Home » බුදු දහම » ධර්මය » ඔබ ප්‍රශංසා පමණක්ම බලාපොරෙත්තු නොවිය යුත්තේ ඇයි?
finger pointing

ඔබ ප්‍රශංසා පමණක්ම බලාපොරෙත්තු නොවිය යුත්තේ ඇයි?

නින්දාව සහ ප්‍රශංසාව යනු අටලෝ දහමේ එක් අවස්ථාවකි. නින්දාවක දී දුකෙන් හැකිලෙන මිනිසා ප්‍රශංසාවකදී උද්දාමයටත් ප්‍රබෝධයටත් පත්වේ. නින්දාවෙහි ගැටුම් සහ අරගල ඇති කරගන්නා මිනිසා ප්‍රශංසාවේදී ලොවටම ඇසෙන සේ තම සතුට ප්‍රකාශ කරයි. මෙයින් පැහැදිලි වන්නේ මිනිසා දුක සහ සැප දෙකේදී දෙයාකාරයකට ප්‍රතිචාර දක්වන බවය. බුද්ධිමත් මිනිසා මෙම ද්වන්ධ චරණයෙන් (අන්තවාදී ක්‍රම දෙකෙන්) බැහැරව ඉතාමත් සමබරව, ජීවිතයට මුහුණදෙමින් පැමිණෙන නින්දා ප්‍රශංසා දෙකම තිර ලෙස, සතුටින් විද දරාගනී. මෙම අවස්ථා දෙකේදීම අන්වාදී ලෙස ප්‍රතිචාර දක්වන්නෝ බුද්ධියෙන් හීන ඇතුළත හිස් අය වෙති.
‘‘සිදුවීම් සිදුවන්නේ විලාප නගා හැඩීමටත්, කොක් හඩලා සිනාසීමටත් නොවන‘‘ බව ස්පිනෝසා නම් දාර්ශනිකයා ප්‍රකාශ කර තිබේ. නින්දා සහ ප්‍රශංසා යන කාරණා දෙකෙහි දී අන්තවාදී ලෙස ප්‍රතිචාර දක්වන පුද්ලයකුට ජීවත්වීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලූවලදී නිවැරදි විසඳුමකට පැමිණීම අපහසු වේ. නින්දාවේදී ද්වේශයෙන් සහ දුකෙන් ඔහුගේ හදවත නිතැතින් ම වෙළා ගන්නා අතර, ප්‍රශංසාවේදී ලෝභයෙන් තාවකාලික සතුටක් ඇතිවේ. ඒ සමගම පැමිණෙන ආශාවන් නිසා ඔහු නැවත නැවතත් කණස්සල්ලට සහ දුකට පත්වේ. මෙම නිසා නින්දාව සහ ප්‍රශංසාව යන දෙකම සමව ඉවසීමට හැකි විය යුතුය පුද්ගලයකුට එලෙස කටයුතු කිරීමට හැකි වෙන්නේ ලෝකය පිළිබඳ සැබෑ යථාර්ථය නිසි අයුරින් දැකීමට හැකි නම් පමණි. එලෙස කටයුතු කරන පුද්ගලයකු සැබෑ ප්‍රඥාවන්තයෙක්ද වේ. එබඳු කෙනෙකුට මොහොතින් මොහොත වෙනස්වන අෂ්ටලෝක ධර්මයෙහි එන – දුක සැප සංකල්පයෙන් මිදී සෑම මොහොතකම ප්‍රීතිමත්ව කල් ගෙවීමට හැකිවන බව අප වටහා ග යුතුය.

670px-Insult-People-Back-After-an-Insult-Step-1

‘‘පෝරාණ මේතං අතුල නේතං අජ්ජතනාමිව
නින්දන්ති තුණ්හි මාසීනං  නින්දන්ති බහු භාණිනං
මිත භාණිමිපි නින්දන්ති  නත‍ථී ලොකෙ අනින්දිතො‘‘
බුදුන් වහන්සේ මෙම ගාථාව ‘අතුල“ නම් වූ සිය දායකයකු හා ඔහු සමග පැමිණි පිරිසකට දේශනා කර තිබේ.
මෙම ගාථාවේ අර්ථය වන්නේ, අතුල අද පමණක් නොව ලෝකයේ අතීතයේත් අනාගතයේත් පවතින ලක්ෂණයක් නම් සෑම පුද්ගලයකුම නින්දා ලැබීම දක්නට හැකි බවය. කෙනෙක් නිශ්ශබ්දවව සිටියත් නින්දාවට බඳුන්වෙයි. ටිකක් කතා කලත් නින්දා ලබයි. නින්දා නොලබන කෙනෙක් ලොවෙහි නැත. මෙය ලෝකයේ ස්වභාවයයි.
‘‘කිසිවෙකුටත් කරදර නොකොට කාගෙවත් දේවල් නොසොයා තමන්ගේ පාඩුවේ සිටින කෙනෙකු යැයි“ නිශ්ශබ්දව සිටින පුද්ගලයාට ඇතැමෙක් ප්‍රශංසා කරති. නමුත් තවත් පුද්ගලයකු එම පුද්ගලයා මහා ආඩම්බරකාරයෙක් ලෙසත්, කිසිම වැඩකට නැති අයෙකු ලෙසත් හඳුන්වාදෙමින් නින්දා කරයි. නමුත් තවත් කෙනෙක් වැඩියෙන් කතා කළොත් හේ නිතරම කතා කරන වාචාලයකු ලෙස හැඳින්වීමටද මේ සමාජයේ ඉඩකඩ තිබේ.
වැඩ කරන පුද්ගලයාටත් වැඩ නොකරන පුද්ගයාටත් සමාජය බැන වදී. මෙය සමාජයේ සනාතන ස්වරූපයක් බව බුදුන් වහන්සේ විසින් මෙම ගාථාවෙන් පෙන්වා දී තිබේ.
ප්‍රශංසාව පමණක් අපේක්ෂා කරන පුද්ගලයාට කිසිම දවසක සමාජ මෙහෙවරක් කරන්නට නොහැකි වනු ඇත. ‘‘ඔබ ඔබගේ මාර්ගය අනුගමනය කරන්න. ලෝකයට කැමැත්තක් කියන්නට ඉඩ හරින්න“ යනුවෙන් ඩාන්ටේ නම් දාර්ශනිකයා ප්‍රකාශ කර ඇත. කෙනෙක් යහපත් කටයුත්තක් කරන්නේ ප්‍රශංසා අපේක්ෂාවෙන් නම් ඔහුට එම කටයුත්ත සිදුකර අවසානයේදී සැබෑ සතුටක් ලැබීමට නොහැකිය. එම තත්වයට හේතු වන්නේ ඔහු විසින් සිදුකරන ක්‍රියාවට ප්‍රශංසා නොකරන පිරිසක් සමාජයේ සිටින නිසයි. එය ලෝක ස්වභාවයයි. එම තත්වය වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකිය.
බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. එසේ ම සෑම අතින්ම නිවැරදි සර්වතෝ භද්‍ර උත්තමයකු බවත් පිළිගැනේ. එබඳු පුද්ගලයකුටත් නින්දා අපවාද කළ කෙතරම් පිරිසක් එකල සමාජයේ සිටියාද? එමනිසා නින්දා ප්‍රශංසා යන දෙක ම අප විඳ දරා ගත යුතු බවත්, එම තත්ත්වයන්ට අප සමව මුහුණ දිය යුතු බවත් අප තේරුම් ගත යුතුය.

831

අතුල ගෘහපති පුත්‍රයා ඇතුළු දායක පිරිස නින්දා අපවාද කළේ සාමාන්‍ය කෙනෙකුට නොවේ. ඔහු රේවත මහ රහතන් වහන්සේ පළමු කොට හමු වී උන්වහන්සේගේ නිශ්ශබ්දතාවයට චෝදනා කළහ. රේවත හිමියන් විවේකය ප්‍රිය කළ රහතන් වහන්සේ නමකි රේවත හිමියන්ගේ නිහඬබවත් චාම් බවත් ඛෙහෝ දෙනෙකු අගය කළත් අතුළ ගෘහපති පුත්‍රයා ඇතුළු පිරිස උන්වහන්සේගේ නිහඬබවටත් චාම්බවටත් චෝදනා කළහ.
මෙම පිරිස සැරියුත් හිමියන්ගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ නමුත් එය ගැඹුරු වූ හෙයින් එම ධර්ම දේශනයද මෙම පිරිස ප්‍රිය කළේ නැත. සැරියුත් හිමියන් බොහෝ ගැඹුරු හා දීර්ඝව ධර්මය දේශනා කරන කරන බවට මොවුහු චෝදනා කළහ.
මෙම පිරිස සැරියුත් හිමියන් හමුවීමෙන් පසුව ආනන්ද හිමියන් වෙත ගිය අතර, ආනන්ද හිමියන් ධර්ම භාණ්ඩාගාරි ධූරය දැරුවත් උන්වහන්සේ ඉතාමත් සරලවත්, සංක‍ෂිප්ත ලෙසත් මෙම පිරිසට ධර්මය දේශනා කලහ. නමුත් අතුල ගෘහපති පුත්‍රයා ඇතුළු පිරිසේ චෝදනාව වූයේ ආනන්ද හිමියන් කිසිදු ගැඹුරක් නැති ධර්මයක් කෙටියෙන් දේශනා කරමින් ඔවුන්ගේ බුද්ධියට නින්දා කළ බවය. අවසානයේදී මෙම හිමිවරුන් තිදෙනා පිළිබඳවම අප්‍රසාදය පළ කිරිම සඳහා ඔවුන් බුදුරදුන් හමු වූ අවස්ථාවේ දී බුදුන් වහන්සේ ඉහත ගාථාව දේශනා කළ සේක. එහිදී බුදුන් වහන්සේ පැහැදිලි කළේ, භින්න රුචික වූ නානාවිධ ආකල්පයන් හා නානාවිධ බුද්ධි මට්ටමින් යුතු සමාජයක කිසිවෙකුට සෑම දෙනාගේම ප්‍රශංසාව හෝ නින්දාව ලැබිය නොහැකි බවය.
නින්දාව හා ප්‍රශංසාව රථ රෝදයක් ලෙස සෑම විටම පෙරළෙමින් අටලෝදහම වශයෙන් කැරකැවෙන බව ධර්මයේ සඳහන් වේ. මෙම නිසා නින්දා ප්‍රශංසා යන දෙකට නොසැලී මුහුණ දීමෙන් අපට සදා සතුටින් සිටිය හැකි බව තේරුම් ගත යුතුය.
මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි

Add a Comment

Your email address will not be published. Required fields are marked *