Home » බුදු දහම » ධර්මය » ආනාපානසති භාවනාවෙහි ඇති වැදගත්කම
Silhouette of a woman doing yoga on the beach at sunset

ආනාපානසති භාවනාවෙහි ඇති වැදගත්කම

ආනාපානසති භාවනාවෙහි ඇති වැදගත්කම : මජ්ඣිමනිකායේ ආනාපානාසති සූත‍්‍රය ඇසුරින්

රාජකීය පණ්ඩිත මාදිපොල විමලජෝති හිමි

පාලි විශේෂවේදී ගෞරව උපාධි අපේක්ෂක,

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

  1. ආනාපානසතිය

මනසේ සුවපත්වීම ගැඹුරුම හා පරම තත්වයකට පත්වන්නේ නිර්වාණ සාක්ෂාත් කරණයෙනි. ඒ සඳහා සතිපට්ඨානය හෙවත් සිහිය පිහිටුවීම ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයේ ආරම්භයේ සිට අවසානය දක්වා සම්බන්ධ බව ”එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා…”  යනුවෙන් සතිපට්ඨාන සූත‍්‍රයේද පැහැදිලිවම සඳහන් වේ. එසේම එහි සිහිය පිහිටුවා ගන්නා ආකාරය හා එමඟින් මනස වැඩෙන ආකාරයත් දැක්වේ.

ආනාපානසති භාවනාවට බෞද්ධ මානසික ශික්ෂණ විධීන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි වේ. මෙයට මූලික හේතුව වන්නේ එයින් මානසික ශික්ෂණයක්ද ප‍්‍රකට වීමයි. වෙනත් ලෙසකින් කිවහොත් ආනාපානාසති භාවනාව සමථ භාවනාවක් ලෙසත්, විපස්සනා භාවනනාවක් ලෙසත් වැඞීමට හැකිය. සතර සතිපට්ඨානයට ඒ තුළ අන්තර්ගතවීමත්, අනුක‍්‍රමික ප‍්‍රතිපදාවක් වශයෙන් නිර්වාණය ලැබීමට හැකිවීමත් එහි සුවිශේෂත්වය තවදුරටත් කියාපායි.

මෙහිදී උපුල් නිශාන්ත ගමගේ මහතා ප‍්‍රායෝගික අත්දැකීම් අශ‍්‍රයෙන් ආනාපානසතිය පිළිබඳ දක්වා ඇති අදහසක් දැක්වීමට කැමැත්තෙමි. ”අසනීපවලදී හුස්ම පාවිච්චි කරන්න පුලූවන් කය සුවපත් කර ගන්න. මතකය වැඩි කරගන්න. එසේම මෙම අනාපානසති සමාධියෙන් කල්‍යාණ මිත‍්‍රවරුනි, කෙනෙකුගේ කයයි මනසයි දෙකම ගැඹුරින්ම නිශ්චල වෙනවා. එපමණ ගැඹුරින් නිශ්චල කරගන්න පුළුවන් තවත් භාවනා ක‍්‍රමයක් නැති තරමයි. නැහැම කියන්න බැහැ. නමුත් මේ ආනාපානසති සමාධියට මනස ගැඹුරින්ම නිහඬ කරන්න පුළුවන්. කයත් ගැඹුරින්ම නිශ්චල කරන්න පුළුවන්. හේතුව තමයි මේ හුස්ම කයටත් මනසටත් දෙකටම සම්බන්ධ වීම”

සූත‍්‍ර පිටකයේ මජ්ඣිමනිකායේ දැක්වෙන ආනාපානසති සූත‍්‍රයේ ආනාපානසති භාවනාව පිළිබඳ මූලික ඉගැන්වීමක් දක්නට ලැබේ. සංයුක්ත නිකායේ ආනාපානසති සූත‍්‍රය, ගිරිමානන්ද සූත‍්‍රය, සද්ධම්මපකාසිනී නම් වූ පටිසම්භිදාමග්ග අටුවාවේත්, බුද්ධඝෝෂාචාර්ය පාදයන්ගේ විසුද්ධිමග්ගයේත්, අනාපානසතිය භාවනාවක් වශයෙන් ප‍්‍රගුණ කරන අයුරු දැක්වේ. පපඤ්චසූදනී නම් මැදුම්සඟි අටුවාවේ සිදුහත් බෝසතුන් ළාබාල අවධියේ වප් මඟුල් දා ප‍්‍රථම ධ්‍යානය ලබාගත්තේද බෝමැඩදී බුද්ධත්වය සඳහා වැඩුයේද මෙම අනාපානසති භාවනාව බව දැක්වේ.

බෞද්ධ භාවනා ක‍්‍රම අතර ආනාපානසතිය සතර සතිපට්ඨානයන්ගෙන් කායානුපස්සනාවෙහිලා ගැනේ. ඊට හේතුව ආශ්වාස ප‍්‍රාශ්වාසයන් නිරන්තරයෙන් ශරීරය හා බැඳී පැවතීමයි. ලෝකය පිළිබඳ යථාවබෝධය ලැබීමට බඹයක් පමණ වූ අප ශරීරයත් එහි යථා තත්වයත් අවබෝධ කර ගැනීම බව  ධර්මයේ ඉගැන්වේ. එයම නිවනට හේතුවන බවද එහි දැක්වේ. සිත හා සම්බන්ධ නාම ධර්මයනුත් කය හා සම්බන්ධ රූපයත් මනාව අවබෝධ කර ගැනීමට නම් ශරීරයේ ක‍්‍රියාකාරිත්වය යථා තත්වයෙන් ඒ ඒ අවස්ථාවේදීම මනසින් දැකගත යුතු වේ. ආන – ආපන දෙකෙහි සිහිය පිහිටුවා ගැනීම හෙවත් ආනාපානසතිය ඒ සඳහා නිර්දේශිත විධියයි.

බෝධිසම්භාර පුරන බෝසතුන් විසින්ද නිවන් අපේක්ෂා කරන විනේය ජනයන් විසින්ද සම්භාවනාවෙන් භාවිත කරන මෙම භාවනා ක‍්‍රමය අධිගමලාභී ආර්ය පුද්ගලයන් විසින් පවා නිරන්තර භාවිතයෙන් අගය කරන ලද බැවින් අරියවිහාර, බ‍්‍රහ්මවිහාර, තථාගතවිහාර යන නම්වලින්ද හඳුන්වනු ලැබේ.

ආනාපානසතියෙහි අගය පිළිබඳ බුදුරජාණන් වහන්සේ ආනාපානසති සූත‍්‍රයේ මෙසේ දේශනා කර ඇත. ”මහණෙනි, ආනාපානසතිය භාවිත කිරීම, මනාව ප‍්‍රගුණ කිරීම, මහත්ඵල මහානිසංස පිණිස වේ. ආනාපානසතිය වැඞීමෙන්, ප‍්‍රගුණ කිරීමෙන් සතර සතිපට්ඨානයම වැඬේ. සතර සතිපට්ඨානය වැඞීමෙන් සප්ත බොජ්ඣංග ධර්ම වැඬේ. සප්ත බොජ්ඣංග ධර්ම මගින් විද්‍යා විමුක්තිය සපිරේ.”  යනුවෙනි. මේ අනුව ආනාපානසති භාවනාව නිවන් දක්වා යොමු වූ මානසික ශික්ෂණ විධියක් බව පෙනේ. ආනාපානසතිය වැඞීමෙන් හා ප‍්‍රගුණ කිරීමෙන් උපනූපන් අකුසල් දහම් දුරු වී ආධ්‍යාත්මික ශික්ෂණය ඇති වන ආකාරය සංයුක්ත නිකායේ වෙසාලි සූත‍්‍රයේ සඳහන් වේ.

බෞද්ධ සමසතළිස් කමටහන් අතරද ආනාපානසති භාවනාවට විශේෂ ස්ථානයක් හිමි වේ. ඒ විශේෂ කරුණු කිහිපයක් පදනම් කරගෙනය. එනම්,

  1. ආනාපානසතියේ අරමුණ තමාවෙතම ඇති බැවින් සපයා ගැනීමට පහසු වීම
  2. අරමුණක් වශයෙන් එය විශේෂ ඇල්මක් හෝ පිළිකුලක් හෝ ඇති කරවන්නක් නොවන බැවින් ඉතා ශාන්තය, ප‍්‍රණීත මධ්‍යස්ත වීම සහ ක්ෂණයක් පාසා වෙනස්වීම ඉතා ප‍්‍රකට බැවින් විදර්ශනාවට නැඟීමට පහසුවීම යනුවෙනි.

ආනාපානසති භාවනාවෙන් චතුර්ථ ධ්‍යානය දක්වා සිත සමාධිගත කිරීමටද, එය පාදක කරගෙන විදර්ශනාව මගින් සිව්පිළිසිඹියා සහිත අර්හත්වය සාක්ෂාත් කිරීමටද හැකි උසස් මානසික ශික්ෂණ විධියකි. එය වැඞීමට කැමති ආදිකම්මිකයා හෙවත් යෝගාවචරයා විසින් මානසික විවේකයට සුදුසු ශාන්ත පරිසරයක් තෝරාගෙන සියල්ල පිරිසිදු කරගෙන සුදුසු ආචාර්ය වරයෙකු වෙත පැමිණ පඤ්චවිධ සන්ධියෙන් යුත් කර්මස්ථාන ඉගෙන ගත යුතු වේ.

  1. සතර සතිපට්ඨානය ආනාපාන සතියේ විද්‍යමාන වන ආකාරය

(ආනාපානසති සූත‍්‍රයෙහි පළමු කොටසෙහි හුස්ම ගැන සිහිය පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා නොකරන නිසා එම කොටස පිළිබඳ වැඩි අවධානයක් නොකෙරේ)

”ආශ්වාස ප‍්‍රාශ්වාස ගැන සිහිය පිහිටුවීම, මහණෙනි, වැඩි දියුණු කර නිතර පුරුදු පුහුණු කළේ නම් බොහෝ ප‍්‍රතිඵල දායකය. බොහෝ යහපත්ය. හුස්ම ගැන සිහිය පිහිටුවීම වැඩි දියුණු කර නිතර පුරුදු කළේ නම් සතර සතිපට්ඨානය ගැන සිහිය පිහිටුවීම සම්පූර්ණත්වයට පත් කෙරේ. සතර සතිපට්ඨානය ගැන සිහිය පිහිටුවීම වැඩි දියුණු කර නිතර පුරුදු පුහුණු කළේ නම් සප්ත බොජ්ඣංග පරිපූර්ණත්වයට පත් කෙරේ. සප්තබොජ්ඣංග වැඩි දියුණු කර නිතර පුරුදු කළේ නම්, ප‍්‍රඥව සහ විමුක්තිය පරිපූර්ණත්වයට පත් කෙරේ.”

හුස්ම ගැන සිහිය පිහිටුවීම වැඩි දියුණු කර නිතර පුරුදු පුහුණු කළ විට ප‍්‍රතිඵලදායක වන්නේ, යහපත් වන්නේ කෙසේද ? මෙහිදී මහණෙනි, භික්ෂුවක් වනයකට, ගසක් මුලකට හෝ ශූන්‍ය ස්ථානයකට ගොස් එරමිණිය ගොතා හිඳ උඩුකය ඍජුවද සිහිය සුපරික්ෂාකාරීවද තබා ගනියි. ඔහු සිහියෙන් යුතුව ආශ්වාස කරයි. සිහියෙන් යුතුව ප‍්‍රාශ්වාස කරයි.

බෞද්ධ ඉගැන්වීම් අනුව අනෙකුත් භාවනා ක‍්‍රමයන්ට වඩා විශේෂ සුදානමක් ආනාපානසති භාවනාවට අවශ්‍යය. ආනාපානසති සූත‍්‍රයේ සඳහන් වන ආකාරයට යෝගියා විසින් බාහිර උවදුරුවලින් තොර නිහඬ වටපිටාවක් ඇති තැනක්ම මූලික වශයෙන් තෝරාගත යුතුය. ආරණ්‍ය, රුක්මුල, මිනිස් වාසයෙන් තොර ශූන්‍ය භූමියක් වැනි කලබල ඝෝෂා රහිත ශාන්ත වූ වටපිටාවක් එ් සඳහා සුදුසු බව එහි පෙන්වා දී ඇත. එසේම ආනාපානසති  භාවනාව වාඩි වී කළ යුතුය. එහි දැක්වෙන්නේ කය කෙළින් ඉදිරිපස බැලීම, මනා සිහියෙන් යුතුවීම අවශ්‍ය බවය.

පෙළෙහි සඳහන් ආකාරයට ආනාපානසති භාවනාව වැඞීම සතර සතිපට්ඨානය වැඞීමට සමාන යැයි දක්වා තිබේ. වෙසෙසසින්ම ආනාපානසති භාවනාවේදී අවධානය යොමු කරන්නේ ආශ්වාසය හා ප‍්‍රාශ්වාසය කෙරෙහිය. සිහි ඇතිව ආශ්වාස ප‍්‍රාශ්වාස කරමින් ආනාපානසතිය වැඞීම ඇරඹිය යුතු වේ. එහිදී සතරසතිපට්ඨානය අන්තර්ගතවන අයුරු මෙසේ පැහැදිලි කරගත හැකිය. චතුෂ්ක වශයෙන් එය ෂෝඩශාකාරය (16). එය පහතාකාරයට මැනවින් පැහැදිලි කර ගත හැකිය.

”සතරසතිපට්ඨානයෙහි සිහිය පිහිටුවීම පරිපූර්ණ කර ගත හැකි වන්නේ, හුස්ම ගැනීම ගැන සිහිය පිහිටුවීම කෙසේ වැඩි දියුණු කර ගැනීමෙන්ද ? කෙසේ පුරුදු පුහුණු කර ගැනීමෙන්ද ?”

කය පිළිබඳ මෙනෙහි කිරීම (කායානුපස්සනාව)

  1. ප‍්‍රථම චතුෂ්කයේදී ශරීරය සම්බන්ධ ආශ්වාස – ප‍්‍රාශ්වාස ක‍්‍රියාවලිය අවධාරණය කෙරෙන බැවින් ඉන් කායානුපස්සනාව වඩන්නේ වෙයි. මේ වන විට සතිපට්ඨාන සූත‍්‍රයේ එන කය පිළිබඳ අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කිරීම සම්පූර්ණය. එසේම එහිදී විතක්ක විචාර යන ධ්‍යාන දෙකද වැඩෙනුයේ වෙයි.

”කුමන වෙලාවකදී හෝ භික්ෂුවක් සිහි ඇතිව දිග හුස්මක් හෝ කෙටි හුස්මක් ගනීද, පිට කරයිද, නැතහොත් හුස්ම ගැනීමේ කායික ක‍්‍රියාව අත්විදිමින් හුස්ම ගැනීම සහ පිට කිරීම පුහුණු කරයිද, නැතහොත් එම කායික ක‍්‍රියාව සුන්සුන් කරමින් හුස්ම ගැනීම සහ පිට කිරීම පුහුණු කරයිද, එවිට මහණෙනි, ඔහු කය කෙරෙහි කය පිළිබඳ මෙනෙහි කිරීම පුහුණු කරමින්, උද්‍යෝගයෙන්ද, මනාව දැන ගනිමින්ද, සිහි ඇතිව, ලොව පිළිබඳ දැඩි ලෝභය හා ෙදාම්නස මැඩ පවත්වමින් වාසය කරයි. හුස්ම ගැනීම සහ පිට කිරීම, මහණෙනි, කයෙහි ක‍්‍රියාවලියන්ගෙන් එකක් බව මම ප‍්‍රකාශ කරමි.”

වේදනාව පිළිබඳ මෙනෙහි කිරීම (වේදනානුපස්සනාව)

  1. ද්විතීය චතුෂ්කයේදී පීති, සුඛ ආදි සියලූ වේදනාවන් කෙරෙහි අවධානය යොමු කෙරෙන බැවින් වේදනානුපස්සනාව වඩන්නේ වෙයි. සතිපට්ඨාන සූත‍්‍රයේ දැක්වෙන වේදනා ප‍්‍රභේද අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කිරීමේ හැකියාව මෙම චතුෂ්කය සපිරීමෙන් ලැබේ. මෙයින් ප‍්‍රීති සුඛ ධ්‍යානාංග දෙකද සම්පූර්ණ වේ.

”කුමන වේලාවකදී හෝ භික්ෂුවක් ප‍්‍රීති ප‍්‍රමෝදය අත් දකිමින් හුස්ම ගැනීමට සහ පිට කිරීමට පුහුණුවේද, නැතහොත් (කායික හා මානසික) සුවය අත්දකිමින්, නැතහොත් චිත්ත සංස්කාර අත්දකිමින්, නැතහොත් චිත්ත සංස්කාර සන්සුන් කරමින්, හුස්ම ගැනීමට සහ පිට කිරීමට පුහුණුවේද, එවිට මහණෙනි, ඔහු වේදනා කෙරෙහි වේදනා පිළිබඳ මෙනෙහි කිරීමේ භාවනාව පුහුණු කරමින්, උද්‍යෝගයෙන්ද, මනාව දැන ගනිමින්ද, සිහි ඇතිව, ලොව පිළිබඳ දැඩි ලෝභය හා ෙදාම්නස මැඬ පවත්වමින් වාසය කරයි. මහණෙනි සම්පූර්ණ අවධානය හුස්ම ගැනීමට සහ පිට කිරීමට යෙදවීම විඳීම්වලින් එකක් බව මම ප‍්‍රකාශ කරමි.”

සිත පිළිබඳ මෙනෙහි කිරීම (චිත්තානුපස්සනාව)

III.        තෘතීය චතුෂ්කයේදී ප‍්‍රමෝදය, සමාධිය ආදි චිත්ත වෘත්තීන් කෙරෙහි අවධානය යොමු කෙරෙන බැවින් චිත්තානුපස්සනාව වඩන්නේ වෙයි. මේ චිත්තානුපස්සනාව තුළින් ප‍්‍රථම ධ්‍යානයේ ධ්‍යානාංග පහ සම්පූර්ණත්වයට පත්වේ. මේ වන විට පඤ්චනීවරණයන්ගෙන් සිතමිදී ඇත. එසේම ආර්ය මාර්ගයේ අටවන අංගය වන සම්මා සමාධියද සපිරේ.

”කුමන වේලාවකදී හෝ භික්ෂුවක් සිත අත්දකිමින් හුස්ම ගැනීමට, පිට කිරීමට පුහුණුවේද, නැතහොත් සිත ගැඹුරින් සතුටු කරමින්, නැතහොත් සිත එකඟ කරමින්, නැතහොත් සිත නිදහස් කරමින් හුස්ම ගැනීමට, පිට කිරීමට පුහුණු වේද, එවිට මහණෙනි, ඔහු සිත කෙරෙහි සිත පිළිබඳ මෙනෙහි කිරීම (චිත්තානුපස්සනාව) පුහුණු කරමින්, උද්‍යෝගයෙන්ද, මනාව දැන ගනිමින්ද, සිහි ඇතිව, ලොව පිළිබඳ දැඞී ලෝභය හා ෙදාම්නස මැඬ පවත්වමින් වාසය කරයි. සම්මා සතිය හා පැහැදිලි අවබෝධය නොමැති අයෙකුට හුස්ම ගැනීම පිළිබඳ සිහිය පිහිටුවීම වැඩි දියුණු කර ගැනීමට නොහැකි බව මම ප‍්‍රකාශ කරමි.”

සිතෙහි අරමුණු මෙනෙහි කිරීම (ධම්මානුපස්සනාව)

  1. චතුර්ථ චතුෂ්කයේදී අනිත්‍යය ආදී ධර්මතා අරමුණු කෙරෙහි බැවින් ධම්මානුපස්සනාව වඩන්නේ වෙයි. විමුක්ති මාර්ගය සම්පූර්ණ කිරීමට අවශ්‍ය සම්මා ඥන හා සම්මා විමුක්තිය ලැබීමට මින් අවකාශ සැලසේ.

”කුමන වේලාවකදී හෝ භික්ෂුවක් අනිත්‍යය, විරාගී බව, නිරෝධය (අවසන් කිරීම) හෝ අත්හැරීම මෙනෙහි කරමින් හුස්ම ගැනීමට, පිට කිරීමට පුහුණු වේද, එවිට මහණෙනි, ඔහු මනසේ අරමුණු කෙරෙහි මනසේ අරමුණු මෙනෙහි කිරීමේ භාවනාව (ධම්මානුපස්සනාව) පුහුණු කරමින්, උද්‍යෝගයෙන්ද, මනාව දැන ගනිමින්ද, සිහි ඇතිව ලොව පිළිබඳ දැඩි ලෝභය හා ෙදාම්නස අත්හැරීම පැහැදිලි සිහි නුවණින් දක්නා ලදුව (යොනිසොමනසිකාරයෙන්) ඔහු සම්පූර්ණ උපේක්ෂාවෙන් බලා සිටියි.”

”මහණෙනි මේ අයුරින් අනාපානාසති භාවනාව (හුස්ම ගැනීම හා හෙළීම ගැන සිහිය පිහිටුවීම) වැඩි දියුණු කර, නිතර පුරුදු පුහුණු කළ විට සතරසතිපට්ඨානය පරිපූර්ණත්වයට පමුණුවයි.”

  1. අනාපානසතිය නිවනට උපයෝගි වන අයුරු

”යමෙකු විසින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මේ අනාපානසතිය සම්පූර්ණයෙන් භාවනා කරන ලද්දේද, පිළිවෙළින් පුරුදු කරන ලද්දේද, ඔහු වළා ගැබින් මිදුණු සඳක් මෙන් මේ ලොව ආලෝක කන්නේය.  මේ අනුව ආනාපානසති භාවනාවේ අනේකපරියායෙන් ආනිශංස ඇති බව පැහැදිලිය.

එක් අතකින් ආනාපානසති භාවනාව වැඞීම සතරසතිපට්ඨානය වැඞීමට සමාන වේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන හතර ආනාපානසති භාවනාවෙන්ම සපිරන බව දක්වන්නේ එය මේ සියලූ අනුපස්සනාවන්ට සම්බන්ධ කළ හැකි බැවිනි. ඒ අනුව බෞද්ධ විමුක්ති මාර්ගය සාක්ෂාත් කරගනු වස් ආනාපානසති භාවනාව වැදගත්ම ප‍්‍රවේශයක් ලෙස සැලකීමේ වරදක් නැත.

ආනාපානසති භාවනාව තුළින් සතර සතිපට්ඨානය වැඞීමෙන් සත්තබොජ්ඣංග ධර්ම වැඞීමටත්, එමඟින් මාර්ගඵල සාක්ෂාත් කර ගැනීමටත් හැකිය.

  1. සති සම්බොජ්ඣංගය – කායානුපස්සනාවේදීම සතිසම්බොජ්ඣංගය වැඬේ.
  2. ධම්මවිචය සම්බොජ්ඣංගය – පඤ්චස්කන්ධය අනිත්‍යාදි වශයෙන් විමර්ශනය කිරීමත් සමඟ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඬේ.
  3. විරිය සම්බොජ්ඣංගය      –      ධර්මය විචාරයට ලක් කිරීම නිසා වීර්ය්‍යාරබ්ධව පරිපූර්ණ වෙයි.
  4. පීතිසම්බොජ්ඣංගය – වීර්ය වඩත්ම ප‍්‍රීතිය උපදී ප‍්‍රීතිය වැඬේ. මේ තුළින් ප‍්‍රීති සම්බොජ්ඣංගය වැඬේ.
  5. පස්සද්ධි සම්බොජ්ඣංගය – ප‍්‍රීති සිත් ඇති නිසා සිත සන්සිඳේ. එයින් පස්සද්ධි සම්බොජ්ඣංගය වැඬේ.
  6. සමාධි සම්බොජ්ඣංගය – චිත්තය සන්සිඳුණු නිසා චිත්තය සමාධිගත වෙයි. එයින් සමාධි සම්බොජ්ඣංගය වැඬේ.
  7. උපෙක්ඛා සම්බොජ්ඣංගය – ඇති වූ සමාධිය වඩ වඩාත්ම උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඞී පරිපූර්ණ වේ.

එහෙයින් අනාපානසති භාවනාවේ ඇති උසස් ප‍්‍රතිලාභය නම් බොජ්ඣංග ධර්ම වඩා එමඟින් මාර්ගඵල සපිරීමයි. බුදුරජාණන් වහන්සේද බුද්ධත්වය ලැබීම සඳහා මෙය භාවිත කළ බව සූත‍්‍ර පිටකයේ සඳහන් වේ.

ආනාපානසතියේ ඇති අනෙක් ප‍්‍රයෝජනය නම් ”චරිමක” හෙවත් කෙළවර ආශ්වාස ප‍්‍රාශ්වාස දැන ගැනීමේ හැකියාවයි. මජ්ඣිමනිකායේ මහාරාහුලෝවාද සූත‍්‍රයෙහි සඳහන් වන ආකාරයට ආනාපානසතිය භාවිත බහුලීකෘත කළ කල්හි චරිමක ආශ්වාස ප‍්‍රාශ්වාස දැනීම පවා නිරුද්ධ වේ. නොදැනී නිරුද්ධ නොවේ.  ආශ්වාස ප‍්‍රාශ්වාස පිළිබඳ චරිමක නිරුද්ධවීම තෙපරිදිය. භාව චරිමක, ඣාන චරිමක, චුති චරිමක, යනුවෙනි.  කාම භවයෙහි ආශ්වාස ප‍්‍රාශ්වාස නිරුද්ධවීම (රූපාරූප භවවලට අදාළ නැත) භව චරිමක නම් වේ. ප‍්‍රථම ද්විතීය, තෘතීය ධ්‍යානවල ආශ්වාස ප‍්‍රාශ්වාස නිරුද්ධවීම (චතුර්ථ ධ්‍යානයට අදාළ නැත) ධ්‍යාන චරිමක නමි. චුති චිත්තයට පෙරාතුව සොළොස්වන චිත්තය සමග උපන් චුති චිත්තය හා ආශ්වාස ප‍්‍රාශ්වාස නිරුද්ධ වීම චුති චරිමක නමි. ආනාපානසති භාවනාවෙන් චුති චරිමක දැන ගැනීමේ හැකියාව ලැබේ. කමටහන වඩා ඇති ප‍්‍රමාණය අනුව එය ප‍්‍රකට වේ.

එසේම ෂෝඩෂ වස්තුක ආනාපානසති භාවනාව වඩා රහත්වන භික්ෂූන්ගේ දිවිපවත්නා කාලය පිරිසිඳින ලද වේ. සෙසු කමටහන් වඩා රහත්වන භික්ෂූන්ගේ එසේ නෙවේ. ඇතැම්විට දිවිපවත්නා කාලය පිළිබඳ අවිච්ඡින්නද විය හැකිය. මේ නිසා ආපානසති භාවනාව වඩා රහත් බව ලැබූ භික්ෂූන් වහන්සේ ආයු සංස්කාරය පවත්නා කාලය පිළිබඳ දැන වාසය කරති. ඒ අනුව සිරුර පිළිදැගුම් කිරීම ආදිය කොට සුදුසු අවස්ථාවේ පිරිනිවනට සුදානම් වී සිටින්නේය. කොළපව් වෙහෙර විසූ තිස්ස තෙරුණුවෝද මහකරද වෙහෙර විසූ මහාතිස්ස තෙරුණුවෝද එසේ කළෝ වෙති.

ආනාපානසති භාවනාව වැඞීම පිළිබඳ විසුද්ධිමග්ගයේ දැක්වෙන පිළිවෙළ නිවන වෙත යොමු වූ අනුක‍්‍රමික ක‍්‍රියාවලියක් බව පහත කරුණුවලින් පෙනේ.

  1. අනුබන්ධනා – (Connection) සිහිය ආශ්වාස ප‍්‍රාශ්වාසව අනුව පවත්වා ගැනීමයි. මෙහිදී ගණන් කිරීම නවතා පෙරසේම නාසයෙන් ඇතුළුවන සහ පිටවන ආශ්වාස ප‍්‍රාශ්වාස අරමුණු කිරීමයි. එය කළ යුත්තේ ආශ්වාසය ගිය මඟ අනුව යමින් නොව ෙදාරටු පාලකයෙකුසේ නාසිකා අග ගැන සිහිය තබා ගැනීමෙනි.
  2. ඵුසනා (Contact) – ආශ්වාස-ප‍්‍රාශ්වාස වායුව ස්පර්ශ වන ස්ථාන එනම්, නාසිකා අග‍්‍රය පිළිබඳ මෙනෙහි කිරීමය.
  3. ඨපනා (Fixing) – අපර්ණාව හෙවත් ආශ්වාස ප‍්‍රාශ්වාස තිබියදී සිත නැංගවීම මෙනෙහි කිරීමයි.
  4. සල්ලක්ඛණා (Observing) – ආශ්වාස ප‍්‍රාශ්වාස අරමුණ අනිත්‍ය, දුක්ඛ, අනත්ත වශයෙන් විදර්ශනාවට නඟා මෙනෙහි කිරීමය. මෙය සිදුවන්නේ චතුර්ථ ධ්‍යානයට සමවැදීමෙන් පසුවය.
  5. විවට්ටනා (Turning away) – ආශ්වාස අරමුණ විදර්ශනාවට නගා මෙනෙහි කිරීමෙන් සෝවාන් ආදි මාර්ගයට පැමිණීමය.
  6. පාරිසුද්ධි (Purification) – මාර්ගයට පැමිණීමෙන් අනතුරුව ලැබෙන ඵලයයි.
  7. පතිපස්සනා (Looking back) – ඒ ලැබූ මාර්ගඵල හා නිවන පිළිබඳ ප‍්‍රත්‍යක්ෂ කිරීමයි.

මේ අනුවද ආනාපාන සතියේ ඇති සුවිශේෂතාව හා එය අනෙකුත් මානසික ශික්ෂණ විධි අතර ප‍්‍රමුඛ වන ආකාරය පැහැදිලිය. එය වැඞීමේදී පූර්ව කෘත්‍යය ලෙස සිදු කළ යුතු කාර්යයන් අනාපානසති සූත‍්‍රයේ මෙසේ දැක්වේ.

”ඉධ භික්ඛවෙ භිකඛු අරඤ්ඤගතොව රුක්ඛමූලගතොවා සුඤ්ඤගාරගතොවා නිසීදති, පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”

 

”කළ්‍යාන මිත‍්‍රවරුනි, බුදුහාමුදුරුවන් වහන්සේ පියවරින් පියවර පැහැදිලි කරනවා මේ අනාපානසති සමාධිය, නැති නම් මේ ආශ්වාස ප‍්‍රාශ්වාස  පිළිබඳ භාවනාව මහත්ඵලයි, මහානිහංසයි ලෞකික වශයෙනුත් ලෝකොත්තර වශයෙනුත්. ඒ විතරක් නෙවෙයි, සතර සතිපට්ඨානය, සතර ඉදිධිපාද, සතර සම්‍යක් ප‍්‍රධන් වීර්යය, පංච බල, පංච ඉන්ද්‍රිය, සප්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය මේ සියල්ලම අනාපානසතිය වැඞීමෙන් ලබන්නට පුළුවන් බව මජ්ඣිමනිකායේ අනාපානසති සූත‍්‍රයේ විස්තර කරනවා.”

මේ අනුව අනාපානසතිය වැඞීම සතරසතිපට්ඨානයට වැඞීමටද සමාන වන අතර නිර්වාණාවබෝධය සඳහාද එය අතිශය උපකාරීවන බව පැහැදිලිය.

ආන්තික සටහන්

Add a Comment

Your email address will not be published. Required fields are marked *