Home » බුදු දහම » ධර්මය » අසිරිමත් දළදා සිරිත
Silhouette of a woman doing yoga on the beach at sunset

අසිරිමත් දළදා සිරිත

අසිරිමත් දළදා සිරිත

ආචාර්ය ගොඩගම මංගල ස්ථවිර

ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, අස්ගිරි මහාවිහාරය,

ශ‍්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයාධිපති.

 

ශී‍්‍රමත් සුගත තථාගතයාණන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී පිරිනිවීමෙන් පසු එහි ම සඳුන් දර සෑයක ශී‍්‍ර බුද්ධ ශරීරය ආදාහනය කළේය. එම ආදාහනය සිදුවන කල්හි ඍද්ධිමත් ඛේම නම් මහරහතන් වහන්සේ බුද්ධ චිතකයෙන් වාම දළදා වහන්සේ රැඑගෙන කලිඟු රට බ‍්‍රහ්මදත්ත නම් රජු කරා එළඹ, එතුමා රත්නත්ත‍්‍රය කෙරේ පහදවා අනතුරුව මේ දළදා වහන්සේ ඔහුට භාර කළේය. රජතුමාණෝ ද ඉමහත් භක්තියෙන් දළදා වහන්සේ භාරගෙන අලංකාර ගෘහයක එය තැන්පත් කර පුදපූජාවන් පැවැත් වූහ. ඒ රජ ඇවෑමෙන් එතුමාගේ පරපුරේ කසී, සුනන්ද, ආදී රජවරුන් ද දළදා පූජා පවත්වමින් රජකම් කරන්නේ ගුහශීව නම් රජතුමාණෝ ද මේ දන්ත පුරයේ රාජ්‍යත්වයට පත් වූහ. බුදු බැතියෙන් තොරවූ මෙතුමා නිගණ්ඨ සාධූන්ට උපස්ථාන කළ ශිව භක්තියෙකු විය. දන්ත පුර වාසීන් බුද්ධ භක්තියෙන් යුක්තව දළදා පුද පිළිවෙත්හි අනවරතයෙන් ම නිරත වන බව දැක ඒ පිළිබඳ තම අමාත්‍යවරුන්ගෙන් කරුණු විමසා දළදා වහන්සේ කෙරේ අතිශයින් පැහැදී නිගණ්ඨාගම අතහැර දන්ත ධාතූන්වහන්සේ උදෙසා වත්පිළිවෙත් කිරීමට උත්සුක විය. ගුහශීව රජුගෙන් එතෙක් සත්කාර සම්මාන ලැබූ නිගණ්ඨ පූජකයෝ තම ලාභ සත්කාර නොලැබීමෙන් කනස්සල්ලට පත්ව කළිඟු රට අතහැර පැළලූප් නුවරට ගියහ. එකල එහි රජකම් කරනු ලබුයේ පඬු නම් රජ කෙනෙකි. එතුමා ද ශිවාගමට අනුව කටයුතු කරන අයෙකු විය. ගුහශීව රජ කළිඟු රට අධිපති වුවත් එතුමා එරට පාලනය කළ යුත්තේ පැළලූප් රජුගේ අණ අනුවය. මේනිසා කළිඟු රටෙන් පලා ආ නිගණ්ඨ පූජකවරු ගුහශීව රජු මිථ්‍යාදෘෂ්ටිකව මිනී ඇටයකට ගරු බුහුමන් කරන්නේ යැයි ගතු කියා අනතුරුව තමන් එම රටින් පලවා හැරීයැයි කීහ. එබස් ඇසු පඬු රජ තම චිත්තයාන නම් අමාත්‍යාට ඒ ගුහශීව රජු හා ඔහු පූජ්‍යත්වයෙන් සළකන මීනී ඇටය ගෙන එ්මට නියෝග කළේය. මේ නියෝගය පිළිගත් චිත්තයාන ඇමැති සිවුරඟ සේනාව ද පිරිවරාගෙන කළිඟු පුරය වෙත ගමන් කළේය. පැළලූප් නුවරින්  විශාල සේනාවක් තම පුරයට පැමිණෙන බව ඇසූ ගුහශීව රජු තම අමාත්‍යයන් සමඟ පිරිසක් පෙරගමන් කරවා ඔවුන් පිළිගෙන තම මාළිගයට කැඳවා මෙසේ බොහෝ පිරිසක් අයුධ සන්නද්ධව තම පුරයට පැමිණීමට හේතු විමසූ විට ඔබතුමා මිථ්‍යාදෘෂ්ටිකව මිනී ඇටයකට ගරු කරන හෙයින් ඔබ සහ එම මිනි ඇටය පැළලූප් නුවරට ගෙනයාමට පැමිණි යැයි චිත්තයාන ඇමතිවරයා කීවේය. ඉන් පසු ගුහශීව රජු බුදුදහමේ සහ දළදා වහන්සේගේ ගුණ වර්ණනා කර ඒ සියල්ලන් ම දළදා වහන්සේ කෙරේ පැහැදුවත්, පැළලූප් නුවර පඬු රජුගේ අණ ඉටු කළ යුතු හෙයින් දළදා වහන්සේ හා ගුහශීව රජු පඬු රජු වෙත ගෙන යන ලදී.

නිගණ්ඨ පූජකයින්ගේ ගතු කීම් නිසා වික්ෂෝපව සිටි පාණ්ඩු රජු ගුහශීව දැකීමෙන් කෝපාවිෂ්ටව දළදා වහන්සේ ගෙන එය විනාශ කරන මෙන් නිගණ්ඨයින් වෙත භාර කළේය. ඔවුහූ ඉමහත් පී‍්‍රතියෙන් දළදා වහන්සේ ගෙන එය මිනී ඇටයක් යැයි දක්වා පිළිස්සීමේ අරමුණින් කිහිිරි අඟුරු ගොඩට විසි කළේය. එකෙනෙහිම කිහිරි අඟුරු මතින් විශාල නෙළුම් මලක් පැනනැගී දළදා වහන්සේ පිළිගනු ලැබූයේය. දළදා වහන්සේගේ එම අසිරිමත් බව ඒ මිසදිටු රජු නොපිළිගත්තෙන් නැවතත් කිණිහිරක් මත තබා යගුලියකින් තැලීමට නියම කළේය. මිසදිටු නිගණ්ඨයින් එබස් අසා දළදා වහන්සේ කිණිහිරෙක තබා තලන්නට පටන්ගත් විට බලා සිටියවුන් විශ්මයට පත් කරමින් දළදා වහන්සේ කිණිහිරෙහි ගිල්විණ. මේ දුටු නිගණ්ඨයෝ රජ කරා ගොස් සිදුව ඇති ආශ්චර්යට හේතුව ශිව දෙවියන්ගේ බුද්ධ අවතාරය නිසා යැයි කියූහ. ඒ බස් පිළිගත් පඬු රජු කිණිහිරෙහි ගිල්ව තිබූ දළදා වහන්සේ ඉන් ඉවත්කර ගැනීමට උත්සාහ කළත් එය කර ගැනීමට ඔහුට හෝ එතන රැුස්ව සිටි පිරිසෙන් කිසිවෙකුත් හටත් නොහැකි වූයේය. ඉන් දළදා වහන්සේ විෂයෙහි තරමක භක්තිමත් වූ පඬු රජු කිණිහිරෙහි ගැලී ඇති අසිරිමත් දළදා වහන්සේ ඉන් මුදවන යම් කෙනෙක් වෙත් නම් ඔහුට මහත් යස ඉසුරු ලබා දෙන බවට දේශය පුරා අණ බෙර ලැවීය. එ් ඇසූ අනාථ පිණ්ඩික සිටුවරයාගේ මුනුබුරෙකු වූ සුභද්‍ර නම් අයෙකු දළදා වහන්සේ කරා අපිරිමිත ශ‍්‍රද්ධාවෙන් පැමිණ එ් ධාතූන් වහන්සේට නමස්කාර කොට ආනාථ පිණ්ඩික යනු මාගේ මී මුත්තා බවත් එතුමා බුදුන් වහන්සේ නොදැක ම බුද්ධ යන වචනය අසා උන්වහන්සේ කෙරේ පැහැදුනු අයෙකු බවත් පවසා බුදුන් වහන්සේගේ නව අරහාදි බුදුගුණත් කියා, මෙසේ අපිරිමිත ගුණයෙන් යුක්ත ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර මුඛයෙහි වැඩසිටි වාම දළදා වහන්සේ ඔබ වහන්සේ නම් සහ මා කී බුදුගුණ සබෑ නම් ඔය කිණිහිරෙන් මෑත්ව අහසට පැනනැගී ප‍්‍රාතිහාර්ය පාන සේක්වායි, ඇරයුම් කළ කල්හි උන්වහන්සේ කිණිහිරෙන් ඉවත්ව අහසට පැනනැගී ප‍්‍රාතිහාර්යයන් පා සිටුවරයාගේ හිස මත වැඩසිටි සේක. මේ ආශ්චර්යය දුටු නිගණ්ඨ පිරිස සුභද්‍ර සිටුගේ ගුප්ත වු මන්ත‍්‍ර බලයකින් එසේ වූ බව රැුස්ව සිටි අයට කී පසු මේ සිටු පුත් තෙමේ දළදා වහන්සේ සුවඳ පැන් පිරූ පාත‍්‍රයක තැන්පත් කළේය. එහි දී සුදු හංසයකු මෙන් කිමිදෙමින් ද, නැවත මතුවෙමින් ද, ඔබ මොබ ගමන් කරමින් ද, කැරකවෙමින් ද, දළදා වහන්සේ ප‍්‍රාතිහාර්යය පෑ සේක.

මෙසේ දුටුවන් විස්මයට පත් කරවමින් සම්බුදු දළදාව ප‍්‍රාතිහාර්ය පෑවත් මිසදිටු නිගණ්ඨයින් එය රැඑගෙන නුවර මධ්‍යයේ ගැඹුරු වළක් හාරා දළදා වහන්සේ එහි මිහිදන් කර ඇතුන් ලවා පාගවා එහි පස් තද කළත් දළදා වහන්සේ නෙළුම්මලක් මතින් නැවත පොළොවෙන් මතු වූහ. ඉන්පසු මේ මිසදිටු නිගණ්ඨයෝ දළදා වහන්සේ අපවිත‍්‍ර දිය අගලකට විසි කළහ. දළදා වහන්සේ එහි පතිතවත් ම ඒ අගල පස් පියුමෙන් පිරි අලංකාර පොකුණක සිරි ගත්තේය. මෙ ආශ්චර්යයන් සියල්ල දුටු රජතුමා දළදා වහන්සේ කෙරේ පැහැදී අපිරිමිත ශ‍්‍රද්ධාවක් ජනිත කරගෙන උන්වහන්සේට විවිධාකාර පූජාවන් පවත්වා නැවතත් දළදා වහන්සේගේ භාරකාරත්වය ගුහශීව රජුට ම පැවරීය. ගුහශීව රජු දළදා වහන්සේ නැවතත් තම නුවරට ගෞරවාන්විතව වැඩමකර පෙරසේ ම පුදපූජාවන් පවත්වමින් සිටින අතරතුරු මේ දළදා වහන්සේ වැඳීමට උදේනි නුවර දන්ත නම් කුමාරයෙක් නිතර පැමිණෙන අතර ඔහු කෙරේ පැහැදුණු ගුහශීව රජතුමා ඒ කුමාරයාට තම දියණිය වූ හේමමාලා විවාහ කරදෙනු ලැබේ.

දළදා වහන්සේගේ අසිරිමත් බවේ කීර්ති රාවය දස දිසාවන්හි ප‍්‍රකටවන්නේ, ක්ෂීරධාර නම් රජ කුමරෙකු දළදා වහන්සේ තමන් වෙත ලබා දෙන මෙන් ගුහශීව රජු වෙත පණිවුඩක් යැවීය. එසේ නොවන්නේ නම් යුද්ධයකට සූදානම් වන ලෙස ද දැන්වූයේ ය. මෙය ඇසූ රජතුමා තම බෑනණුන්වන් හා දියණියට කථා කොට දළදා වහන්සේ වෙනුවෙන් තමන් ක්ෂීරධාර සමඟ යුද්ධ කරන බවත් යුද්ධයෙන් තමන් පරාජය වන බව දැනෙන්නේ නම් දළදා වහන්සේ රැඑගෙන ලංකාද්වීපයට යන ලෙස දැනුම් දුන්නේ ය. යුද්ධයෙන් තම පියා පරාජයට පත් වූ බව දැනගත් මේ දෙපළ දළදා වහන්සේගේ ආරක්ෂාව පතා බමුණු වෙස් ගෙන ලාංකා ද්වීපයට එ්මට පිටත්ව ගං තෙරකට සම්ප‍්‍රාප්ත වූහ. දළදා වහන්සේ ගංතෙර වැලි ගොඩක් මැද තැන්පත්කර මේ දෙදෙනා ගිමන් හරිමින් සිටින අතර සෘද්ධිමත් ථෙරනමක් ගංතෙරට උඩින් ගමන් කරන්නේ වැලිගොඩ මතින් ස්වේත රශ්මි මාලාවක් විහිදෙනු දැක එතනට පැමිණ මේ දෙනාගෙන් කරුණු විමසා ආරක්ෂාව පතා දළදා වහන්සේ ද සමඟ ලංකාද්වීපයට යන බව සැළකිරීමෙන් පසු උන් වහන්සේ දළදා වහන්සේට නමස්කාර කර මේ ගමන අතර තුර යම් භයක් වන්නේ නම් තමන් සිහි කරන මෙන් එ් දෙපළට දැන්වා එතනින් ඉවත් වූහ.

 

අනතුරුව එ් ගංතෙරේ මදක් නැවතී සිටි මේ දෙදෙනා දළදා වහන්සේ සහිත කරඬුව වැලි ගොඩම තුළ තබා ස්නානයෙන් පසු දළදා වහන්සේ වැඩම කිරීමට සූදානම් වුවත් එය තැන්පත් කළ ස්ථානයේ නොවූයේය. ඒ වන විට කරඬුව සහිත දළදා වහන්සේ මාණික්‍යයක්  යැයි සිතා පණ්ඩුභාර නම් නාගයෙකු විසින් ගිලිනු ලැබ ඇත. ඒ බව නොදත් මේ දෙපළ රහතන් වහන්සේ මතකයට නගා උන්වහන්සේගේ උපකාරයෙන් නා රජුගෙන් දළදා වහන්සේ සහිත කරඬුව ලබාගෙන, හේමමාලා කුමරිය තම හිස් මුදුනේ තබා මාණික්‍යමය කරඬුව වැසෙන සේ කොණ්ඩය මුදුන් කර බැඳගෙන තමලිංගමුව නම් තොටුපොළින් නැව් නැගී ලංකාවට ඒමට පිටත් වූවාය. අතර මඟ දී නාලොව නාගයින් විසින් ඔවුන් නැවේ ගමනට බාධා කර ඇත. එම බාධාවන් ද රහතන් වහන්සේ සිහි කිරීමෙන් ම දුරලාගෙන ලංකා පටුනෙන් ලංකාද්වීපයට ගොඩ බැස තන්තිරිමලය හරහා අනුරාධපුරයට සේන්දු වී මේඝගිරි විහාරයට ගොස් එහි භික්ෂූන් වෙත තමන් දෙදෙනා පිළිබඳ තොරතුරුත් පැමිණි කරුණත් දැන් වූ පසු ඒ තෙරුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ වාම දළදා වහන්සේ කළිගු රටේ සිට තම විහාරයට වැඩමකර ඇති බව එවකට රජ කළ කීර්ති ශී‍්‍ර මේඝවර්ණ රජතුමාට දැන් වූහ. අතිශය සන්තෝෂයෙන් මේඝගිරියට ගිය රජතුමා දළදා වහන්සේ දැක එහි අවර්ණ ස්වභාවය හා ප‍්‍රමාණත්වය දැක මේ දළදා වහන්සේදැ යි කුකුසක් ඉපද වීය. ඉන් පසු දළදා වහන්සේ ස්වෙත වර්ණ රැස් විහිදුවමින් පෙළහැර පානු දුටු රජතුමා බුද්ධාලම්බන පී‍්‍රතියෙන් පිනාගොස් දළදා වහන්සේට වන්දනමානන කොට උන්වහන්සේ සාදරයෙන් පිළිගෙන දේවානම්පියතිස්ස රජු කරවූ  ධම්මචක්ඛ නම් ස්ථානයෙහි දළදා වහන්සේ තැන්පත් කළේය. එතැන් පටන් එම ස්ථානය දාඨාධාතු ඝර නමින් ප‍්‍රකට විය. දළදා වහන්සේ මෙරටට ගෙනා දන්ත කුමරු හා හේමමාලා යන දෙපළට සබරගමුටවන් ගම්වරයන් ප‍්‍රදානය කර කීරවැල්ල නම් ග‍්‍රාමවරයේ පදිංචි කර ඇත.

අනතුරුව වාර්ෂිකව දළදා වහන්සේ උදෙසා අසිරිමත් පෙරහැරක් කරන මේ රජතුමා පෙරහැර අවසානයේ දළදා වහන්සේ මහජනතාවට ප‍්‍රදර්ශනය කරමින් ඔවුන්ට පූජා පැවත් වීමට ඉඩකඩ සැළසීය. එතුමාගෙන් පසු අනුරාධපුරය රාජධානිය කරගනිමින් රාජ්‍යත්වයට පත් බොහෝ රජවරු ද දළදා වහන්සේට වන්දනමානන ගරුබුහුමන් කළහ. අනතුරුව පොළොන්නරු රාජධානිය කරගත් පළමුවන විජයබාහු රජු එහි දාඨාධාතු ඝරයක් කරවා දළදා වහන්සේ ගෞරවාන්විතව එයට වැඩම කරවන ලදි. විජයබාහු රජුගෙන් පසු රටේ නැවතත් රාජ්‍යත්වය සඳහා මාණාභරණ, පරාක‍්‍රමබාහු, ගජභා අතර බල අරගල ඇති විය. මේ නිසා මාණාභරණ දළදා වහන්සේ සඟවා ගෙන රුහුණුට යන ලදී. අවසානයේ සුගලා දේවිය සතු වූ දළදා වහන්සේ මහත් පරිශ‍්‍රමයකින් ලබා ගත් පළමු පරාක‍්‍රමබාහු එය පොළොන්නරුවට නැවත වැඩමවා ගෙන විත් උසස් ලෙස පූජාවන් හා පෙරහැර පවත්වා ඇත. මහාවංශයට අනුව මේ රජතුමා වාර්ෂිකව පවත්වන පෙරහැරක් සූදානම් කරමින් සිටින විට ධාරාණිපාත වර්ෂාවක පෙරනිමිති පහළ විය. එයට බිය වූ පෙරහැර සංවිධායක අමාත්‍යවරු වර්ෂාවෙන් පෙරහැරට බාධා විය හැකි නිසා එදින පෙරහැර නියමිත වේලාවට නොපැවැත්වීමට යෝජනා කළත් රජතුමා එය නිශ්චිත වෙලාවට ම ආරම්භ කර රජතුමා ද පෙරහැරේ ගමන් කළේය. පෙරහැර ගමන් මාර්ගයට බාධාවක් නොවී වටපිටාවට පමණක් ධාරාණිපාත වර්ෂාවක් ඇති වී ඒ ඒ තන්හි උල්පත් දිය ධහරාවන් ද පැනනැගී ඇත. දළදා වහන්සේගේ ආශ්චර්යක් නිසා පෙරහැර ගමන් මාර්ගයට වර්ෂාවෙන් බාධාවක් වී නැත.

පොළොන්නරු රාජධානිය කාලිංග මාඝගේ ආක‍්‍රමණයට ලක්වන විට එහි වැඩසිටි දළදා වහන්සේ උත්තර මූල වැසි වාගීශ්වරාදි මහ තෙරවරුන් විසින් කොත්මලේට වැඩම කර තිබේ. කොත්මලේ වැඩසිටි දළදා වහන්සේ තුන්වැනි විජයබාහු රජු විසින් බෙලිගලටත්, කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමා විසින් දඹදෙණියටත් වැඩම වූ දළදා වහන්සේ විෂයෙහි මේ රජතුමා විසින් මැණික්වලින් කරඬුවක් කරවා එ් මැණික් කරඬුව බහාලීමට තවත් රන් කරඬුවක් ද එය බහා තැබීමට තවත් කරඬුවක් ද කරවා දළදා වහන්සේ බහු කරඬු තුළ තැන්පත් කිරීමේ සිරිත අරඹා ඇත.

බෝසත් විජයබාහු රජතුමා විසින් නැවත පොළොන්නරුවට වැඩම කළ මේ දළදා වහන්සේ පළමු බුවනෙකබාහු රජතුමා විසින් යාපහුවට ගෙන ගොස් තැන්පත් කර ඇත. මෙහි දී ආර්ය චක‍්‍රවර්තී දළදා වහන්සේ පැහැරගෙන පඬිරට කුලසේකර නම් සොළී රජුට භාර දෙනු ලැබේ. ඉන් පසු ලක් රජය භාර ගන්නා උපායෙහි දක්ෂ තෙවන පරාක‍්‍රමබාහු යාපනය උකසට දෙන බව කියා උපක‍්‍රමශීලීව නැවත දළදා වහන්සේ ලංකාවට ගෙනවිත් පොළොන්නරුවේ තැන්පත් කළේය. අනතුරුව කුරුණෑගල රාජධානිය කරගත් පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමා දළදා වහන්සේ එහි වැඩමවා පුදසත්කාර කළ අතර කෝට්ටේ රජ පැමිණි හයවන පරාක‍්‍රමබාහු නරපතීන් විසින් දළදා වහන්සේ ජයවර්ධන පුරයට වැඩමවා තෙමහල් දළදා ගෙයක් කරවා නවරත්නයෙන් කළ රන් කරඬුවක දළදා වහන්සේ තැන්පත් කර නානාප‍්‍රකාර මැණික්වලින් අලංකාරවත් කරන ලද තවත් කරඬුවක එය බහා එම කරඬුව ද නැවතත් රනින් කළ කරඬුවක බහා එය ද රන් ආලේපිත තවත් කාන්තිමත් කරඬුවක තැන්පත් කළේය.   මෙතුමාගෙන් පසු රාජ්‍යත්වයට පත්වන සීතාවක රාජසිංහගෙන් බුදුදහමට වන අනර්ථයන් දුටු තත්ත්කාලීනව විසූ හිරිපිටියේ රාළ දළදා වහන්සේගේ ආරක්ෂාව පතා සබරගමුවේ දෙල්ගමුවට වැඩමවා රහසිගතව කුරහන් ගලක තැන්පත් කරවා ඇත. අනතුරුව සෙංකඩගල රාජධානිය කරගන්නා පළමු විමලධර්මසූර්ය රජතුමා දෙල්ගමුවේ වැඩසිටි දළදා වහන්සේ මහනුවරට වැඩමවා වර්තමාන ශී‍්‍ර දළදා මාලිගාවේ තැන්පත් කරන්නේ් නව රුවනින් සහ සත් රුවනින් අලංකාර කරන ලද ස්වර්ණමය කරඬුවක උන්වහන්සේ ගෞරවාකාරයෙන් වඩා හිඳුවාය. අනතුරුව රාජ්‍යත්වයට පත්වන කීර්ති ශී‍්‍ර රාජසිංහ මහරජතුමන්ගේ කාලයේ දී පෘතුගී‍්‍රසීන් මහනුවර ආක‍්‍රමණය කිරීමට සැලසුම් කරන විට දළදා වහන්සේ රජතුමාගේ නියමයෙන් අස්ගිරි විහාරයේ ගණනායකත්වයට පත්ව සිටි නාවින්නේ ධම්මදස්සි නාහිමි විසින් මැද මහනුවරට ගෙන ගොස් ආරක්ෂා කර ඇත. ආක‍්‍රමණ බිය පහව ගිය පසු නැවත මහනුවරට ගෙන එනු ලබන දළදා වහන්සේට කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමා විසින් ප‍්‍රමාණයෙන් එකිනෙක කුඩාවන සේ රන්මය කරඬු හතරක් කරවා කුඩා කරඬුව තුළ දළදා වහන්සේ තැන්පත් කර අනතුරුව එය අනෙකුත් කරඬු තුළ තැන්පත් කර ඇත. වර්තමානය වන විට යථෝක්ත කරඬු සතරට අමතරව දළදා වහන්සේ තැන්පත්ව ඇත්තේ ඇහැළෙපොළ නිළමේ විසින් කරවා පූජාකර ඇති රන්මය කරඬුව තුළ බහා ඇති මැණික් ඇල්ලූ කුඩා රන් කරඬුවකය. එය අස්ගිරියේ කරඬුව නමින් ව්‍යවහාර වේ.

 

සෙංකඩගල පුර අවසන් රජතුමා ශී‍්‍ර වික‍්‍රම රාජසිංහය. එතුමා ජීවග‍්‍රාහයෙන් ඉංගී‍්‍රසින් විසින් අල්වා ගත් පසු උඩරට රාජධානියේ හිමිකරු වූයේ වික්ටෝරියා රැජිණ ය. ඇය අප රට භාරගත්තේ ප‍්‍රසිද්ධ උඩරට ගිවිසුම අනුවය. එ් අනුව එතුමියගේ උපදෙස් පරිදි ලංකා ආණ්ඩුව කරවූයේ සර් එඞ්වඞ් බාන්ස් ය. ඉංගී‍්‍රසීන් යටතේ දළදා වහන්සේට යම් නිගරුවක් වේ යැයි සැක කළ එවකට දළදා තේවාවෙහි නිරතව සිටි වාරියපොල සුමංගල නාහිමි රහසිතගතව දළදා වහන්සේ වැඩ සිටි කරඬුවෙන් ඉවත් කරගෙන දඹුලූ කැලයට ගෙනයන ලදී. දළදා වහන්සේ නොදුටු බාන්ස් ආණ්ඩුකාරවරයා අස්ගිරි මල්වතු උභය විහාරයේ භික්ෂූන් වහන්සේලා 40 නමක් සිරගත කරන ලදී. එම සෝචනීය පුවත කනවැකුණු සුමංගල හිමි දළදා වහනසේ ඉංගී‍්‍රසි රජයට භාර දුණි. ඉන්පසු එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරතුමා දළදා වහන්සේ මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ම තැන්පත් කර ආරක්ෂා විධිවිධාන යෙදුවේ. අද ද දළදා වහන්සේ වැඩසිටින කුටියේ මහ ෙදාරට ඉදිරියෙන් ඇති යකඩ ගේට්ටුව ඉන් එක් ආරක්ෂක ක‍්‍රමයකි. කෙසේ නමුත්  අන්‍ය ජාතික ආගමකට සැළකීම පිළිබඳව බි‍්‍රතාන්‍ය දේවගැතිවරයන් බෙහෙවින් විරෝධය ප‍්‍රකාශ කළෙන් 1847 ඔක්තෝම්බර් 02 වෙනි දින ශී‍්‍ර දළදා වහන්සේගේ භාරකාරත්වය මල්වතු විහාරයේ මහනායක පරකුඹුරේ විපස්සි නාහිමියන්ටත් අස්ගරි විහාරයේ මහනායක උඩුමුල්ලේ රතනජෝති නාහිමියන්ටත් එවකට සිටි දෙහිගම දියවඩන නිළමේතුමාටත් ඉංගී‍්‍රසීන් විසින් භාර දී ඇත. එදින සිට අද වන විටත් රාජ්‍යත්වයේ සංකේතය වූ ශී‍්‍රමත් දළදා වහන්සේ අස්ගිරි මල්වතු මහනාහිමිපාණන් වහන්සේලා භාරයේ වැඩ වෙසෙති.

 

 

 

Add a Comment

Your email address will not be published. Required fields are marked *