Home » බුදු දහම » ධර්මය » කුසල මාර්ගය, වැසිකිළි කැසිකිළි පූජාව හා කඨින පූජාව ආදී පූජාවන්ට සීමාකර දැක්වීම නිවැරදි ද?
z_pic350-vis

කුසල මාර්ගය, වැසිකිළි කැසිකිළි පූජාව හා කඨින පූජාව ආදී පූජාවන්ට සීමාකර දැක්වීම නිවැරදි ද?

මෙම ලිපිය තුළින් සාකච්ඡා කරණුයේ අටමහ කුසල් පිළිබඳ සම්මතය හා ඉන් ඔබ්බට ඇති කරුණු පිළිබඳවයි. අප විසින් සමාජීය වශයෙන් සම්මත කරගත් අටමහ කුසල් සහ බුදුරදුන් කුසලය යනුවෙන් සොයාගත් මාර්ගය මෙම ලිපිය අවසානයේ අවබෝධවනු ඇත.
කුසල මාර්ගය සොයාගිය බෝසතාණන් වහන්සේ ශාස්ත්‍රාචාරීන් හමුවේ ධ්‍යාන වඩා, අවබෝධ කොටගත නොහැකි වූ කුසලය නූතනය තුල ව්‍යවහාර වනුයේ ඉතා සරල අර්ථයකින් බව පෙනී යයි. බුද්ධ දේශනාව තුල අන්තර්ගත කුසල මාර්ගය සංකීර්ණය. එසේනම් නූතන ව්‍යවහාරයේ අටමහ කුසල් යනුවෙන් භාවිත වන පිළිවෙත් තුලින් ලොකෝත්තර නිවන ලඟාකරගත හැකිද? බුද්ධ දේශනාවේ කුසලය යනුවෙන් දක්වන්නේ කුමක් ද? ඒ පිළිබඳව කොළඹ 10, මාලිගාකන්දේ මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරවාසී, අග්‍රශ්‍රාවක ධාතුතේවාභාර, මොණරාගල පඤ්ඤාලංකාර ස්වාමීන්වහන්සේ සමඟ අප කළ ධර්ම සාකච්ජාවයි මේ.
ස්වාමීන්වහන්ස අප මහා බෝසතානන් වහන්සේ කුසලය යනුවෙන් සොයාගිය මාර්ගය පිළිබඳ හඳුන්වන්න

බෝසතාණන් වහන්සේ සක්විති රජකමත් හැරදමා ගිහිගෙයින් නික්ම ගියේ කුසලය සොයමින්. මේකට ආරම්භයක් සූත්‍ර පිටකයේ මජඣිමනිකායේ අරියපරියෙසන සූත්‍රයේ ඉතා පැහැදිලිව දැක්වෙනවා. ප්‍රථමයෙන්ම උන්වහන්සේ ආළාරකාලාම උද්දකරාමපුත්‍ර යන ශාස්ත්‍රඥයන් සොයාගිය බව ඉහත සූත්‍රයේම සඳහන්වනවා. ඔවුන් වදාළ ධර්මයෙන් උන්වහන්සේට නිවැරදි මාර්ගය සොයා ගැනීමට නොහැකිවුනා. ඒ වන විටත් උන්වහන්සේ ධ්‍යාන අටක් ම අවබෝධකරගෙන තිබුණත් කුසලය යන්න අවබෝධවූයේ නැහැ. එහිදී තමා උන්වහන්සේ තීරණය කරන්නේ තමාගේම මාර්ගයක් සොයා යායුතු බව. “කිං කුසල ගවේශී” ලෙස බෝසතාණෝ කුසලය සෙවීමට පෙළබෙනවා. මෙය අරියපරියෙසන සූත්‍රයේ දැක්වෙන්නේ මෙලෙසයි.
“මේ ධර්‍මය සසර කළකිරීම පිණිස නොවෙයි. විරාගය පිණිස නොවෙයි. අභිඥාව පිණිස නොවෙයි. සමිබෝධිය පිණිස නොවෙයි. නිවන පිණිස නොපවතී. එය හුදෙක් නේවසඤඤානාසඤඤායතනයෙහි ඉපදීම පිණිස පමණක්ම වෙයි. මහණෙනි, මම ඒ ධර්මය ප්‍රමාණය නොවන්නක් කොට මෙයින් කම් නැතැයි සිතා එයින් කළකිරී බැහැර ගියෙමි. මහණෙනි ඒ මම කුසලය කුමක්දැයි සොයනසුලු වූයෙම්”.
( මැදුම්සඟියෙහි ඔපමමවර්‍ගය, 407 පිට )මෙලෙස උන්වහන්සේ විසින්ම අවබෝධකරගත් ධර්මය තමයි කුසල මාර්ගය නැතහොත් ආර්ය අශ්ඨාංගික මාර්ගය කියන්නේ. සාමාන්‍ය්‍ය වහාරයේ කුසල් වැඩිය හැකි අංග නැතහොත් අටමහ කුසල් ලෙස දැක්වෙන්නේ ඊට ඉඳුරාම වෙනස් දෙයක්.

ස්වාමීන්වහන්ස අටමහා කුසල් යනුවෙන් අප දන්නේ ලෞකික පිළිවෙත් සමුදායක් නමුත් බුදුරදුන් කුසලය යනුවෙන් සොයාගියේ ලෝකෝත්තර මාර්ගයක් නේද ?

ඔව්, නමුත් ආර්ය අශ්ඨාංගික මාර්ගය කියන්නේ ලෝකෝත්තර මාර්ගයක් පමණක්ම නොවෙයි. එය පැහැදිලිවම ලෞකික හා ලෝකෝත්තර යනුවෙන් කොටස් දෙකකට බෙදෙනවා. එය ත්‍රිපිටකය තුල දැක්වෙන්නේ මෙහෙමයි.
“කතමා ච භික්‍ඛවෙ, සම්මාදිටඨි; සම්මාදිටඨිමපහං භික්‍ඛවෙ දවයං වදාමි, අත්‍ථි භික්‍ඛවෙ, සම්මාදිටඨි සාසවා පුඤඤභාගියා උපධිවෙපක්‍කා අත්‍ථි භික්‍ඛවෙ, සම්මාදිටඨි අරියා අනාසවා ලොකුතතරා මගග`ඞගා”
“මහණෙනි, සම්‍යක්දෘෂ්ටි කවර යත්; මහණෙනි, මම සම්‍යග්දෘෂ්ටියත් දෙපරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව වූ පුණ්‍ය භාගීය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටියක් ඇත. මහණෙනි, ආර්්‍ය වූ, අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්ගාඩ්ග වූ සම්‍යග්දෘෂ්ටියක් ඇත”.
මජඣිමනිකායේ මහාචතතාරීසක සූත්‍රයේ මේ ආකාරයට ඉතිරි අංග හතද විස්තර වනවා. නමුත් වර්තමානයේ බෞද්ධයන් ධර්මයේ ලෝකෝත්තර ස්වභාවය අතහැර දමා ලෞකික පැත්ත පමණක් පෝෂණය කරනවා. එයින් කුසල මාර්ගය අවබෝධ කරගැනීම අපහසුවෙනවා. අටමහ කුසල් යනුවෙන් වෙනත් ව්‍යවහාරයන් එක්වී ඇත්තේ ඒ නිසයි.

අටමහා කුසල්වල එන කඨින චීවර පූජාව බෞද්ධයන් ඉතා උතුම්කොට සලකනවා. මෙහි අනෙකුත් අංග පිළිබඳ කෙටි හැඳින්වීමක් කලොත් ?

කඨින චීවර පූජාවට මුල් තැනක් ලැබෙන බව සත්‍යයක්. මේ අංග සියල්ල එක් ගාථාවක දැක්වෙනවා.
කඨිනට්ඨ පරික්ඛාරං වාසදානංච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා කරණපීච
කරණං වච්චකුටියා අට්ඨපුඤ්ඤාණි වුච්චරේ
01 කඨින පූජාව
02 අටපිරිකර පූජාව
03 ආවාස පූජාව
04 බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට දන්දීම
05 ධර්මය ලිවීම
06 කෙත්වතු පූජා කිරීම
07 බුද්ධ ප්‍රතිමා කිරීම
08 වැසිකිළි කැසිකිළි සාදා පූජා කිරීම
ලෙස මේ අටමහා කුසල් දැක්වෙනවා. දැන් මේවයේ සඳහන් වන්නේ සියලුම ලෞකික සැප සම්පත් පූජාකිරීමක්නේ. ධර්මය ලිවීම විතරයි ටිකක් වෙනස් වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සක්විති රජකමත් හැරදාලා ඇවිත් අවබෝධ කරගත් මේ මහා ධර්මය, කුසල මාර්ගය ලෞකිකව මේ ආකාරයෙන් වැලඳගැනීම නිවැරදි ද කියල ගැටලුවක් ඇතිවෙනවා. උන්වහන්සේ පැහැදිලිකල ලෝකෝත්තර ධර්මය භාවිතාවෙන් අඩුවෙලා යන බවක් පේන්න තියනවා. බෝමැඬදී බුදුරදුන් අවබෝධකරගත් කුසල මාර්ගය ලෞකිකව වැසිකිළි කැසිකිළි පූජාවකට, කඨින පූජාවකට, කෙත්වතු පූජාවකට සීමාකර දැක්වීම කෙතරම් නිවැරදි ද යන්න අවබෝධ කරගත යුතුය.

එසේනම් ස්වාමීන්වහන්ස බෞද්ධයන් වන අප පිළිපැදිය යුත්තේ, පිළිගත යුත්තේ කුමක්ද ?

අප තේරුම්ගත යුතු වන්නේ බදුරජාණන් වහන්සේ සාරාසංකේය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා, ධ්‍යාන සියල්ලම සම්පූර්ණ කර, ඉන් නොනැවතී සොයාගොස් අවබෝධකරගත් ධර්මය සුළුකොට නොතැකිය යුතු බවයි. ලෞකික පුදපූජා වලින් කුසල් දහම් වඩා නිර්වාණය ලඟාකරගත නොහැකියි. ඒකායන කුසල මාර්ගය නම් ආර්්‍ය අශ්ඨාංගික මාර්ගයයි. එයයි නිවන් මාර්ගය.

බුදුන් වදාළ ධර්මයේ ලෞකික හරය වැළඳගනිමින් ලෝකෝත්තර ධර්ම කරුණු අතහැර දැමීමේ උචිත අනුචිත භාවය ඔබ විසින් තීරණය කල යුතු වේ. අනෙක් අතට ඕනෑම ආගමක් කාලාන්තරයක් තිස්සේ ප්‍රතිපෝශණයට ලක් වෙමින් පවතිද්දී මෙවන් අංග ඉස්මතු වීම සාමාන්‍යය කරුණකි. සාමාජීව සලකා බලන විට යමක ගැඹුරු අර්ථයන් වටහාගත නොහැකි වූ තැන එහි සරළ අර්ථයන් පසුපස හඹායෑම පෘතග්ජන මනුෂ්‍යය ස්වභාවයයි. එසේ හෙයින් අප විසින් කිසිවක් ඉවතලිය යුතු නොවේ.

නිලුපුල් විතානගේ

Add a Comment

Your email address will not be published. Required fields are marked *