුධ හා ගින්දර සුභ ඵල හීන කරන බවත්, පිළිගෙන ඇත.
වෙනකක් තබා සැළලිහිණි  කතුවරයා සුභ වූ පෙර මඟනිමිති සුභ නැකැත් වලටත් වඩා බල සම්පන්න බව අවධාරණය කර තිබීම ග්‍රාම්‍ය ජන සමාජය තුළ පෙර මඟනිමිති පිළිබඳ තිබූ විශ්වාසය කෙතරම් ගැඹුරු දැයි සනාථ කරයි. වියතුන්ට, ගැමියන්ට ආදී ඕනෑම සමාජ මට්ටමක පුද්ගලයෙකුට ගෝචර වන අයුරින් නිර්මාණය වූ සාහිත්‍ය ග්‍රන්ථ වල පවා එකළ සමාජය තුළ මෙම පෙර මඟනිමිති පිළිබඳ තිබූ විශ්වාසය ගැමි විශ්වාසයන්ට ම පමණක් සීමා නොවුනු වියතුන් පවා මේ පෙර මඟනිමිති පිළිගනු ලබන පැතිකඩක් නිරූපනය කළ බව සැළලිහිණි කතුවරයා ද සනාථ කරණු ලබයි. එය ගැමි ජීවන රටාවට කෙතරම් ප්‍රබල බලපෑමක් කළේ ද යන කරුණ හෙදිදරව් කරන සුවිශේෂි පද්‍යක් සැළලිහිි සංදේශය – 16 වන කවිය සුබ නැකත හා සුභ නිමිති- උපුටා දක්වනු කැමැත්තෙමි.
නල මුදු සුවඳ පිරි කඹු මියුරු අඹ                            ගෙඩි
පුල හෙල කුසුම ලිය පිය තෙපල රන්                      කෙඩි
සල සුදු සෙමෙර සේසත් ගිජි`දුනොද                       වැඩි
බල සුබ නිමිති පෙර මඟ නැකතටත්                      වැඩි
සුවඳ මඳ පවන, පිරුණූ කළ, මිහිරි අඹ, පිපුණු සුදු මල්, පිය වචන තෙපලන කාන්තාවන්, රන් කෙණ්ඩි, සලන සෙමෙර, සුදු කුඩ, ප්‍රීතියෙන් මත් වූ ඇතුන් වඩාත් සුභ වූ පෙර මඟලකුණු බව දක්වා තිබීම නැකැත් වලටත් වඩා පෙර මඟ ලකුණු  උතුම් කොට සැළකූ බව ධ්වනිත කරයි.
එසේම තවත් ග්‍රන්ථ හා ජන ව්‍යවහාරයන් තුළ නාගයන් වැනි උසස්  කුළ සර්පයින් ද, බල්ලන් මුණ ගැසීම ද යහපත් වබත්, යහපත් පුද්ගලයින් හමු වීම සුභ බවත්, අයහපත් දුර්ජන පුද්ගලයින් හමුවීම අසුභ බවත් ඉතා ප්‍රත්‍යක්ෂ කොට පිළි ගෙන ඇත. මෙම විශ්වාසයන් ගැන තොරතුරු අතීත ජන සමාජයේ මානවයා පිළිබඳ සඳහන් විවිධ ලිඛිත මූලාශ්‍රයන් සේම ජනකතා වැනි අලිඛිත මූලාශ්‍රයන් තුළින් ද හ දුනාගත හැකි අතර අතීත සමාජය පිළිබඳ අධ්‍යයනයන් වල දී වැදගත් සාධක සපයයි.
මේ අනුව සාම්ප්‍රදායික ගැමියන් අතර පෙර මඟ නිමිති නීතියක් රීතියක් ලෙස නොව සමාජය අභයන්තරයේ ම හැදී වැඩී අද දක්වා විවිධ අයුරින් විකාශනය වෙමින් එන බව පිළිගත හැකිය. ජන සමාජය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන්නක් වන මෙය මානව ක්‍රියාකාරකම් හා අතීත ජන සමාජය, සංස්කෘතිය, පිළිබඳ අධ්‍යනයේ  දී වැඩි දුර අධ්‍යයනයන් සඳහා විශේෂිත මාවතක් විවර  කර දෙනු ලබයි.
අයෝමි දිසානායක
ශාස්ත්‍රවේදී විශේෂ-
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය

Add a Comment

Your email address will not be published. Required fields are marked *