Home » බුදු දහම » දේශපාලනය » ජනතාවගේ බලය පොදුභාරයක් ලෙස
Silhouette of a woman doing yoga on the beach at sunset

ජනතාවගේ බලය පොදුභාරයක් ලෙස

පරම අධිපති ශ‍්‍රී ලාංකිකයා

අධිනීතීඥ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය

BA (Colombo), P Dip. (Hons), LLM (Hons) (London)

අනුවර්තනය –

උදාර එස්. සුවන්ද ආරච්චි

LL B (Hons)

 

ජනතාවගේ බලය පොදුභාරයක් ලෙස

රටක් පාලනය වන්නේ බලයකිනි. මේ බලය පිලිබදව ඉතිහාසය පුරාවට සාකච්ඡුා කොට, රාජ්‍යයක් පාලනය වන එම බලය ස්වඅධිපති බලය හෝ පරම අධිපති බලය නමින් දේශපාලන විද්‍යාවේ නිර්වචනය කර ඇත. මෙම බලය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරිනාමය තුළ මුලින්ම ග‍්‍රීසියේ ඇතැන්ස්, ස්පාටා වැනි නගරතුල මහජනතාව විසින් ඔවුන්ගේ එදිනෙදා තීරණ ගැනීම, යටිතල පහසුකම් පාලනය ආදිය හරහා සෘජුව ක‍්‍රියාත්මක කළ අතර, කාලයාගේ ඇවෑමෙන් මනුෂ්‍යයාගේ කාර්ය බහුලත්වය වැඩිවීමත් සමග සෑමදෙනාටම සෑමවිටම එම තීරණගැනීමට සහභාගිවීමට ප‍්‍රායෝගික අපහසුකම් ඇතිවිය. එමනිසා ඒ වෙනුවෙන් නියෝජිතයන්ව තෝරා ඔවුන්ට ඒ සදහා යම් ගෙවීමක් හා අනෙකුත් දීමනා දෙමින් ඉහත ‘‘සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ අද වන විට ‘‘නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ දක්වා විකාශනය වී ඇත.

ශ‍්‍රී ලංකා ජනරජයේ මෙම පරමාධිපත්‍යය බලය ජනතාව කෙරෙහි පිහිටා ඇති බවත්, එය අන්සතු කිරීම හෝ බෙදීමක් කළ නොහැකි බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 03 ව්‍යවස්ථාව දක්වයි. රටේ සියලුම ආයතනයන්, බලතලයන්, ක‍්‍රියාත්මක වන්නේද, ආණ්ඩු කරන්නේද මෙම උත්තරීතර ස්ව අධිපති බලයට යටත්වය. 4 ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍යය ආයතන 3 ක් මගින් ක‍්‍රියාවට නංවයි. එනම් නීති සෑදීමේ කාර්යය පාර්ලිමේන්තුව මගින් ද, නීති ක‍්‍රියාත්මක කිරීම විධායක ජනාධිපති මගින් ද, යුක්තිය පසිදලීම අධිකරණය මගින්ද සිදුකරනු ලබන්නේ පොදු යහපත හා සුභසාධනය උදෙසා ජනතාවගේ බලය පොදු භාරයක් ලෙස දරමින් බව 2002 දී තීරණය වූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. එමෙන්ම බුලංකුලම සහ තවත් අය එදිරිව කාර්මික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නඩුවේදී ඉතාමත් ආකර්ශනීය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෙම බලය ජනතාවගේම යහපත සදහා භාරයක් ලෙස ක‍්‍රියාත්මක වියයුත්තේ කෙසේද යන්න බු.ව. 223 දී පමණ මිහිදු මහරහතන් වහන්සේ විසින් දඩයමේ ගිය දේවානම්පියතිස්ස රජුට ‘‘මහරජ ඔබ මෙහි අයිතිකරුවා නොවේ, භාරකරුවා පමණි’’ යනුවෙන් කළ ප‍්‍රකාශය උපුටා දක්වමින් සිතට තදින් කාවදින ලෙස නිර්වචනය කර ඇත. එය ඒ ආකාරයෙන් අද දින සිදුවනවා දැයි සාකච්ඡුාවකට භාජනය කිරිම සහ අපේ එම බලය සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට මෙම බලධාරීන් භාවිතා කරනවාද යන්න ; විශේෂයෙන්ම අතිපූජ්‍ය ආචාර්ය මාදුලුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීම සිදු වූ අද වැනි ජාතික ශෝක දිනයක සාකච්ඡුා කිරීම මැනවැයි අපි කල්පනා කරමු.

 

ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය – 4(අ) ව්‍යවස්ථාව

ව්‍යවස්ථාවේ 4(අ) වගන්තියෙන් ඉහත කී පොදුභාරය මත අප වෙනුවෙන් නීති සම්පාදනය කිරීමේ බලය මන්තී‍්‍රවරුන් 225 කින් යුත් පාර්ලිමේන්තුවක් මත රදවා ඇත. අතීතයේ විශිෂ්ඨ ජනතා සේවයක් ගෞරවනීය පදනමකින් ඉටුකළ පුද්ගලයන්ට, එනම් ඒ සදහා වේතනයක් හෝ ගෙවීමක් පිළිබදව බලාපොරොත්තුවක් නොමැතිව එම සේවය ඉටුකළ නිසා මොවුුන්ගේ නාමය ඉදිරියට ‘‘ගරු’’ යන ගෞරවනාමය යෙදුණි. අපගේ සාමාන්‍ය මරණාධාර සමිතියක ‘‘ගරු’’ ලේකම්, ‘‘ගරු’’ සභාපති වැනි ගෞරවනීය සේවයක් ඉෂ්ට කරන නිසා ලබාදෙන ගරුනාමයක් වැන්නකි. නමුත් අද දින රුපියල් ලක්ෂ ගණනින් වේතනද, අතිසුඛෝපභෝගී නිවාස පහසුකම්ද ලබමින්, විටෙක ඔවුන්ට බලය දුන් ජනතාවට බලපාන නීතිය පවා අභිබවා කටයුතු කරමින් ජනතාවගේ හිසටත් උඩින් පියාඹා යන සමහර වනචාරී නියෝජිතයන්ට තවමත් මෙම ගරු බුහුමන් ලබාදීම කොතෙක් දුරට සුදුසුදැයි පරම අධිපති ජනතාවම තීරණය කළ යුතු වේ.

සමහරෙක් මිලියන ගණන් ධනය වැයකොට මිනී මරාගෙන, වීදි පුරා ඔවුන්ගේ කටවුට්/බැනර් වලින් පුරවාගෙන මෙම පරම අධිපති බලය ලබාගන්නට වෑයම් කරන්නේ හුදෙක්ම අපට සේවය කිරීමට ඇති අභිලාශයෙන්ද යන්න කල්පනා කිරීමට කාලය පැමිණ ඇත. නීති සෑදීම සදහා ක්ෂේත‍්‍රයේ පළපුරුද්ද ඇති උගත් හා අත්දැකීම් වලින් පරිපූර්ණ පිරිසක් මිස රූපවාහිනි හා අනෙකුත් මාධ්‍යය මගින් ඉදිරියට ගෙනා සුපිරි තරු හෝ මිලියනපතියන් අවශ්‍ය නැත.

දැන් අප ඉදිරියේ ඇති 8 වන පාර්ලිමේන්තුව දෙස දේශපාලන විද්‍යාත්මකව බලන කල පහත සදහන් ප‍්‍රශ්න අපට මතුවේ.

x              මෙහි ආණ්ඩු බලය සහ විපක්ෂය කවරෙක්ද යන්න – විටෙක සියලු දෙනාම ආණ්ඩුවේ බවක් හැගේ, විටෙක ඔවුන්ම විපක්ෂය වෙනුවෙන් කතාකරන බවත් හැගේ. මෙය පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ.

x              විපක්ෂයේ කාර්යභාරය – ඡායා කැබ්නට් මණ්ඩලයක්, විකල්ප ප‍්‍රතිපත්තියක් හෝ රටේ දැවෙන ප‍්‍රශ්න ගැන විපක්ෂයේ මතයක් අද මෙම පාර්ලිමේන්තුව තුළ පිළිබිඹු වනවාද යන්න අපට ප‍්‍රශ්නයකි.

x              දේශාපාලන පක්ෂ – නුසුදුසු හෝ ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කළ පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙනෙන්නේද, ඉහත කී ආකාරයේ සුදුසු පුද්ගලයන් ඡුන්දයක් වෙනුවෙන් ඉදිරිපත් නොකරන්නේද, දේශපාලන පක්ෂ වේ. එසේනම් අපි ‘‘කැපුවත් රතු-කොළ-නිල්’’ කියාගනිමින් පක්ෂය විසින් කරන  ඕනෑම දෙයක් හරිය කියනවා වෙනුවට විචක්ෂණ බුද්ධියෙන් යුතුව තම පරම අධිපති බලය කා තුලින් හරයාකාරවම නියෝජනය වේද යන්න තීරණය කිරීමට කාලය එළඹ ඇත.

 

ජනතාවගේ විධායක බලය – 4 (ආ) ව්‍යවස්ථාව

නියමිත කාලයක් සදහා ඡන්දයෙන් පත්කරගන්නා ජනාධිපතිවරයෙක්, 43 ව්‍යවස්ථාව අනුව පත්කරගන්නා අමාත්‍ය මණ්ඩලයක් සමග අපගේ ස්වෛරී විධායක බලය පොදුභාරයක් මත අපගේම අභිවෘද්ධිය සදහා ක‍්‍රියාවට නැංවිය යුතු බව ව්‍යවස්ථාවේ දැක්වෙයි. පැවති අත්තනෝමතික සහ පවුල්වාදී දූෂිත විධායක බලය නෙරපා දමා පරම අධිපති ශ‍්‍රී ලාංකිකයා ජනවාරි 8 වන දා නව විධායකයක් තෝරා ගත්තේද ; එයට අවශ්‍ය නීති ක‍්‍රියාත්මක කිරීමේ බලය අගෝස්තු 17 දා එම දින 100යේ හවුල් රජයටම භාරදුන්නේද මහත් වූ බලාපොරොත්තු ඇතිවය. එහෙත් එම වෙනස කිරීමේ කාර්යභාරයට සුලු වශයෙන් හෝ දායක වූ අප වැන්නන්, අප ඉදිරියේ සිදුවෙමින් පවතින දේ දකින විට අපේ අපේක්ෂාවන් ඒ ආකාරයෙන්ම ඉටුවී ඇත්ද, නොහොත් මොවුන් ද කලින් අයසේම තමාගේ අභිවෘද්ධිය පමණක් ගැන සිතමින් විටෙන් විට අපගේ අනුභවය සදහා ‘‘ජිනීවා, ඇවන්ගාඞ්, ඩුබායි ගිණුම්වල සල්ලි’’ වැනි යම් යම් ප‍්‍රවෘත්ති නිශ්පාදනය කරමින්, වැඩක් කරනවායැයි පෙන්වමින් ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවිත සහ විදේශ සංචාර තුළින් මේ රජය පවත්නා කාලය තුළදී හොද කාලයක් ගතකරනවාද යන්න පහත සදහන් යම් යම් සිද්ධීන් අලලා ප‍්‍රශ්න කළ හැකිය.

x              ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ව්‍යවස්ථාපිත/අධ්‍යක්ෂක මණ්ඩල සහ විදේශ පත්කිරීම් -කලින් පාර්ලිමේන්තු ඉහළ තනතුරු පිලිබද කමිටුවෙහි (High Post committee) නිරීක්ෂණයට භාජනය වූ මෙවන් පත්වීම්වල මෙම රජය විසින් කර ඇති පත්වීම් සිදුකරඇති ආකාරය සලකා බැලුවොත් වැඩිවෙනසක් නොපෙනේ. වෙනස් වී ඇත්තේ කලින් රජයේ ලගින් සිටි පුද්ගලයන් වෙනුවට දැන් පවත්නා රජයේ ලගින් සිටින පුද්ගලයන්ගේ මුහුණු පමණි. කලින් අයගේ නෑදෑයන්, පාසල් හිතමිත‍්‍රාදීන් වෙනුවට දැන් සිටින අයගේ නෑදෑයන්, පාසල් හිතමිත‍්‍රාදීන් එම තනතුරු වලට පැමිණ ඇත.

x              ආණ්ඩුවේ සේවකයා නොව රජයේ සේවකයා – ශී‍්‍ර ලංකා රාජ්‍ය සේවය ආසියාවේ පමණක් නොව ජාත්‍යන්තරවද ඉතාම ඉහලින් සැලකූ සෘජු මහජන සේවකයන්ගෙන් යුත් අවධියක් 1940-1960 අවධියේ තිබුණි. එවකට සිටියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජ්‍යය නොහොත් පොදු සේවකයන්ය. ඔවුන් සේවය කළේ රටට සහ ජනතාවගේ අභිවෘද්ධිය තකා මිස දේශපාලන අධිකාරියේ බෙර පදයට නොවේ. නමුත් දැන් මාරුවන මාරුවන ආණ්ඩුවක් පාසා අමාත්‍යංශයක ස්ථිර ලේකම්ගේ සිට පහතට සියලුම වගකිවයුතු නිලධාරින් එහා මෙහා මාරුකරමින් සිදුවන විපර්යාසය මගින් එම ‘‘රාජ්‍ය සේවකයා’’ පවතින ‘‘ආණ්ඩුවේ සේවකයා’’ බවට පත්කර ඇත.

x              ඥාති මිත‍්‍ර සංග‍්‍රහය – ළගදී නිමාවූ එක්සත් ජාතින්ගේ සංගමයේ ප‍්‍රධාන සැසිවාරයේ පමණක් නොව ශී‍්‍ර ලංකාව, ඉන්දියාව සහ අන් රටවල් සමග ඇති වූ ඉතාමත් ඉහලතලයේ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට පවා රජයේ කිසිම නිලතලයක් නොදරන අතිගරු ජනාධිපතිගේ පුත‍්‍රයා සහභාගිව සිටි පුවත්පත් ඡායාරූප දැකීමෙන් මහජනතාව වන අප විශ්මයට පත්වුණි ; මන්දයත් අප පසුගිය රජය එළවා දැමීමෙන් බලාපොරොත්තු වූ වෙනස මෙයද යන්න සිහිවූ නිසාය. එමෙන්ම ශ‍්‍රී ලංකන් එයා ලයින්ස්, ටෙලිකොම් වැනි ඉහළ පිලිගැනීමක් ඇති රාජ්‍ය සමාගම්වල අධ්‍යක්ෂක මණ්ඩල පිළිබද සලකා බැලුවහොත් අප විසින් පොදුභාරයක් මත ලබාදුන් බලය කොතෙක් දුරට අප වෙනුවෙන් ක‍්‍රියාත්මක වනවාද යන්න පරම අධිපති ශ‍්‍රී ලාංකිකයාට දැකගත හැක.

ජනතාවගේ අධිකරණ බලය – (ඈ) ව්‍යවස්ථාව

නීති සම්පාදනය කිරීම ව්‍යවස්ථාදයකයටද, ඒවා පරිපාලනය කිරීම හා ඒ මත විධානයන් කිරීම විධායකයටද ඉහත ආකාරයට ලබාදුන් පරම අධිපති ශ‍්‍රී ලංකිකයා තම අධිකරණ බලය 4(ඇ) වගන්තියෙන් අධිකරණ හා විනිශ්චය අධිකාර වලට ලබාදුන්නේ නීතියේ රැකවරණය සහ යුක්තිය පසිදලීමේ ක‍්‍රියාවලිය තමන් වෙනුවෙන් පොදුභාරයක් මත ක‍්‍රියාත්මක කිරීමේ අභිලාෂය පෙරදැරි කරගෙනය. එම අභිලාෂයන් අද දින මුදුන්පත් වී ඇත්ද, එසේ නැත්නම් එම නීතිය එහි අධිපති පුරවැසියාටම කොටි වලිගයක් වී ඇතිද යන්න අප කල්පනා කල යුතුව ඇත.

x              නීතියේ ප‍්‍රමාද – අද සිවිල් අධිකරණයකට පා තබන්නේ එහෙමත්ම කෙනෙක් පමණක්ම වන බව පොදු මතයයි. එනම් යම් කිසි ප‍්‍රශ්නයක් අධිකරණ ක‍්‍රියාවලිය මගින් කල් තැබීමෙන් ව්‍යාපාරික වාසි ලබාගතහැකි සමාගමක් හෝ ඇති තරම් නීතිඥයන් වෙනුවෙන් මුදල් වැයකළ හැකි ධනපතියන් හැරෙන්නට තමාට සත්‍ය වශයෙන්ම ඇති ප‍්‍රශ්නයක් වෙනුවෙන් කිසිම පැකිලීමකින් තොරව තම අධිකරණ බලය තමාගේ මූලික හව්හරණය ලෙස සලකන සාමාන්‍ය පුරවැසියෙක් සොයාගත හැක්කේ ඉතාමත් කලාතුරකිනි. එයට විශේෂිතම කාරණය වන්නේ අදදින සිවිල් නඩුවකට එළඹෙන පැමිණිලිකරුවකුගේ නඩුව විටෙක අවසාන කළහැකි වන්නේ ඔහුගේ මුණුබුරාට වීම වැනි අවධානමක් පවතින බැවිණි.

x              අධිකරණය කෙරෙහි විශ්වාසය – දේශපාලනඥයින් විසින්ම විටින්විට අධිකරණ බලය ක‍්‍රියාත්මක වීම කෙරෙහි කරඇති අනිසි බලපෑම් නිසා සාමාන්‍ය පුරවැසියාට ව්‍යවස්ථාවේ 12.1 වගන්තියේ නියෝග කර ඇති ප‍්‍රකාරව තමාට නීතිය සමානව ඉෂ්ට වේද, එසේ නැතහොත් තමාට වඩා බලපුලුවන්කාරකම් තිබෙන එසේත් නැත්නම් ධනය ඇති පුද්ගලයෙක්ට වාසි සහගත වේද යන අවිශ්වාසයක් හටගෙන ඇත.

x              අපරාධ නඩු හා මහේස්ත‍්‍රාත් අධිකරණ ක‍්‍රියාවලිය – මෙම නීතියේ ආධිපත්‍යයේ කඩාවැටීම නිසාම අපරාධ නඩු විශේෂයෙන්ම අප මින් පෙර නොඇසූ ගණයේ ළමා අපචාර, මිනිස් සිරුරු වල කැපූ කොටස් සොයාගැනීම්, එලිපිට බැංකු ඉදිරියට පැමිණ කරන වෙඩි තැබීමි දිනෙන් දින සීඝ‍්‍රව ඉහළ යමින් පවතින අතර එසේ දහස් ගණනික් මාසිකව ඉහළ යනු නඩු කළමනාකරණය කරගැනීම ඒවායේ මූලික පරීක්ෂණ කරන මහේස්ත‍්‍රාත් උසාවි වලට ඉතාමත් අපහසු වී ඇති බව  ඕනෑම දිනක එවන් අධිකරණයකට යන පුරවැසියෙක්ට පෙනේ. මන්දයත් පාර්ශවකරුවන්ට විනා නීතිඥ මහත්වරුන් හටවත් සිටගැනීමට නොහැකි සේ අධිකරණ පිරී ඉතිරී ඇති අවස්ථාවක, එම මහේස්ත‍්‍රාත්තුමා හෝ විනිසුරුතුමා එදිනට යොදාඇති සියගණන් නඩු කෙසේ අවසාන කරන්නද යන ප‍්‍රශ්නයට වරෙක ජනරජයේ නීතිපතිවරයෙක්ම පැවසූ පරිදි ‘‘දෙයියෝ තමයි දන්නේ’’ යනුවෙන් පිළිතුරු දීමට සිදුවී ඇත.

x              සිරගෙවල් පිරී ඉතිරී යාම – මෙම දිනෙන් දින තීරණයකින් අවසාන නොවන නඩු ගොඩගැසීම නිසාම එදිනෙදා අධිකරණයට රැුගෙන එන බන්ධනාගාරයේ සිටින සිරකරුවන් වසර ගණනක් ඔවුන්ගේ නඩුව අවසන් නොවී සිරබත් කති. විටෙක වසර ගණනාවක් ගොස් ඔවුන් නිවැරදිකරු වී නිදහස් වනවිට ඔවුන් වරදකරු වූවානම් ගෙවිය යුතු දඩුවම් කාලයට වඩා වැඩිකාලයක් සිරගෙය ඇතුලේ ගෙවා ඇත. එසේ නිවැරදිකරු වූ අහිංසකයෙක් සිරබත් කද්දී මෙම විෂම චක‍්‍රය හොදින් හදුනාගත් පාතාලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බොහෝ මුදල් ගණනක් වැයකොට ඇප මත නිදහස් වී, නඩුව එසේ වසර ගණනක් ඇදෙද්දී එලියට පැමිණ තව තවත් ජාවාරම් කරති.

අපේ බලය නැවත අප අතට ගමුද?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති අන්සතුකළ නොහැකි අපගේ පරමාධිපත්‍යය අපේ අත්‍යන්ත ප‍්‍රතිලාභය සදහා භාරයක් වශයෙන් ලබාදුන්නද අද වනවිට ‘‘දේශපාලන විකෘතියක්’’ නිසා ‘‘සේවකයා’’ යන තනතුර ‘‘ස්වාමියා’’ බවට පත්වී ඇත. ශ‍්‍රී ලංකාව ජනරජයක් ලෙස ස්ථාපනය කළ ජනතාව වන අප සතුව ඇති පරමාධිපත්‍යය රාජ්‍යය බලයේ උල්පත වේ. එනිසා අප සාදාගත් ක‍්‍රමවේදය අපට සේවය නොකරයි නම්, නැවත වරක් වඩා හොද ක‍්‍රමවේදයක් ඇතිකරගැනීම ජනතාව සතු වේ.

ඇමරිකානු නිදහස් ප‍්‍රඥප්තියේ (Declaration of independence) සදහන් වන්නේ මහජනයා විසින් මහජනයා උදෙසාම තමන්ව ආණ්ඩුකිරීමේ බලය පවරාදුන් අයවලුන් එම බලයට විරුද්ධව ක‍්‍රියාත්මක කරනවානම් හෝ එම බලයම භාවිතා කරමින් තමන්ව තාඩනයට, පීඩනයට හෙලා දමනවා නම් එම බලය නැවතත් තමන් අතටම ලබාගැනීමට අයිතියක් පමණක් නොව, පරම වගකීමක් ද පුරවැසියා සතුවන බවය. එනම් අප ජීවිත කාලයේ මෙම අමිහිරි අත්දැකීම් මේ රත්තරන් පොළොවේ අනාගතයේ දී ඉපදෙන්නට සිටින අනාගත ශ‍්‍රී ලාංකිකයාටද එසේම දායදකරදී යනවාද? නැතහොත් මේ ජන්ම භූමිය නැවත ශුද්ධකොට අපගේ පරම අධිපති බලය නිසි ආකාරයෙන් අපගේම අභිවෘද්ධිය සදහා ක‍්‍රියාත්මක කළහැකි ක‍්‍රමවේදයක්, අලුත් රටක් අලුත් හෙටක් සොයනවාද යන්න ඔබ සහ මා ඉදිරියේ ඇති වැදගත් ප‍්‍රශ්නයක් වන බව නිසැකය.

එමෙන්ම ජනතාවට කාලීන දැනුම ලබාදෙන මෙවන් පුවත්පතක් හරහා සිදුකරන ජනතා මෙහෙවර ඉතා ඉහළින් අගය කරමින් මෙම සත්කාර්යයට අපටත් දායක වීමට අවස්ථාව සැලසූ පූජ්‍ය අම්බුලුගල සුමනගල ස්වාමීන් වහන්සේටත්, මෙම පුවත්පතේ සංස්කාරක මණ්ඩලයටත් අපි කෘතඥ වන්නෙමු.

E mail: chrishmalw@gmail.com, chambersofcw@gmail.com

Twitter: http://twitter.com/#!/ChrishmalW

Skype: ChrishmalW

Linked-In: http://www.linkedin.com/pub/chrishmal-warnasuriya/5/606/762?_mSplash=1

Facebook: https://www.facebook.com/Chrishmal.Warnasuriya.CW

Add a Comment

Your email address will not be published. Required fields are marked *