Home » පුරාවිද්‍යාව » රාවණ දඩුමොණරයේ ආකෘතියක් තැන්පත්ව ඇතැයි කියවෙන බොල්තුඹේ මහ සමන් දෙවොල
Picture-099-1024x509

රාවණ දඩුමොණරයේ ආකෘතියක් තැන්පත්ව ඇතැයි කියවෙන බොල්තුඹේ මහ සමන් දෙවොල

තෙරුවන් සරණ ගොස් සෝතාපන්න ඵලයට පිළිපන් සම්‍යක් දෘෂ්ටික දෙවියෙකු වශයෙන් කා අතරත් සුමන සමන් දෙවියන් ගෞරව, භක්තියට පත් වී ඇත. එසේම බෞද්ධ බොහෝ බැතිමතුන්ගේ ගෞරවාදරයට, වන්දනාමානයට පත්වී සිටින දේව සමූහය අතරින් සුමන සමන් දෙවියන්ට හිමිවනුයේ ප්‍රධාන ස්ථානයකි.

saman

 

රමණීය වූ සමනොල කඳු මුදුනෙහි බුදුන්වහන්සේගේ තෙවන ලංකා ගමනය සිදුවූ අවස්ථාවේ දී සිරිපා සටහන් කළ බවට තොරතුරු මහාවංශයේ දක්නට ලැබේ. මෙම ශ්‍රී පාද පද්මය පිහිටි සමනොල කඳුමුදුන කේන්ද්‍ර කොටගනිමින් ප්‍රධාන සමන් දේවාල 04ක් දක්නට ලැබේ. එනම්, රත්නපුර මහ සමන් දේවාලය, බොල්තුඬේ මහ සමන් දේවාලය, මහියංගනය මහ සමන් දේවාලය, දැරණියගල සමන් දේවාලය වේ. මෙම දේවාල සතරින් මෙහිදී විශේෂ අවධානය යොමු කරනුයේ සමනොල කන්ද පාමුල පිහිටි බොල්තුඬේ සමන් දෙවොල පිළිබඳවයි.

Sri-Pada

බොල්තුඬේ මහ සමන් දේවාලය සම්බන්ධව දැනට වාර්තාගත තොරතුරුවලට අනුව මෙම දෙවොල 16 වන සියවසේ සීතාවක රාජසිංහ රජු විසින් කරවන ලද්දකි. මෙම දේවාලය කරවා ඇත්තේ අනෙකුත් දේවාලයන්ට එනම් සබරගමු මහ සමන් දේවාලයට යම් උවදුරක් උවහොත් එහි තිබෙනා වටිනා වූ දේවාභරණ, මිණි, මුතු, රන් ආදිය සුරක්ෂිතව මෙහි තැබීමට මෙම දේවාලය ඉදිකරවූ බවට තොරතුරු දක්නට ලැබේ. මෙම දෙවොල පිළිබඳ තොරතුරු රාශියක් කිරිඇල්ලේ ඥානවිමල හිමියන් විසින් 1967 දී රචිත සබරගමු දර්ශනය නම් කෘතියෙහි මෙසේ සඳහන්ව පවතී.
මේ දේවාලය කරවන ලද්දේ සීතාවක රාජසිංහ රජු විසිනි. තමාගේ අවෑමෙන් පසු පෘතුගීසි උවදුරු නිසා සබරගමු සමන් දෙවොලට යම් කිසි හානියක් සිදුවන බව පෙනුනොත් දෙවැනි පැරකුම්බා රජු පටන් තමාගේ කාලය දක්වා අතරතුරෙහි ලක් දෙරණ රජකළ නරපතීන් විසින් මෙම ස්ථානයට පුදන ලද විහාර දේවාලගම් ආදී දේපල ගැන ලියා තිබෙන රාජකීය ලේඛනත් රන්, රිදී, මුතු, මැණික් ආදියෙන් කළ වටිනා පූජනීය වස්තූන් ආරක්‍ෂා සහිතව තැන්පත් කිරීම සඳහාය.
රාජසිංහයන්ගේ අභාවයෙන් පසු සබරගමුව සමන් දෙවොල ආක්‍රමණය කළ පෘතුගීසීහු සමන් දෙවොල සහිත විහාරය භූමිය සම්පූර්ණයෙන්ම විනාශ කර 1618 ඒ මත ඔවුනගේ බලකොටුවක් තනාගත්හ. එම විනාශයට කලින් රාජසිංහයන් යොදා තිබෙන වැඩ පිළිවෙල අනුව එහි තිබූ වටිනා හැම මංජුසාවක්ම ගෙන ගොස් බොල්තුඬේ සමන් දේවාලයේ තැන්පත් කළහ. (සබරගමු දර්ශනය/ පි 255-256)
කෙසේ වුවද වර්තමානයේ මෙම දේවාල භූමිය තුල අංකාර වු බෝධීන් වහන්සේ නමක්ද බුදුමැදුරක් සමග චෛත්‍යයක් ද බෞද්ධයන්ගේ ගෞරව වන්දනාමානය සඳහා පවතී.

Picture-099-1024x509

මෙම සමන් දෙවොල රාවණ යුගයට නෑකම් කියන දේවාලක් බවට තොරතුරු රාශියක් විද්‍යාමාන වේ. මෙම දේවාල භූමිය කේන්ද්‍ර කොට ගනිමින් රාම රාවණ යුද්ධය පැවති බවට ජනශ්‍රැති හා සාධක හමුවේ. රාවණ රජු විසින් ලක්ෂ්මනයන් මෙම භූමියේ දී පරාජය කළ හෙයින් මෙම ප්‍රදේශය ජය භූමියක් ලෙස හදුන්වනු ලබයි. හීතලයකින් විද රාවණ රජු නැසීම සඳහා රාම කුමරුන් විසින් දුනුදිය මැනීම සඳහා වීර්ය යොදන ලද්දේ මෙම දෙවොල අසල ඇති අතිරමණීය දෙදනගල පර්වතයට දෙදෙන සිරකර ගනිමින් බව ගම්වාසීන්ගේ මතයයි.
රවණාකපෙල්ල, සීතාලෙන, සීතාගල, රාවණාකන්ද, වරල්ගොඩ, කුමරිකොටුව, මාරතැන්න, ඔලුගංතොට, වැනි ස්ථාන මෙම දේවාලයට ආසන්නයේ තිබෙන ගම්ය. මෙම ගම්වලට නම් පැටබැදි ඇත්තේ මෙම සමන් දෙවොලේ ඉතිහාස තොරතුරුත් සමග බව ගම්වාසීන්ගේ මතය වී ඇත. එසේම මෙම දේවාල මන්දිරය තුළ රාවණා රථය නමින් සුවිශේසී වස්තුවක් ඇතැයි ජනප්‍රවාදයේ අසන්නට ලැබේ. එය රාවණා රජු පරිහරණය කළ දඬුමොනර යන්ත්‍රයේ ආකෘතියක් බව ද ජනප්‍රවාදයේ පවතී. මෙය ලෝහයෙන් තනා ඇති අතර රෝද නොමැති එය ගුවන්යානයක ස්වරූපයක් ගත්තක් බවට සැලකේ. එසේම රාවණා රජුගේ රාවණා කොඩියද මෙම දේව මන්දිරය තුළ ඇති බවට මේ පිළිබඳව තොරතුරු සොයා යෑමේදී සොයාගත හැකි විය.

rawana-dadumonara

කෙසේ වුවද බොල්තුඹ මහා සමන් දේවාලය තුලින් පිහිට ප්‍රර්ථනා කරන බැතිමතුන් බොහෝය. ලෙඩදුක්, ග්‍රහ අපල, උපද්‍රවයන් දුරුවේවා යන ප්‍රර්ථනයෙන් අද දක්වාම දේව පූජාවන් සහ නොයෙක් පූජාවන් පවත්වනු ලැබේ. එසේ මෙම දේවාලයෙහි වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැර මංගල්‍යයද ඉතා උත්කර්ෂවත් අයුරින් බස්නායක නිලමේ තුමාගේ ප්‍රධනත්වයෙන් ඇසළ මාසයේදී සිදු කරනු ලැබේ.
පූජ්‍ය රාජකීය පණ්ඩිත වලේබොඩ උපවිජිතනන්දරතන හිමි,

Add a Comment

Your email address will not be published. Required fields are marked *