Home » පුරාවිද්‍යාව » තපස්සු භල්ලුක වෙළදුන් ලද බුදුන්ගේ කේශ ධාතූන් තැන්පත්ව ඇති මකුලාන වෙහෙර
makulana

තපස්සු භල්ලුක වෙළදුන් ලද බුදුන්ගේ කේශ ධාතූන් තැන්පත්ව ඇති මකුලාන වෙහෙර

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ අරම්පොළ ග්‍රාමසේවා වසමේ මකුලාන රජමහා විහාරය හමුවේ.
මකුලාන රජමහා විහාරය ක්‍රි පූ 589 යේ දී පමණ ආරම්භ වූ බව ඓතිහාසික තොරතුරු වලින් හෙළි වේ. මකුලාන ස්ථාන නාමයේ ප්‍රභවය පිළිබඳ අදහස් කිහිපයක් පවතී. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් දෙදෙනා සිදුහත් තවුසානන් බැලීමට යන විට බුද්ධත්වයට පැමිණ සති හතක් ගෙවුනා පමණි. ලක්දිවෙන් ගෙන ගිය විලඳ මී පිඩු තපස්සු භල්ලුක දෙදෙනා බුදුන් වහන්සේට පූජා කළහ. තෙරුවන් සරණ ගිය වෙළඳුන් පූජ්‍ය වස්තු වශයෙන් කේශ ධාතු මිටක් ලබා ගන්නා ලදි. මේ ලිපිබඳ විස්තරය දාඨාවංශයේ සඳහන් වේ.

577553_10150894990728171_1161140758_n

මෙම කේශ ධාතු රැගෙන ලක්දිවට පැමිණි වෙළෙන්දෝ තම මිත්‍ර කණක නම් වෙළෙන්ඳාට කොටසක් දෙන ලදි. එම කොටස බාරගත් කණක තම ගම වූ කැප්පිටිපොල ප්‍රදේශයට පැමිණ එකල එහි පාලකයා වූ බිම්බා රජුට මෙම ධාතුව පිළිගන්වන ලදි. මෙම විස්තරය ඓතිහාසික මාතලේ ග්‍රන්ථයේ සහ ශිලා ලේඛන සංග්‍රහයේ ඇතුළත් ය. බිම්බා රජුගේ අනුග්‍රහයෙන් ඓතිහාසික මකුලාන රජමහා විහාරයේ චෛත්‍ය තුළ මෙම කේශ ධාතූ නිධන් කළ බවට සඳහන් වේ. මකුඨ යනු පාලි භාෂාවෙන් කෙස් වලට ව්‍යවහාර වන නාමයයි. එය සිංහලයට මකුල වේ. ඒ අනුව මකුල තැන්පත් වූ ආන හෙවත් කැළෑ ප්‍රදේශය මකුලාන බවට පත් වූ බව අදහස් වේ. තවද තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් දෙදෙනා කේශ ධාතු රැගෙන වෙළඳාමේ පැමිණ අරම්පොළ ග්‍රාමයේ පිහිටි පර්වත මුදුනේ කේශ ධාතු තබා රැයක් පහන් කර ඇති අතර උදයම අවදි වී නැවත පිටත් වීමට සූදානම් ව සිටිය දී කේශ ධාතුන් නැවත ගැනීමට බැරි පරිදි ඒ මත මකුළු දැලක් වියා තිබූ බවය. ඉන් පසු එතැන මකුලාන නමින් ප්‍රසිද්ධ වූ බව තවත් අදහසකි.

maku

 

මෙම ක්ෂේත්‍රය තුළ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත කැපී පෙනෙන ලක්ෂණ බොහෝ ය. ඒවා මකුලාන චෙත්‍යය, පියගැටපෙළ, සිරිපතුළ, පැරණි විහාරමන්දිරය, පොකුණු, ආවාස ගෙය ආදිය වේ.

makula

විශාල ගල් පර්වතය මුදුනේ මකුලාන චෛත්‍යයට පිවිසීම සඳහා පිහිටි ගලෙන් ම පියගැටපෙළ අලංකාරව නිර්මාණය කර ඇත. මෙම පියගැටපෙළ අතර තැනින් තැන සිත් ඇදගන්නා සුලු නෙලුම් මල් කැටයම් කර තිබීම මෙහි ඇති තවත් විශේෂීත්වයකි. ගල් පර්වතය මුදුනේ නිර්මාණය කර ඇති පැරණි මකුලාන චෛත්‍යයේ වට ප්‍රමාණට අඩි 113 කි. මේ වටා ඉතා අලංකාර වලාකුළු බැම්මක් ද නිර්මාණය කර තිබේ. පර්වතය මුදුනේ පිහිටි ගලේ ම සෙල්ලිපියක් හමු වේ. මෙහි අක්ෂර මැකී යමින් පවතින අතර සත්ත්ව රූප පැහැදිලිව තවමත් දිස් වේ. පැරණි විහාර මන්දිරය බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා සහ සිතුවම් වලින් යුක්ත ය. එමෙන් ම ගල් පර්වතය මුදුනේ කුඩා පොකුණු නිර්මාණය කර ඇත. තවද පර්වතය මුදුනේ පැරණි බෝධිය ද දක්නට ලැබේ. මල් ආසන, සිරිපතුල් ගල්  ද මෙහි දක්නට ලැබේ. පර්වතය පාමුල පැරණි ආවාස ගෙය දක්නට ලැබේ. මේ වන විට මෙය විනාශවෙමින් පවතී.
අනෝජා ප්‍රනාන්දු
Archaeology and Heritage Management ( Spc )

Add a Comment

Your email address will not be published. Required fields are marked *