Home » පුරාවිද්‍යාව » චෛත්‍යය වන්දනාව හා ජන ජීවිතය
139016-004-F4160247

චෛත්‍යය වන්දනාව හා ජන ජීවිතය

 

චෛත්‍යය වන්දනාව හා ජන ජීවිතය   

රාජකීය පණ්ඩිත මාදිපොල විමලජෝති හිමි

පාලි විශේෂවේදී ගෞරව උපාධි අපේක්ෂක,

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

බුදුරජාණන් වහන්සේ පිළිබඳව පිදිය යුතු චෛත්‍යය තුනක් ඇත. ඒවා ත‍්‍රිවිධ චෛත්‍යය  යනුවෙන් හඳුන්වයි. එනම් ශාරීරික, පාරිභෝගික, උද්දේසික යනුවෙනි. මෙයින් ශාරීරික චෛත්‍යය යනුවෙන් හඳුන්වනු ලබන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී දේහයෙන් ඉතිරි වූ ධාතූන් ආදී පූජනීය කොටස් තැන්පත් කළ දාගැබයි. බුදුරජාණන් වහන්සේ ජීවිමාන කාලයෙහි පරිභෝග කළ පාත‍්‍ර සිවුරු හා බුදුවනදා සෙවනෙන් පාරිභෝග කළ ඇසතු වෘක්ෂයත් පාරිභෝගික චෛත්‍යයට අයත් වෙයි. උද්දේසික චෛත්‍යය යනු මුල් යුගයේදී වස්තුවක් නැතිව බුදුගුණ සිහි කෙරෙමින් කළ වන්දනමානාදියයි. උද්දේසික චෛත්‍යය පසුව පිළිම වන්දනාවට හැරුණි.

චෛත්‍යය බෞද්ධයන්ගේ පූජනීය ස්ථාන අතර ප‍්‍රමුඛත්වයක් ලැබෙන ආගමික සංකේතයකි. බෞද්ධයන්ගේ ආගමික වත් පිළිවෙත් පුද පූජා සම්ප‍්‍රදායයන් සකස්වීමට මෙන්ම ආගමික භක්තිය වර්ධනය වීමටද චෛත්‍යය වන්දනාව බෙහෙවින් බලපා ඇත. බෞද්ධයන් අතර චෛත්‍යය වන්දනාව ආරම්භවීමෙන් පසු චෛත්‍යය මුල්කරගත් සංස්කෘතියක්ද ගොඩනැගුනි. සෑම බෞද්ධ රටකම විවිධ ආකාරයෙන් දක්නට ලැබෙන චෛත්‍යය වන්දනාව බෞද්ධ සංස්කෘතිය විසින් බිහි කළ උසස් කලා නිර්මාණයකි.

චෛත්‍යය යනු සංස්කෘත වචනයයි. චෙතිය යනු පාලි වචනයයි. එසේම ව්‍යවහාරයේ චෛත්‍යය වශයෙන් බහුලව භාවිත කරන මෙම වචනය ”ස්තූප” වශයෙන් සංස්කෘතයෙන්ද, ”ථූප” යනුවෙන් පලියෙන්ද, ”දාගැබ, තුබ හෝ තුඹ” යනුවෙන් සිංහලෙන්ද හඳුන්වයි. මේ සෑම වචනයකින්ම අර්ථවත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර නිර්මාණය කර ඇති පූජනීය වස්තුවකි. එහෙත් පැරණි භාරතීයයන් මෙයින් අදහස් කර ඇත්තේ මෘත ශරීර භූමදාන කළ තැන පස් ගොඩැල්ල, සොහොන් කොත හෝ ස්මාරකය සඳහා වෙන්වන ප‍්‍රදේශයයි.  මෙම චෛත්‍යය හෙවත් ස්තූප බුද්ධකාලයට පෙර පටන්ම පැවති බවට බෞද්ධ මෙන්ම ප‍්‍රාග් බෞද්ධ මූලාශ‍්‍රවලින්ද සාධක සොයාගත හැකිය. සොහොන් ගෙවල් තනා චෛත්‍යය ස්ථාන වශයෙන් පූජා පැවැත්මක් ගැන බ‍්‍රාහ්මණ ග‍්‍රන්ථයන්හිද සඳහන් වෙයි.

පගර්සන් නම් පුරාවිද්‍යාඥයාට අනුව වෛදික ඉන්දියාවේ ස්තූප සොහෙන් කොත් පාදක කරගෙන ප‍්‍රභවය ලබා ඇත. මේවායෙහි මළවුන්ගේ ශරීරාංග තැන්පත් කර තිබූ අතර ආකෘතියෙන් චතුරශ‍්‍රාකාරව හා වෘත්තාකාරව ඉදිකොට තිබුනි. වී. ඇස්. අග‍්‍රවල් මහතාට අනුව මහාපුරුෂ හෙවත් වෛදික බ‍්‍රහ්මන් සංකේතවත් කරන හිරණ්‍ය ස්තූප විශ්වයේද ප‍්‍රභවය සංකේතවත් කරයි. මේ අනුව වෛදික හිරණ්‍යස්තූප බුදුන්වහන්සේ පිළිබඳව සංකේතයක් වශයෙන් බෞද්ධයන් අතට පත්ව ඇති බව ඔහු පවසයි.

බුද්ධ කාලයේ ශාක්‍යයන් තුළත් මෙම ස්තූප සංකල්පය තිබූ බව සඳහන් වෙයි. බාහිය පිරිවැජියකයාගේ මරණයෙන් පසු ඔහුගේ භස්මාවශේෂ තැන්පත් කරවා ථූපයක් කළ බව බාහිය සූත‍්‍රයේ සඳහන් වෙයි. මේ අනුව ප‍්‍රාග් බෞද්ධ යුගයේ ස්තූප සංකල්පය භාරතීයයන් අතර පැවති බවත් එය හුදෙක් මියගිය අයගේ ශරීරාංග හෝ භස්මාවශේෂ තැන්පත් කිරීමට යොදාගත් අතර එ් තුළ ඔවුන්ගේ ආත්මය තිබේය යන සංකල්පය ඔවුන් අතරද පැවැති බව පැහැදිලි වෙයි.

බුදුසමයෙහි චේතිය යන්න යෙදී ඇත්තේ මළවුන් සඳහා වූ ස්මාරකයකට වඩා ඉතා පෘථුල අර්ථයකින්ය. බුදුරජාණන් වහන්සේ කාය සාක්ෂි වශයෙන් නැති තැනකදී වන්දනමාන කිරීමට උන්වහන්සේ නියෝජනය කෙරෙන පූජ්‍ය වස්තු බුදුන් ජීවමාන කාලයේදීම අනුගාමිකයන්ගේ අවශ්‍යතාවයක් විය.  බෞද්ධයෝ චෛත්‍යය ඉදිකිරීම හා වන්දනමාන කිරීම තුළින් ප‍්‍රධාන කරුණු දෙකක් අපේක්ෂා කළහ. එනම්, උසස් පුද්ගලයෙකු, ශ්‍රේෂ්ඨයෙකු සිහිකිරීම, මෙබඳු ස්ථාන දකින අය ඒ තුළින් සංවේගයත්, ශ‍්‍රද්ධාවත් වැඩිදියුණු කර ගනී. එසේම ශාරීරික ධාතූන් තැන්පත් කර ඇති සෑයට වැදුම් පිදුම් කිරීමෙන් පින් රැුස් කර ගැනීම යන කරුණුය.

මහාපරිනිබ්බාණ සූත‍්‍රයෙහි ‘ථූප’ යන පදය යොදා තිබුණත් එහි එක් ස්ථානයක චේතිය යන වචනයද ව්‍යවහාර කර තිබේ. එයින් අදහස් කරන්නේ බැලීය යුතු වූත්, ඇදහිය යුතු වූත් තැන යන්න බව බැද්දේගම විමලවංස හිමියෝ පවසති.  ”යෙහි කෙචි ආනන්ද චෙතියං චාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලං කරිස්සන්ති”  මෙම පාඨයෙන් පෙනී යන්නේ වන්දනාවේ යන්නන් චෛත්‍යය වන්දනාවේ යෙදි පින් රැස් කරගන්නා බවයි. චෛත්‍යය ශබ්දය පෙළ පොත්වල යෙදි ඇත්තේ ”ස්තූපය” යන තේරුම දීමට නොවේ. පුද පුජා පවත්වන තැන යනු එහි අදහසයි.

”බහුං වෙ සරණං යන්ති පබ්බතානි වනානිච

ආරාම රුක්ඛ චෙතියානි මනුස්සා භය තජ්ජිතා”

මෙයින්ද පැහැදිලි වන්නේ ගස්, ගල්, පර්වත, දේවාල ආදිය පොදුවේ චේතිය නමින් හඳුන්වා ඇති බවයි.

ස්තූපය බෞද්ධයන්ගේ ප‍්‍රධානතම පුජනීය වස්තුවක් වුවත් එය මූලික වශයෙන් ඔවුන්ගේම නිර්මාණයක් නොව බව පැහැදිලිය. ප‍්‍රාග් බෞද්ධ යුගයේ සිට ඉන්දියාවේ ස්තූප පැවති අතර ඒවා ඉදි කරන ලද්දේ රජවරුන්ගේ හා ප‍්‍රභූ පුද්ගලයන්ගේ මෘත ශරීර තැන්පත් කර විය හැකි යැයි මහාචාර්ය සේනරත් පරණවිතාන මහතා අදහස් කරයි.  ස්තූපයේ ආරම්භය ඉන්දියාවට පමණක් සීමා කළ හැක්කක් නොවේ. මියගිය පුද්ගලයන් වෙනුවෙන් ස්මාරක වශයෙන් ස්තූප ඉදිකිරීම දුරාතීතයේ පටන්ම ලෝකයේ ව්‍යාප්තව පැවති බව විද්වතුන්ගේ පිළිගැනීමයි.  මේ අනුව අතීතයේ විවිධ මනුෂ්‍ය වර්ගයා විසින් මහාපුරුෂයන්ගේ මෘත ශරීර මත තැනූ ගොඩනැගිලිවලින් ස්තූපයේ ආරම්භය සිදුවිනැයි පිළිගත හැකිය.

සමකාලීන සමජයෙහි තිබූ සංස්කෘතිකාංගයන්ගේ බලපෑම බුදුදහම කෙරෙහිද ඇතිවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ස්තූපය පිළිබඳ අදහස් බෞද්ධ සාහිත්‍යයට ඇතුළුවීම අනිවාර්ය ලක්ෂණයකි. ස්තූප තනා පුදසත්කාර කළ යුතු පුද්ගයන් සතර දෙනෙකු පිළිබඳ විස්තරයක් මහාපරිනිබ්බාණ සුත‍්‍රයේද සඳහන් වෙයි. ”ආනන්දය ථූපාරහ පුද්ගලයෝ සතර දෙනෙකි. එනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුන් වහන්සේ, රහතන් වහන්සේ, හා චක‍්‍රවර්ති රජතුමා යන සිව් දෙනාය.”  මේ පුද්ගලයන් උදෙසා ථූප කරවීම, ඒවාට වන්දනමාන කිරීම යෝග්‍ය බව එහි වැඩිදුරටත් සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේ සඳහා චෛත්‍යය ඉදිකළ යුතු බවත් එසේ ඉදිකළ චෛත්‍යය වෙත මල්, සුවඳ දුම් රැඑගෙන පැමිණෙන්නන්ගේ චිත්තප‍්‍රසාදය ඇතිවන බවත් ඒ හේතුවෙන්ම ඔවුන් මිය පරලෝව ගොස් සුගතියෙහි උපදින බවත් බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කර ඇත.  සර්වඥ ධාතූන් සහිත ස්තූපයක් වෙත පැමිණ එය අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ථූපයක් ලෙසට සිත පහදා ගැනීමෙන් පමණක් ස්වර්ග මෝක්ෂ සැප පිණිස හේතු වන බව බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට වදාළ බව මහාපරිනිබ්බාණ සූත‍්‍රයේ දැක්වේ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධාතූන් වහන්සේලා වන්දමාන කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේ පිදීම වැනි පුණ්‍ය ක‍්‍රියාවක් බව විමානවත්ථුවෙහි සඳහන් වෙයි.  මීට අමතරව සර්වඥ ධාතූන් වහන්සේලා පිදීමෙන් පමණක් රහත් බව ලබාගත් භික්ෂූන් වහන්සේලා පිළිබඳවත්, ධාතු පුජාවේ අනිසංස පිළිබඳවත් අපදාන පාලියේ කරුණු දැකගත හැකිය.  එපමණක් නොව ”ධාතුසු ඨිතාසු බුද්ධා ඨිතාව හොන්ති” යනුවෙන් ධාතූන්වහන්සේලා ඇති විට බුදුවරු සිටිති යන විශ්වාසයක්ද මෙරට බෞද්ධයින් අතර වූ බව ඊ. ඩබ්ලිව්. අධිකාරම් මහතා පවසයි.  මීට පසුබිම සකස් වූ ආකාරය පිළිබඳව සුමංගලවිලාසිනියේ සඳහන් වන්නේ ශාසනය සියලූ දිශාවන්හි පැතිර යෑමට පෙර බුද්ධ පරිනිර්වාණය සිදුවන බව දුටු බුදුරජාණන් වහන්සේ අබැටක් පමණ වූ හෝ ධාතූන්ගෙන චෛත්‍යය සදා එයට පුදසත්කාර, වන්දමාන කිරීමෙන් මිනිසුන් මරණින් මතු සුගතිගාමී වෙතැයි අපේක්ෂා කළ බැවින් සර්වඥ ධාතු කුඩා කොටස්වලට වෙන්වී එ්වා බොහෝ දෙනෙකුට ලබාගත හැකි වූ බවයි.  මේ අනුව අන්‍ය ස්තූපයනට වඩා ශාරීරික චෛත්‍යයවලට වැදගත් තැනක් හිමිවන බවත්, බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන ප‍්‍රධානතම සංකේතය ශාරීරික ධාතූන් වහන්සේලා වන හෙයින් ඒවාට බුදුරාජාණන් වහන්සේට හා සමාන තත්වයක් හිමි වී ඇත. එහෙයින් ධාතූන් තැන්පත් කර තිබෙන චෛත්‍යය වන්දනමාන කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනමාන කිරීම හා සමාන වේ.

මේ අනුව චෛත්‍යය වන්දනාව යනු කුමක්ද යන්න මනාව පැහැදිලිය.  බුද්ධකාලීන සමජයෙහි පැවති මෙම සංකල්පයට බුදුරජාණන් වහන්සේ නව අර්ථකථනයක් ඉදිරිපත් කරමින් සැදෑහැවතුන්ගේ වන්දනාමනයට සුදුසු අංගයක් බවට පත් කර ඇති බවත්, බුදුසමයෙහි චෛත්‍යය වන්දනාවට විශේෂ ස්ථානයක් හිමිවන බවත් පැහැදිලිය. මෙසේ චෛත්‍යය වන්දනමන කිරීම තුළින් පින් ලබා ගැනිමට හැකියාවක් අත්තාක් මෙන්ම එ් දෙස බලා සිටීමෙනුත්, බුදුගුණ මෙනෙහි කරනවිටත් එහි අන්තර්ගතය හා දාර්ශනික වටිනාකම පිළිබඳ සිහිකරන විට භාවනාවක්ද වන්නේය. විශේෂයෙන්ම එමඟින් පුද්ගලයාගේ සිත එක අරමුණකට යොමු කිරීමට හැකියාවක් සහ භාවනාවට සුදුසු අරමුණක්ද ලබාගත හැකිය. මෙතැන් සිට චෛත්‍යය වන්දනාව තුළිත් මානසික එ්කාග‍්‍රතාවය ඇති කරගන්නේ කෙසේද යන්න විමසා බැලේ.

පාලි අට්ඨකථාවලට අනුව ස්තූපයට හානි පැමිණවීම ආනන්තර්ය පාප කර්මයකට සමාන වරදක් ලෙස පිළිගැනේ.  පපංචසූදනීයේ ස්තූපයකට හෝ ප‍්‍රතිමාවකට බධාවන සේ හෝ අපිරිසිදු වන සේ හෝ සිටින බෝධි ශාඛාවක් කපාදමීම වුවද සිදු කළයුතු බව සඳහන්වේ.  පරිභෝගික චෛත්‍යයකට වඩා ශාරීරික චෛත්‍යක් උසස්වීම මීට ප‍්‍රධාන හේතුව වූ බව පෙනේ. ධාතූන්වහන්සේලා සහ එ්වා නිදන් කර ඇති ස්තූපය අනික් සියලූ පූජ්‍ය ස්ථානවලට වඩා පූජාර්හ බව අටුවාචාරීන්ගේ අදහස වූ බව මෙයින් පැහැදිලි වෙයි. බුද්ධ රූපය භාවිත නොවූ කාලයෙහි උන්වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කර ඇති ස්තූපවලට වැදගත් තැනක් හිමි වූ බව ජෝන් මාෂල් පවසයි.  එහෙත් පසුකාලයෙදී ස්තූප නිර්මාණය කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා පමණක් තැන්පත් කිරීමට සීමා නොවී, බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම ධර්ම දේශනය පැවැත් වූ ස්ථානය වැනි උන්වහන්සේගේ ජීවන චරිතය හා සම්බන්ධ වැදගත් ස්ථානවලද චෛත්‍යය ඉදි කළ බව පෙනේ.

දුටුගැමුණු මහ රජතුමා මරණාසන්න අවස්ථාවේ මහාථූපයේ සැලැස්ම රජුට දැක්වීම පිණිස සද්ධාතිස්ස කුමරුන් විසින් ගර්භය සුදු රෙදිවලින් ගෝලාකාරව ආවරණය කොට ඒ මත උණ දඩුවක් සිටුවා ඡුත‍්‍රයක් පිහිටුවා පෙන්වීමෙන් පහන් සිතිවිලි ඇති කරගෙන රජු මියපරලොවගොස් දිව්‍ය ලෝකයේ උපන් බව සඳහන් වෙයි.

පුරාණයේ සිටම ජනයෝ ස්තූපයට වැඳුම් පිදුම් කිරීමට ප‍්‍රථම චෛත්‍යය මළුව හැමද පිරිසිදු කිරීමත්, මලසුන් සුද්ධ පවිත‍්‍ර කිරීමත් සිරිතක් වශයෙන් කළහ. වර්තමානයේද එසේ කරති. මෙහිද වැදගත් අරුතක් ඇත. ඇමදීම තුළින් චෛත්‍යය අවට පරිසරය පවිත‍්‍රවනවාසේම අපගේ සිතේ ඇති කෙලෙස්ද එසේම පවිත‍්‍ර කරගන්නා චේතනාව ඇති කරගෙන යමෙකුට එ් පිළිබඳ සිතමින් එම කාර්ය කළ හැකි නම් චිත්ත සමාධියක්ද ඇති කර ගැනීමට හැකිය. බෝධිසත්වයන් එක් කලෙක සංඛ නමින් බ‍්‍රාහ්මණයෙකුව ඉපිද සුසීම නම් වූ පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කොට නිර්මාණය කරන ලද චෛත්‍යය මළුවෙහි වැවී තිබුණු තණ කොළ උදුරා එහි මල් අතුරා චෛත්‍යය වැදුම් පිදුම් කළ ආකාරය පිළිබඳ කථා ප‍්‍රවෘත්තියක් ධම්මපදට්ඨකථාවේ සඳහන්වෙයි.  එපමණක් නොව ස්තූප වැනි වස්තූන්ට ශ‍්‍රද්ධාවෙන් භක්තියෙන් ගෞරව කිරීමෙන් විවිධාකාර වූ විපත්තීන්ගෙන් වැලකිසිටීමට හැකියාවක් ඇතැයි විශ්වාස කළ බව පෙනේ. සිරිසඟබෝ රජතුමාගේ සමයෙහි ලංකාවට මහත් වූ නියං සාගතයක් පැමිණි බව එළුඅත්තනුගලූ වශයේ සඳහන් වෙයි. එහිදී රජතුමා රුවන්වැලි සෑ මළුවට ගොස් එහි සලපතලමළුවේ වැතිරී ”වැසි වැස සෑ මළුව පිරී ඉතිරි යන තෙක් මෙතැනින් නොනැගිටින්නෙමියි” සත්‍ය ක‍්‍රියා කළ බවත් එ් සත්‍ය ක‍්‍රියාව එලෙසම ඉටු වූ බවත් එහි සඳහන් වෙයි.

මෙයින් පැහැදිලි වන්නේ ස්තූප වන්දනා කිරීමෙන් ජනතාව විවිධාකාර ප‍්‍රතිඵල අපේක්ෂා කරන බවයි. එසේම ස්තූප වන්දනාව වැඩදායක වූ පූණ්‍ය කර්මයක් යනු ඔවුන්ගේ විශ්වාසයයි. ස්තූපයක් හෝ බෝධි වෘක්ෂයක් වැඳීමට ගිය විට එයින් මෛත‍්‍රී සහගත කාය කර්මයක් සිදු වන්නේ යැයිද චෛත්‍යය හෝ බෝධිය වැදීමට යමු යැයි කී විට මෛත‍්‍රී සහගත වචීකර්මයක් සිදු වන්නේ යැයිද විශ්වාස කරන ලදී.

චෛත්‍යය වන්දනාව තුළ පොදු ජන ආගමික චින්තනයේ ස්වරූපය කියාපාන අංග රාශියක් ගැබ්ව පවතියි. ”ධාතුසුහි ඨිතාසු බුද්ධා ඨිතාව හොන්ති” ධාතූන්ගේ පිහිටීම බුදුන්ගේ පැවැත්ම හා සමානය යන සංකල්පය අනුව ශාරීරික ධාතූන් නිදන් කොට තැනූ දාගැබ් වන්දනාව වැදගත්සේ සලකන නිසා බෞද්ධ වන්දනාවන් අතර චෛත්‍යය වන්දනාවට ලැබෙන්නේ ප‍්‍රමුඛස්ථානයකි. බුදුන්වහන්සේ සලකා චෛත්‍යය වන්දනයත්, උන්වහන්සේගේ පාරිභෝගික චෛත්‍යයක් ලෙස බෝධි වන්දනයත්, බුදුන් උදෙසා තනන ලද ප‍්‍රතිමා වන්දනයත් බෞද්ධ වන්දනා වස්තූන් අතරට එක්වී ඒ වටා ගෙතුනු සම්ප‍්‍රදායයන්හි ආචාර පද්ධති ආගමික චින්තනයේ විශේෂ ලක්ෂණ ලෙස දැක්විය හැකිය. පොදු ජනයා අතර වැඩි ජනප‍්‍රිය භාවයක් මේ වන්දනා ක‍්‍රම මුල් කරගෙන ඇති විය. පුජා විධීන් අතර පොදු ජනයා බහුල වශයෙන් තෝරා ගත්තේ ආමිස පුජාවන්ය. ප‍්‍රතිපත්ති පුජාව තනි තනිව සිදු කළ යුතු වූ හෙයින් සාමූහිකව කළ හැකි පහසු පූජාවක් ලෙස ආමිස පුජාවට වැඩි රුචිකත්වයක් දැක්විම සුවිශේෂ ලක්ෂණයක් විය. මල් පහන් සුවඳ දුම් ආදිය ගෙන චෛත්‍යය වන්දනා කිරීමත් සීලාදි ගුණයන්හි පිහිටා බුදුන් පිදීම ප‍්‍රතිපත්ති පූජාවේ ලක්ෂණයක්ව පැවතීමත් මේ අනුව වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය. අතීතයේ පටන්ම ලාංකික ජනයා මෙම පුජා විධි පැවැත්වීම, චෛත්‍යය වන්දනා කිරීම ආදිය තුළින් චිත්ත සමාධියක් ඇති කරගෙන දැහැමි ජීවිතයක් ගත කර තිබෙන අයුරු ඓතිහාසික තොරතුරු තුළින්ද පැහැදිලි වෙයි.

චිරාගත බෞද්ධ ශික්ෂණයට අනුව හික්මුණු සැදැහැදැවතා තුළ චෛත්‍යය මළුවට පිවිසි කෙණෙහි ඇතිවන සාමයික චින්තන ධාරාව මාටින් වික‍්‍රමසිංහ ශූරීන් විසින් මෙසේ දක්වා ඇත. එය භක්තිවාදයත්, චෙතිය වන්දනාවත් අතර පවතින පරතරය මැනවින් නිරූපණය කරන්නක් බැවින් මෙහි උපුටා දක්වමි.

”බෞද්ධයන් සුදු කඩින් වැසුනු යටිකය ඇතත් අබරණින් අලංකාර නොකළ නග්න වූ උඩු කය ඇතිව මල් දෝතින්ගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු සිහිකරමින් වන්දනාමන කළ සුදෙන් බැබළුණු මහාස්තූපය බුදුසමයේ හරයත්, සිංහල සභ්‍යත්වයේ චාම්කමත් හකුළා දක්වන සංකේතයකි.”  එහි තවදුරටත් ස්තූපය පිළිබඳ මෙසේ සඳහන් වෙයි. ”ස්තූපයේ බඳ ඉතා සරළය. චාම්ය. වර්ණය විසින් අසංකීර්ණය. දිය බුබුලක් වැනි එහි ස්වරූපය අනිත්‍ය අනාත්ම දහම් සිහිකරවයි. දිලිසෙන කොත් කැරැුල්ලෙන් කෙළවර වන මුදුන බෞද්ධයන්ගේ නෙත් සිත් ඉමක් කොණක් නැති අහසට යොමු කරවීමෙන් තමන්ගේ අල්පත්වය පිළිබඳ හැඟීමක් ඔවුන් තුළ ජනනය කරයි.” යනුවෙනි.

ස්තූප වන්දනාව ලාංකික ජන ජීවිතයට ඉතාම තදින් බලපා ඇති දෙයකි. එය ජනතා හදවතට කෙතරම් කා වැදී ඇද්ද යන්න උපන්දා සිට කරපු පව් දුරුකර ගැනීමට එක් වරක් කැලණිය වැඳගත යුතු යැයි යන ජන වහරේ එන කථාව තුළින් පැහැදිලිය. මෙවැනි සිතිවිලිවලින් බෞද්ධ ජනයාගේ සිත් වැඞී ඇති නිසාම චෛත්‍යය ඉදිකිරීම් විශයෙහි ඔවුහු මහත් ඇල්මක් දැක්වූහ.

ස්තූපය සෞන්දර්ය ජනනය කරන කලාංගයකි. ස්තූපයේ චමත්කාර බව තුළින් සැදැහැවත් ජනතාව ලබන්නේ ධාර්මික වූ ප‍්‍රීතියකි. ධාර්මික සන්තුෂ්ටිය මෙන්ම ජනතාවගේ ජීවන පැවැත්මටද දාගැබ බලපා ඇති බව පෙනේ. විශේෂයෙන්ම ලාංකික ශිෂ්ටාචාරයේ පැවැත්මට ස්තූපය බලපා තිබේ. ලංකාවේ වැවක් බිහි වූ සෑම තැනකම දාගැබක් ගොඩනගී ඇති බව පෙනේ. එයින් පැහැදිලි වන්නේ ආර්ථික දියුණුවත්, ආධ්‍යාත්මික දියුණුවත් වැවෙන් හා දාගැබෙන් සංකේතවත් වන බවයි. වැව් ජලයෙන් ගොවිතැන් සරු වූ කල්හි නෙලාගන්නා අස්වැන්නේ මුල් කොටස තුනුරුවන්ට පුජා කිරීමේ චාරිත‍්‍රයක් පැවතුනි. එය අලූත් සහල් මංගල්‍යය නමින් හැඳින්වේ. ලංකාවේ මුල් යුගයේ ස්තූප ධාන්‍යාකාර ආකෘතියට නිර්මාණය වූයේ මෙම කෘෂිකාර්මික ජීවන ක‍්‍රමය සංකේතවත් කිරීමට විය යුතු බව යට දැක්විණ. අතීතයේ ලාංකික සමාජයේ ජනයා ගමයි පන්සලයි වැවයි දාගැබයි යන උත්කෘෂ්ට සංස්කෘතියෙන් පෝෂණය ලැබුවේ මෙවැනි හරවත් ඉගැන්වීම් තුළින් ශික්ෂණය ලැබ මානසික වශයෙන් සුපහන් සරල දිවිපෙවතක් ගත කළ නිසා බව පැහැදිලිය.

නිගමනය

අතීතයේ සිටම මිනිසුන් විවිධ වස්තූන් පුජනීයත්වයෙන් සැලකූ බව පෙනේ. ගස්, ගල්, පර්වතවලට පවා ඔවූහු වැදුම් පිදුම් කළහ. වැදුම් පිදුම් ඔවුන්ගේ ජීවිතවලට අත්‍යවශ්‍ය විය. එහෙත් ස්තූප වන්දනා කිරීම අන් වස්තූන්ට වැඳීමට වඩා අර්ථසහගත ක‍්‍රියාවක් බවත් ඒ තුළින් අධ්‍යාත්මික සහනයක් ලැබිය හැකි බවත් බෞද්ධ සැදැහැතියෝ සිතති. බෞද්ධ ස්තූපය ගොඩනගන ලද්දේ ථූපාරහ පුද්ගලයන්ගේ ධාතූන් තැන්පත් කිරීමෙනි. එබැවින් එයට වන්දනාමාන කිරීම ඒ ඒ පුද්ගලයන්ට කරන උපහාරයක් බවද ඔවුන්ගේ පිළිගැනීම විය. එසේම ස්තූප වන්දනාව තුළින් කුසල් වැඩෙන බවද ඔවුන්ගේ විශ්වාසයයි.

 

අන්තික සටහන්

Add a Comment

Your email address will not be published. Required fields are marked *