Home » බුදු දහම » ධර්මය » අකාලිකයන්ගේ දෝංකාරය නැගෙන කාල සූත්‍ර නරකය
KARMA-SAMPLE2

අකාලිකයන්ගේ දෝංකාරය නැගෙන කාල සූත්‍ර නරකය

විද්‍යෝදය පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ත්‍රිපිටකවාගිශ්රාචාර්ය, මහොපාධ්‍යාය අතිපූජ්‍ය අකුරටියේ අමරවංස නාහිමිපාණන් වහන්සේ විසිනි.

යෙ දුට්ඨසංංකප්පමාතා මනුස්සා
කායෙන වාචාය ච සංකිලිට්ඨා
කයස්ස භෙද්‍ර අභිසම්පරායං
අසංසයං තෙ නිරයං උපෙන්ති

කාල සුත්‍රයේ කියන නරකයේ ආයුෂ ප්‍රමාණය අපේ බණ පොතේ සඳහන වෙන ආකාරය ෂලකා බලමු. ආයුෂ මනින්නේ අවුරුදුවලින්. අපායේ ආයුෂ වැඩියි. එයට හේතුව බරපතල විපාක ලබාදීම බොහෝ කාලයක් සිදුවන නිසයි. කාල සූත්‍රයේ ආයුෂ සංජීව නිරකයට වඩා අධිකයි. තව්තිසා දෙව්ලොව ආයුෂ කාලය අවුරුදු තුන්කෝටි විසි ලක්‍ෂයකි. කාල සූත්‍රයේ එක දවසක් අවුරුදු තුන් කෝටි විසි ලක්‍ෂයක්. එවැනි දවස් 30ක් මාසයක් වේ. එවැනි මාස දොළහක් අවුරුද්දක් වේ. එවැනි අවුරුදු දහසක් කාල සූත්‍ර නරකයේ ආයු කාලය හැටියට ගණන් ගැනේ. මෙයින් අපට පැහදිලි වෙනවා කාල සූත්‍රයේ ආයුෂ ඉතාමත් වැඩි බව. තවත් විධියකට කියනව නම් තව්තිසා දිව්‍ය ලෝකේ ආයුෂ වගේ 360 ගුණයක ආයුෂයක් ඇති බව පෙනෙනව. එතකොට තුන් කෝටි විසි ලක්‍ෂ ඒවා 360ක් ඒ ලෝකේ ආයුෂ තියෙනව. මෙපමණ දීර්ඝ කාලයක් තාල සූත්‍රය නරකයේ ඉපදී දුක් විඳින්නට සිදුවන්නේ කවර වැරදි කළ අයට ද යන්න ඊළඟට සලකා බැලිය යුතු වෙනව.
කාල සූත්‍ර නරකයෙහි උපදින්නේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට, කුලදෙටුවන්ට දුගී මගී යාචකයන්ට අපරාධ කරන අයත්, බොරු කියන අයත් බව සඳහන් වෙලා තියෙනව.
මෙයින් පළමු කොටස තමයි දෙමාපියන්ට අපරාධ කරන අය. බුදුරජාණන් වහන්සේ ඉතාමත් උසස් ලෙෂ දෙමාපියන්ට සලකන්න කියල දරුවන්ට නියම කරල තියෙනව. දෙමාපියන්ගේ වටිනාකම මෙතරම් උසස් අන්දමින් වර්ණනා කළ වෙනත් ශාස්තෘවරයෙක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වා වදාළ දෙමාපියන්ට සැකිය යුතු බව. දෙමාපියන්ට සැලකීමට කවුරුවත් නැත්නම් පැවිදි වී සිටියත් එම කාර්යය ඉටු කිරීම කළ යුතු බව භික්ෂූන් වහන්සේලාට ද නියම කොට වදාළහ. මෙසේ උසස් කොට, ශ්‍රේෂ්ඨ කොට වදාළ දෙමාපියන්ට අපරාධයක් කළොත් බරපතල විපාක ලබා දීම සිදුවෙනවා. එසේ කරන අය උපදින තැන තමයි කාල සූත්‍ර නරකය. අද සමාජයේ දෙමාපියන්ට දරුවන්ගෙන් අත් විඳින්නට සිදුවන කරදර පුවත්පත් ආදී ජන සන්නිවේදන මාධ්‍යවලින් පේනව. දෙමාපියන්ට පහර දෙන, අත් පා කඩන, ගෙදරන් එළවා දමන, තුවාල සිදුකරන අය පමණක් නොව දෙමාපියන් මරණයට පත් කරන අය පවා සිටින බව පෙනෙනව. අම්ම තාත්තගේ ගුණ නොදන්න පහත්ම දරුවෝ මෙවැනි දේ කරන්නේ, ඒඅ යට තමයි කාල සූත්‍රය නරකයේ උපදින්න වෙන්නේ.
ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට අපරාධ කරන අයටත් උපදින්නට සිදුවන්නේ කාල සූත්‍ර නරකයේ. ගුරුවරුන්ට සහ වැඩිහිටියන්ට සැලකීම උතුම් කොට සලකා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරල තියෙනවා. කාගෙන් හරි එක අකුරක් වත් ඉගෙන ගත්ත නම් ඔහුට ඉහළින්ම සලකන්න කියලයි පැරණි පඬිවරයෙක් කියල තියෙන්නේ. ඉගෙනීමෙන් තමයි කෙනෙකුගේ ජීවිතය සාර්ථක කර ගන්නට හැකි වෙන්නේ. එය ලබා දෙන තැනැත්තා තමන්ගේ ජීවිතයට විශාල යහපතක් කරන කෙනෙක්.
ඉතින් එහෙම අයට අපරාධ කරන අයට භයානක විපාක ලබාදීම ටිකක් හිතල බලන විට සිදුවිය යුතු දෙයක්. ගුරුවරුන්ට හා වැඩිහිටයන්ට කරන කරදර අද සමාජයේ හුඟක් දක්නට තිබෙනවා. ගුරුවරුන් සමඟ අමනාප ඇති කරගන්න සමහර ගෝලයෝ ගුරුවරුන්ගෙන් පළිගන්නවා. එක් භයානක දෙයක්. එයින් තමන්ට සිදුවන අනර්ථය දන්නව නම් එහෙම දේවල් කරන්නේ නැහැ. වැඩිහිටියන්ට අපරාධ කරන අයටත් භයානක ප්‍රතිවිපාක ලබා දෙනව. එවැනි අයට උත්පත්තිය ගෙන දෙන නරකයක් තමයි කාල සූත්‍රය. එවැනි අයට එහි කොච්චර කාලයක් දුක් විඳින්නට සිදුවෙනව ද යන්න නරකයේ ආයුෂ ප්‍රමාණයෙන් අප පෙන්නල දුන්න.
තවත් කාල ස්‍රත්‍රයේ උපදින අකුසලයක් තමයි දුගී මගී යාචකාදීන්ට කරදර කිරීම, අපරාධ කිරීම, කත් කවුරුවත් නැතිව අසරණ වෙලා ඉන්න මිනිස් කොටසක් තමයි දුගී මගී යාචක පිරිස්. එහෙම ඉන්න අයට කවුරු හරි තවත් කරදර කරනව නසඑයත් භයානක අකුසලක්. අප එවැනි අයට හැකි අන්දමින් ආධාර උපකාර කරන්න ඕනෑ. සත්‍ය වශයෙන්ම එවැනි අසරණ අයට සැලකීම බුදුරජාණන් වහන්සේ ඉතා අගේ කොට සලකල තියෙනව. එසේ සැලකිය යුතු අයට කරදර කරන එක අපරාධ කරන එක භයානක විපාක ලබා දෙන දෙයක්. එපමණක් නොවෙයි. දෙවන ආත්මේ කාල සූත්‍රයේ ඉපදී විපාක ලබා දෙන බව බණ පොතේ සඳහන් වෙනව.
මේ විධයට කාල සූත්‍ර නරකයේ වැඩි විපාක විඳින සත්වයන්ට හිතෙනව මෙයින් මිදිල යන් ඕනෑ කියල. නැගෙනහිර පැත්තේ ඉන්නව නම් බස්නාහිර දොරටුව ඇරල වගේ පේනව. ඒ පැත්තට දුවනව. මේ දුවන්නේ ගිනිගත් යකඩ පොළවක. එතැනට ගොස් බලන විට නැගෙනහිර පැත්තේ දොර ඇරල වගේ පේනව. ඒ පැත්තට දුවනව. එතකොට ඒ පැත්තත් වහල. මෙසේ වන්නේ විපාක විඳවන්න ඕනෑ නිසා. මෙසේ ඔහුගේ පාපකර්මය නිසා ගින්නෙහි දැවි දැවී හැම පැත්තටම දුවනව. ඒ හැමවිටම ඔහු දැවී විනාශ වන බව සඳහන්ව තිබෙනවා. මේ අතර යමපල්ලෝ ගිනිගෙන දිලිසෙන යකඩ උල්වලින් අනිමින් කොටමින් ඔවුන් තව තවත් දුකට පමුණුවනව. පාපකර්මය කළ සත්වයා නරකයේ ආයුෂ ඇතිතාක් පැසෙමින් දුකට පත්වන බව සඳහන් වෙනව. එපමණක් නොව තමන් කළ අකුසල කර්මය අවසන්ව නොගියේ නම් නැවත නැවත නරකයෙහි ම උපදින බව පෙන්වා දී තියෙනව.
දැන් අද ධමර්ම දේශනාව අවසන් කරන්නටයි සූදානම. ධර්ම දේශනාවේ සාරාංශය මෙයයි. යම්කිසි මනුෂ්‍යයෙක් කාමාදී වැරදි සිතුවිලි නිසා දූෂිත වූ සිතින්, කයින් හා වචනයෙන් කිලිටි වෙමින් වැරදි ක්‍රියාවල යෙදෙත් ද එවැනි අය මරණින් මතු කිසිම සැකයක් නැතිව නරකයෙහි උපදින බවත් එනිසා එවැනි ක්‍රියාවල නො යෙදෙමින් යහපත් ක්‍රියාකාරකම්වල යෙදෙමින් මෙළොව පරළොව ජීවිත යහපත් කරගෙන අවසානයේ උතුම් නිවන් සම්පත් ලබා ගැනීමට හේතු වාසනා වේවා යයි ප්‍රාර්ථනා කරගන්න.

Add a Comment

Your email address will not be published. Required fields are marked *