Home » නෙල්ලිගල | යටිහලගල » නෙල්ලිගල සරුංගල් සැණකෙලිය 2015
kite

නෙල්ලිගල සරුංගල් සැණකෙලිය 2015

 “නෙල්ලිගල” යටිනුවර මධ්‍යයේ පිහිටි උසම පර්වතය කීවොත් හරියටම හරි. මේ හේතුව නිසා නෙල්ලිගලට නැග්ගොත් මුළු යටිනුවරම විතරක් නෙවෙයි මුළු කඳුරටම පේනවා.  සරුංගලයක් ගුවන්ගත කරන්න යටිනුවර තියෙන හොදම තැන. ඕනෑම විශාලත්වයකින් යුත් සරුංගලයක් යවන්න අවශ්‍ය තරමට සුළග, ගස්කොළන් රහිත වීම නිසා සරංගල් ඉහළ නැංවීම ඉතාමත් පහසු වීම, වැසි සහිත කාලගුණයන් කල් තියා හදුනාගැනීමේ පහසුව වගේ වැදගත් පහසුකම් වලට අමතරව සරුංගල් කරුවන්ට බීමට උල්පත් ජලය සහ කෑමට නෙල්ලි යහමින් තිබෙන නිසා සරුංගල් යවන්න කියාපු තැන. සරුංගල් කාලෙට අවට ඉන්න හොදම සරුංගල් කරුවන්ගේ වාස භවන තමයි නෙල්ලිගල කියන්නේ. උදේම ගල මුදුනට සරුංගලෙත් අරන් ගියාම ආයිත් ගෙදර එන්නේ හොදටම හවස්වෙලා.
ඒත් 2014 දෙසැම්බර් සරුංගල් වාරේ නම් අපි කාටවත් නෙල්ලිගලේ සරුංගල් යවන්න ලැබුණෙ නැහැ. ඒ වෙනකොට නෙල්ලිගල තමන්ගේ කෙළිලොල් සෙල්ලක්කාර ගති ඉවත් කරලා. නෙල්ලිගල බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරතන් වහන්සේලා වැඩ සිටින ශාක්‍ය සිංහ මහ සෑ කිරුළ හිස මත පැළඳගෙන පර්වත රාජයෙක් බවට පත්වෙලා. ආයිත් අපිට කවදාවත් ලොකු සරුංගලයක් යවන්න නෙල්ලිගලට යන්න වෙන්න නෑ, කියල ලොකු දුකක් දැනුනත් ඉදිවෙමින් තිබුණ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දකින විට ඒ දුක නැති වුණා.
මේ විදියට වසරක් ගෙවිල ගිහින් 2015 සරුංගල් කාලය උදා වුණා. පහළ වෙල් යායේ ඉදන් යවන්න පුළුවන් තරමේ සරුංගල් හදාගෙන නෙල්ලිගල දෙස බලමින්, නෙල්ලිගල සරුංගල් ඉතිහාසයේ රසවත් තැන් සිහිකරමින් තමයි අපි මේ වාරේ හැමෝම සරුංගල් යැව්වේ. ඒත් අපි හීනෙකින්වත් නොසිතූ දෙයක් සංවිධානය වෙමින් තිබුණා. මේ ගැන මුළින්ම දැන ගන්න ලැබුණේ දෙසැම්බර් 24 පෝය දවසේ උදේ. පුරුදුවිදියට යාළුවන්ට දුරකථන ඇමතුම් දීල සරුංගලයත් අරන් පහළ වෙලට යන්න පාරට බහින විටම මම දැක්ක පෝස්ටරයේ සටහන් වෙලා තිබුණ දේ මට අදහගන්නත් බැරි වුණා. නෙල්ලිගල සරුංගල් සැණකෙළිය 2015 “මොනවා? නෙල්ලිගල සරුංගල් සැණකෙලියක්? මේක වෙන්නේ කොහොමද? පන්සලේ සරුංගල් යවන්නේ කොහොමද? වතුරකුඹුරේ හාමුදුරුවෝ මේකට කැමතිද?” ප්‍රශ්න කෝටියක් ඔළුවට ආවත් මේක අපේ බොදවුණු සිහිනයක් නැවත සැබෑ වීමක්. පොස්ටරය කියලා ඉවර වෙන්න ලැබුණෙත් නෑ යළුවන්ගෙන් දුරකථන ඇමතුම් ගලාගෙන එන්න පටන් ගත්ත. “ආයිත් අපිට නෙල්ලිගලේ සරුංගල් යවන්න පුළුවන්” “දෙසැම්බර් 31 සරුංගල් තරගයක් තියෙනවා.” “තෑගිත් දෙනවා.” “අපිත් එකක් හදමු” ඒ වෙනකොටත් අපේ කට්ටියටම මේ සුභ ආරංචිය ලැබිලා.
අපි ජීවිතයේ හදපු ලොකුම සරුංගලය හැදුවා. පොඩි ලොරියක පටව ගෙන 31 වෙනිදා උදේම නෙල්ලිගලට ගියේ බොහොම උජාරුවෙන්. අපේ ධම්මරතන හාමුදුරුවෝ මේ සරුංගල් සැණකෙළිය සංවිධානය කරල තිබුණේ තරුණ අපේ නිර්මණශීලීත්වය වර්ධනය කරන්න. අපේ නිර්මාණය තමයි හොදම එක, අපි තමයි හොදම නිර්මණ කරුවෝ කියල හිතාගෙනයි අපි මළුවට ඇතුල් වුණේ. අපේ අභිමානය කුඩු පට්ටම් වෙලා යන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. අපි වගේ 3 ගුණයක් උස මොණරු,  අපි වගේ 100 ගුණයක් දිග නයි සරුංගල්, කිසි දවසක දැකල නොතිබුණු නව නිර්මාණයන් පමණක් නෙවෙයි ගිණිපෙට්ටිවල දාගෙන ආව කුඩාම සරුංගල් තුලින් එළිදැක්වුණු අනිත් තරුණයින්ගේ නිර්මාණශීලීත්වයෙන් නෙල්ලිගල එකම සරුංගල් සැණකෙළියක් වෙලා තිබුණා.

1495549_523319917849628_2834854040217164532_n

සරුංගල් කරුවන් 500ක් පමණ අවට ගම් වලින් වගේම කුරුණෑගල, පිළිමතලාව, පේරාදෙණිය, අලදෙණිය, කඩුගන්නාව වගේ ඈත ප්‍රදේශ වලිනුත් තරගයට සහභාගී වෙලා හිටියා. තරගය නරඹන්න දහස් ගණන් පිරිසගෙන් සෑ මළුව පිරී තිබුණු අතර තැනින් තැන දකින්නට ලැබුණු විදේශිකයන් නිසා මේ තරගය ජාත්‍යන්තරයටත් යාවී. නෙල්ලිගල සරුංගල් ඉතිහාසයේ වැඩිම සරුංගල් ප්‍රමාණයක් ගුවන්ගත වුණේ එදා කියල කීවොත් හරියටම හරි. ඒ විතරක් නෙවෙයි ජයග්‍රාහකයින්ව අගයකරමින් ලොකු තෑගි මල්ලක් වගේම වටිනා සහතිකපත් හොදම නිර්මාණ කරුවන්ට හිමි වුණා.

940975_523319814516305_2205702756934782423_n

හැමෝටම නොපෙනෙන වෙනසක් මෙවර සරංගල් වාරයේ තිබුණා. ඒක පැහැදිලි වෙනසක්. මේ වෙනස දකින්න පුළුවන් කුඩා කල සිට නෙල්ලිගලේ සරුංගල් යැව්ව අයට විතරයි. වෙනදා වගේ මත් වතුර, දුම් වැටි මේ සරුංගල් වාරේ නෙල්ලිගලේ තිබුණේ නැහැ. සරුංගල් එකට පැටලිලා කඩාගෙන ගියාට කවුරුත් ගහ මරාගත්තෙත් නැහැ. කිසිකෙනෙක් පහත් වචන වලින් අනිත් සරුංගල් කරුවන්ට පරිභව කලෙත් නැහැ. හැමදෙයක්ම අරුම පුදුම විදියට හොද අතට හැරිලා. පුජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හාමුදුරුවොත් ගිහි කාලේ මුලින්ම නෙල්ලි ගලට ඇවිත් තියෙන්නේ සරුංගලයක් යවන්න කියලයි උන්වහන්සේගේ දේශනයෙදී පැවසුවේ. ඒ අවස්ථාව උන්වහන්සේ නව තරුණ පරපුරට නැති කරන්න තරම් අකාරුණික උනේ නැහැ. උන්වහන්සේ හැම විටම කරන විදියට අළුත් වෙනසක් එක්ක ඒ අවස්ථාව නව පරපුට ලබා දුන්නා. මේ වසරේ ඉදන් සෑම වසරකම දෙසැම්බර් 31 වෙනිදට නෙල්ලිගල අහස් කුස සරුංගල් වලින් බබලාවි. මෙවර කලා වගේම හැමෝම තමන්ගේ සරුංගලය කඩා හැරලා අත් හැරීම පුරුදු කරාවි. දක්ෂ සරුංගල් කරුවෙක්ට තමන්ගේ සරුංගලය අල්ලන්න බැරි තරම් දුරකට යන තරම් තවත් සතුටක් තියෙනවද?

8376_523321951182758_3576688554352885958_n

561437_523321711182782_8765864579123253721_n 600712_1662655434007384_2633053403943838110_n 945557_523321274516159_539297445137274437_n10369218_523320117849608_7763559360694961794_n

1931246_523320034516283_201838009628057861_n

Add a Comment

Your email address will not be published. Required fields are marked *