Home » බුදු දහම » ධර්මය » අසහනය දුරු කරමින් මෙලොව පරලොව සැප විපාක ලබා දෙන මෛත්‍රී භාවනාව
bloball

අසහනය දුරු කරමින් මෙලොව පරලොව සැප විපාක ලබා දෙන මෛත්‍රී භාවනාව

අසහනය අද බොහෝ දෙනා අතර පවත්නා කථාවකි, උගත් නූගත්, තරුණ, මහළු, ශිෂ්‍ය, ශිෂ්‍යා යන කොයි කවුරුත් නොයෙක් අසහනයෙන් පෙලෙන බව නිතර කියන නිතර ඇසෙන කථාවකි. මේ නිතර කියන අසන අසහනය නම් කුමක්ද? මේ අසහනයට සහනයක් නැද්ද? තිබේ නම් සහනය මගින් අසහනය දුරුකර ගත නොහැකිදැයි අපි විසින් විමසා බැලිය යුතුයි.
අසහනය යනු කුමක්ද? අසහනය නම් නොඉවසීමයි. ද්වේශය, ක්‍රෝධය, තරහ, කේන්තිය, යනුත් ඊටම නම්ය. කවර හේතුවක් නිසා උපන් අසහනයක් වුවත් ඒ අසහනය නොව ද්වේශයයි. මිනිසුන් අතර පවත්නා යුධ වැදුම් අවිගැටුම් අඩදබර කලකෝලාහල ගහ බැණ ගැනුම් අසමගි අසමදානකම් යම් පමණ වේ නම් ඒ සියල්ලටම හේතුව අසහනය බව දත යුතුයි. අසහනය යන වචනයට කෙලින්ම දිය යුතු තේරුමක් නම් නෙයිවසීම යනුයි. නොයිවසීම ජයගත යුත්තේ ඉවසීමෙනි. හැමදෙනා විසින්ම ඉවසන දේ පිඩුකර ගතහොත් ඇත්තේ දෙකක් පමණකි. අප්‍රිය අමනාප දේ ලංවීමත් ප්‍රිය මානාප දේ නොලැබීමත් යන දෙකය. නින්දා, අපහාස, තාඩන, පීඩන, කරදර, හිරිහැර ලැබීමට විඳීමට කවුරුත් කැමති නොවෙත්. ඒවා අප්‍රිය අමානාප දේය. ඒවා ලැබීමේදී සිතේ උපදින්නේ අසහනයයි, ක්‍රෝධයයි, යමෙකු නිසා ඒ නින්දා අපහාස පරිබව අනර්ථ දුක් හිරිහැර පැමිණෙයි නම් ඔහු අසහනයේ හේතුවකි. ඔහු තමන්ට අප්‍රිය අමනාප සතුරෙකි. සත්වයන් තුළ පවත්නා ගති අතුරෙන් ක්‍රෝධය තරම් කෂ්ට, දුෂ්ට, කෲර, නපුරු, අනර්ථතර ස්වභාවයක් තවත් ඇත්තේ නැත. ලෝකයේ යම් පමණ දුෂ්ඨ කෲර අනර්ථ අපරාධ සිදුවේනම් ඒ සිදුකරන කතෘ නම් අසහනය කියන ක්‍රෝධයයි. ක්‍රෝධය ද්වේශය චණ්ඩභාවය යනාදී නම් වලින් හඳුන්වන අසහනය නැත්නම් ලෝකයේ කිසි අවුලක් අසමදානයක් භේදයක් නැත.

shutterstock_86509351

බොහෝ දෙනා අසහනයෙන් පෙලෙන්නේ අසහනයේ දුර්විපාක ආදීනව නොදත් බැවිනි.
ලොව දුක් සියල්ල කායික දුක්ය. මානසික දුක්ය යන දෙවදෑරුම් දුකට අයත්ය. කයට පැමිණෙන දුක් කායික දුක්ය. සිතට පැමිණෙන දුක් දෙම්නස්ය. කිසි කලෙක අසහනයක් නොමැතිව දොම්නසක් නූපදියි. සත්වයන් අධිකව විඳින්නේ කායික දුක්ද? මානසික දුක්ද?
අප්‍රිය දේ ලැබීම ප්‍රිය දේ නොලැබීමද අසහනයට හේතුවකි. ලබනු කැමති සැප පහසු අහාර පාන ඉඳුම් හිටුම් ගේ දොර ඉඩ කඩම් නොලැබීම එක්වනු කැමති ප්‍රිය මනාප අය සමග එක්වන්නට නොලැබීම. ලැබී තිබුන අවිඥානක සවිඥානක වස්තූන්ගෙන් වෙන්වීම යනාදිය නිසා උපදින සෝකපරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝද අසහන මැයි. එවැනි අසහනය නිසා දිවි නසා ගන්නා අයද අපමණය.
එකී සියළු අසහන දුක් දුරු කරගැනීමේ උපාය නම් අධිවාසන ක්‍ෂාන්තියයි කියනු ලබන ඉවසීම පුරුදු කිරීමයි. ඛන්තී යන පාලි වචනය ඉවසීම නැමති වීර්ය ප්‍රඥාව අදී අර්ථ කිහිපයකට වැටෙන බැවින් ඉවසීම යන අර්ථය ගතයුතු තන්හි “අධිවාසන” යන පදය යොදා “අධිවාසන ඛන්ති” යයි කියනු ලැබෙයි. අධිවාසන යන්නෙහි තේරුම් පැමිණෙන සියළු දුක් දොම්නස් පීඩා ආරෝපනය කොට වාසය කරවා ගැනීමයි. කවර කරදරයක් පැමිණියත් නොකිපී ඒ සියල්ල භාරගැනීම යනු එහි තේරුමයි. එසේ අධිවාසන වශයෙන් පවත්නා ක්‍ෂාන්ති නම් වෙයි.
අධිවාසන ක්‍ෂාන්තිය හෙවත් ඉවසීම පරමාර්ථ වශයෙන් කුමක්ද? “ඛන්ති සංවරොති අධිවාසනා කථා පවත්නා ඛන්ති අදොසො” යි දැක්වු හෙයින් එසේ ඉවසන ආකාරයෙන් පවත්නා නාමස්කන්ධයෙන් හෝ අද්වේශයෙන් හෝ අධිවාසන ඛන්ති යන්නෙහි ස්වරූපාර්ථය වෙයි.
ඛන්ති ඉවසීම නමින් චෛතසිකයක් නැත. ද්වේශය, ක්‍රෝධය ඉපදිය යුතු තන්හි ද්වේශය උපදින්නට නොදී වලක්වා ගැනීම ඉවසීමයි. එහිදී උපදින්නේ ද්වේශයට ප්‍රතිපක්‍ෂ විරුද්ධ අද්වේශයයි. මෛත්‍රියයි. ඒ ද්වේශය හෝ අද්වේශය සහිත නාම ධර්ම හෝ ඉවසීම වශයෙන් ගත යුතු බවයි. එයින් ප්‍රකාශ වන්නේ කොටින්ම ඉවසීම සහනය නම් අසහනයට ද්වේශයට විරුද්ධ වූ මෛත්‍රිය බව තේරුම් ගත යුතුයි.
එහෙයින් අසහනය මෛත්‍රියෙන් සහනය කරගත යුතුයි. මෛත්‍රියෙන් විනා අසහනය දුරුකළ හැකි අන් මගක් නැත. අසහනය දුරු කිරීමේ ඒකායන මාර්ගය මෛත්‍රී භාවනාවයි.

may-i-meditate_meditation (1)

තමහට, අසල් වැසියනට, ගමටද ජාතියටද මුළු ලොවටම ශාන්තියක් සැනසීමක් ලැබාදීමේ ශක්තියක් මෛත්‍රියට ඇත. යමෙකුට හැම සතුන් කෙරෙහිම එක හා සමානව මෛත්‍රියක් උපදිය හැකි නම් හැම සතකුගේම හිතවත් කම ආදරය දිනා ගැනිමට ලැබෙන කාලය සීමා සිහිතය.
මෛත්‍රිය ප්‍රේමය නොවෙයි. ප්‍රේමය පඤ්චකාම සුබස්වාදය විඳීමේ ආශාව වූ කාම රාගයයි. එය සිත කිලුටු කරන ධර්මයකි. අපායට පමුණුවන පාපයකි. මෛත්‍රිය සිතේ කිලුටු ගතිනැති කොට සිත පරිසිදු කරන සෞඛ්‍ය ධර්මයකි
 මෛත්‍රිය සිතෙහි නැවත නැවත ඉපදවීමෙන් දියුණු කළ යුත්තකි. එසේ දියුණු  කිරිම මෛත්‍රී භාවනාවයි. මෛත්‍රී භාවනාවට අරමුණු සත්වයෝයි. සත්වයන් අරමුණු කොට ඔවුන් කෙරෙහි හිතසුව පැතීම මෛත්‍රී භාවනාවයි. හිත ඇතුලතින් සෘජු අවංක අදහසින්ම හිතසුව පැතීමත් නැතිව සියළු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වේවායි කී පමණින්ම මෛත්‍රී භාවනාවක් නොවේ.
නිසි අන්දමින් මෛත්‍රී භාවනාව වඩන්නෙකුට චතුක්ඛ නයින් නම් තෘතිය ධ්‍යානය දක්වාත් පඤ්චක නයින් නම් චතුර්ථ ධ්‍යානය දක්වාත් ධ්‍යාන උපදවා ගත හැකිය. ඒ ධ්‍යාන පාදක කොටගෙන විදර්ශනා වැඩීමෙන් සතර ඵල සතර මාර්ග සමාධි ක්‍රමයෙන් චතුරාය්‍යී සත්‍ය අවබෝධ කොට ගත හැක. එසේ ධ්‍යාන නොලැබුවත් සුඛා සුපති සුඛං පටිබුජඣති යනාදී වදාළ එකොලෙස් වැදෑරුම් ආනිසංසයන් අතුරින් මනුෂ්‍යයන්ට ප්‍රිය වීම දෙවියන්ගේ ආරක්‍ෂාව ලැබීම, ගින්නෙන්, විසෙන්, අයුධයෙන්, සතුරන්ගෙන් වන අනතුරු වලින් මිදීම වහා සිත එකඟවීම ආදි ආනිසංස බොහොමයක් ලැබිය හැකි වන්නේය.
අවේරා හොන්තු අව්‍යාපජ්ජා හොන්තු, අනීඝා හොන්තු, සුඛා අත්නානං, පාරි හරන්තු සත්වයන් කෙරෙහි මෛත්‍රිය වඩන වචන සතරක් පටිසම්භිධා මග්ග මෙත්තා කථාවෙහි වදාරා තිබෙයි. අනුන් නිසා තමන් තුළ තමන් නිසා අනුන් තුළද වෛර නැත්තෝ වෙත්වා යනු අවේරා හොන්තු යන්නෙහි අදහසයි. මොවුහු නැසෙත්වා විනාශවෙත්වා වද හංසා වලට පැමිනෙත්වායි උපදින බලවත් වෛරය ක්‍රෝධය ව්‍යාපාදය නමි. එවැනි ව්‍යාපාද නැත්තෝ වෙත්වායි යනු අනිඝා හොන්තු යන්නෙහි තේරුමයි. ඒ දුක් නැතිfවීමෙන් සැපවත් ආත්ම භාවයක් පරිහරණහි කෙරෙත්වා යනු සුඛි අත්තානං පරිහරන්තු යන්නෙන් ප්‍රකාශ වෙයි. මෙසේ වචන හතරක් ඇතත් තමහට ප්‍රකට එක් වචනයක් වුවද ප්‍රමාණවත්ය.
තමා දුකට අකමැති සැපට කැමති මෙන්ම අන් සෑම සතෙකුම සැපය කැමති දුකට අකමැති බව ප්‍රකට කරගැනීම සඳහා පළමු කොටම මෛත්‍රිය වැඩිය යුත්තේ තමා කෙරෙහිය. මම වෛර නැත්තෙක් වෙම්වා ව්‍යාපාද නැත්තෙක් වෙම්වා දුක් නැත්තෙක් වෙම්මා සුවපත් ආත්ම භාවය පරිහරනය කරන්නෙක් වෙම්වායි පළමුව තමන් කෙරෙහි මෙත් වැඩිය යුතුය. අනතුරුව ප්‍රේමයෙන් ආදරය කරන්නෙකු නොවන තමහට ප්‍රිය මනාප තමා ගුරු කොට සලකනු ලබන මව්පිය ගුරුවර ආදි කෙනෙකුට මෛත්‍රිය කළ යුතුය. ඉන්පසු ඉතා ප්‍රිය පුද්ගලයන් කෙරෙහිද ඉන්පසු මැදිහත් පුද්ගලයන් කෙරෙහිද ඉන්පසු සතුරන් කෙරෙහිද මෛත්‍රීය වැඩිය යුතුයි. මෙසේ පුරුදු කිරිමෙන් තමාත් ප්‍රියවන්තයාත් මැදහතාත් සතුරාත් යන සතර දෙනා කෙරෙහිම අභානාපානය හතොප සංහරන යයි කියන ලද අහිත දෙයින් මුදාලන හිත සැප ඵලවන අදහස පහල වන තරමින් මෛත්‍රීය දියුණු කල යුතුයි. මෙය පුරුදු වූ කරනනවුන් විසින් තමාට විවේක ඇති ස්ථානයක පැයක් පැය භාගයක් පමණ දිනපතා භාවනා කරමින් යන එන හිත වැඩපල කරන ගමන් කරන සෑම විට මෛත්‍රිය වැඩිය යුතුයි. එසේ නිතරම මෛත්‍රී සිතක් පහල කරන පුද්ගලයාගේ සිතේ දුක් කරදර අප්‍රිය අමනාප දේ පැමිණෙ විට අසහනයක් පහළ නොවෙයි. අපහ වුවද සිතේ ඇති මෛත්‍රීය නිසා අසහනය නැතිව ගොස් සිතෙහි සෙම්නස සහනය උපදවයි. එහෙයින් නොයෙකුත් ගැහැටෙන් පිරී පවතින මේ ලෝකයෙහි අසහනයෙන් මිදී නිතර ප්‍රීතිමත් සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීමේ එකම මග වනුයේ මෛත්‍රීය බව තේරුම් ගෙන හැම සතුන් කෙරෙහිම මෛත්‍රිය වැඩිමෙන් සිත දිනා සැඩ පරුෂ නපුරු බවට පෙරලෙන අසහනයෙන්, ක්‍රෝධයෙන්, ද්වේශයෙන්, වෛරයෙන්, ව්‍යාපාදයෙන්, ප්‍රතිඝයෙන්, කෝපයෙන්, තරහවෙන් මිදීමට සෑම බෞද්ධයෙක් විසින්ම උත්සාහ දැරිය යුතුයි.
අභිධර්ම විශාරද
ආර්යරත්න රේරුකාන පඬිතුමන්

Add a Comment

Your email address will not be published. Required fields are marked *