Home » බුදු දහම » ධර්මය » සිදුහත් කුමරු ගිහිගෙය හැර ගියේ හොර රහසේ ද?
KARMA-SAMPLE2

සිදුහත් කුමරු ගිහිගෙය හැර ගියේ හොර රහසේ ද?

ඕනෑම ආගමික දර්ශණයක් ප්‍රබවය වන්නේ ජනශ්‍රැතිය ආශ්‍රයෙනි. මුල් කාලීනව මුඛ පරම්පරාගතව පැමිණි ධර්ම කරුණු පසු කාලීනව ලිඛිත සාහිත්‍යයට නැගෙයි. බුද්ධ දර්ශනයේ ලිඛිතව ඇත්තේ ත්‍රිපිටකයේ ය. වර්තමානයේ බුද්ධ ධර්මය බවට පිළිගැනෙන්නේ බුද්ධ දේශනාව ද, නැතිනම් විවිධ මත හා ජනශ්‍රැතිය ආශ්‍රයෙන් පැමිණි කරුණු ද? මෙය විණිවිද විමසිය යුතු කරුණකි. සාමාජීය වශයෙන් අප නිර්මාණය කරගත් සම්මතයන් තුලින් එය වටහා ගත නොහැක. ඒ සඳහා සම්මතයෙන් ඔබ්බට යා යුතු වේ. මෙම ලිපි පෙළ තුලින් බුද්ධ දර්ශනයේ හා බුද්ධ චරිතය පිළිබඳ ව සාමාජීය වශයෙන් නිර්මාණය කරගත් මතවල පරස්පරතාවය විමර්ශනයට ලක්කරනු ඇත. මෙම ලිපියට පාදක වන්නේ බුද්ධ චරිතයෙහි එන එවන් එක් සිදුවීමකි.
මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින සහ ගැඹුරින් අධ්‍යයනය කරනු ලබන කොළඹ 10, මාලිගාකන්දේ මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරවාසී, අග්‍රශ්‍රාවක ධාතුතේවාභාර, මොණරාගල පඤ්ඤාලංකාර ස්වාමීන්වහන්සේ සමඟ පැවැත්වූ ධර්ම සාකච්ජාව මෙලෙස දක්වමු.

ස්වාමීන්වහන්ස, සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්ම යාම පිළිබඳව සම්මත කතා පුවත කවරාකාද?

සිද්ධාර්ථ කුමාරයා කිනම් දිනක හෝ සක්විති රජ බවට නැතිනම් බුද්ධත්වයට පත්වේය යන්න පිළිබඳ ව විවිධ මත පලවුණ බවයි අප අසා ඇත්තේ. මේ පිළිබඳව බියෙන් පසුවුණු සුද්ධෝදන රජතුමා සිදුහත් කුමරුට දුක්ඛදායී සිදුවීම් ඇස ගැටීමෙන් වළකාලීමට උත්සහ ගත්තා කියන එකයි සාම්ප්‍රදායික මතය. ඉන්පසුව සිද්ධාර්ථ කුමරු සතර පෙර නිමිති දැක, නළඟනන්ගේ විකාර දැක, කලකිරීමට පත්ව හොර රහසේ මැදුරෙන් පලාගිය බවයි තවදුරටත් දැක්වෙන්නේ.

ස්වාමීන්වහන්ස, ලංකාවේ ප්‍රචලිත ඇතැම් චිත්‍ර මඟින් ඉහත සිද්ධිය සනාථ කරන බවයි පෙනෙන්නේ. මේ පිළිබඳව ඔබවහන්සේගේ අදහස කුමක්ද? උදාහරණයක් ලෙස එම්. සාර්ලිස් ශිල්පියාගේ චිත්‍ර ?

ඔව්, මෙම චිත්‍ර සඳහා බොහෝ විට පාදක වන්නේ සාම්ප්‍රදායිකව කටවහරෙන් පැමිණෙන අදහස්. සිදුහත් කුමාරයා කන්ථක අශ්වයා පිට නැගී, ඡන්න ඇමති සමඟ ගිහිගෙයින් නික්ම යන අයුරු දැක්වෙන චිත්‍රය මීට උදාහරණයක්. තවද සිදුහත් කුමරු නේරංජනා නදිය අසබඩ කෙස් රුවුල් බෑම දැක්වෙන චිත්‍රයද ගත හැකියි. එසේම යශෝධරා දේවිය හා රාහුල කුමරුට හොර රහසේ යහන් ගැබෙන් නික්මෙණ චිත්‍රයද මීට උදාහරණයක්. චිත්‍ර මෙන්ම ජනසාහිත්‍යයේ එන අදහස් වලින් බොහෝ බෞද්ධයන් මෙම මතය විශ්වාස කිරීමට පෙළඹී සිටිනවා. නමුත් මෙහි යම් මතභේදාත්මක බවක් පෙනෙන්න තියෙනවා. ඒ නිසා මා මේ පිළිබඳව ත්‍රිපිටකය තුල සොයා බැලුවා. ත්‍රිපිටකය තුල දැක්වෙන්නේ මෙයට වෙනස් ම ආකාරයේ අදහසක්.

එසේනම් ස්වාමීන්වහන්ස, සම්මත මතය හා ත්‍රිපිටකයේ සඳහන් වන පාඨ අතර පරස්පරතාවයක් තිබෙනවාද ?

ඒ කාරණාව මෙහෙම පැහැදිලි කරගන්න පුළුවන්. ත්‍රිපිටකය තුල ගිහි ගෙයින් නික්ම යාම පිළිබඳ දැක්වෙන අදහස මීට ඉඳුරාම වෙනස්. එය සාධක ඇතිව තහවුරු කල හැකියි. සුත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ එන අරියපරියෙසන සූත්‍රයේ, 17 වැනි ජේදයේ මේ පිළිබඳව දැක්වෙනවා.
“මහණෙනි, ඒ මම පසු කාලයෙහි ළදරු වූයෙම් ම ඉතා ක`ඵ කෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරුයෞවනයෙන් යුක්ත වූයෙම්. නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මව්පියන් හඬද්දී, කෙස්රවුළු බා කහවත් හැඳ ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි”.

මෙයින් කියවෙන අර්ථයට අනුව කුමාරයා ගිහි ගෙය හැරගියේ මව්පියන් බලාසිටිද්දී, කෙස් රුවුල බා, කසාවත් හැඳගෙනයි. මූල ත්‍රිපිටක ග්‍රන්ථ තුල මෙම සිදුවීම දැක්වීම හා සම්මත කතාව අතර ඇති පරස්පරතාවය ඔබට මෙයින් වටහා ගැනීමට පුළුවනි.
එසේනම් ස්වාමීන්වහන්ස, සිදුහත් කුමරු ඡන්න ඇමති සමඟ නේරංජනාවට පිටත් වීමත් එහි දී හිස රවුල් බා සහම්පති බ්‍රහ්මයා දුන් කසාවත් හැඳ ගැනීමත් අසත්‍යයක් ද ?

එය තරමක් සංකීර්ණ කාරණාවක්. ත්‍රිපිටකයද මුල්කාලීනව මුඛපරම්පරාගතව පැවත ලිඛිත සාහිත්‍යයට නගන ලද්දක්. ජනශ්‍රැතික අදහස් තුල ද සත්‍යයක් නැතැයි කියන්න බැහැ. ත්‍රිපිටකය ද එසේමයි, මෙයින් වඩා නිවැරදි කුමක්ද යැයි කියනවාට වඩා අපට අවශ්‍යය වන්නේ ගැටලු ඇති තැන් පෙන්වාදීම පමණයි. මේවා නුවණින් තේරුම් ගැනීම පාඨකයාට භාරයි. නමුත් මෙවන් කරුණු තුල පරස්පරතාවක් තිබෙන බව දැනගැනීමයි වැදගත්. දෙමවුපියන් හඬන විට, ඔවුන් ඉදිරිපිටදීම හිසරුවුල් බා, කහ වස්ත්‍ර හැඳ සිදුහත් කුමරු නික්මගිය බව ත්‍රිපිටකයේ ඉතා පැහැදිලිව දැක්වෙනවා. ඒ අනුව නේරංජන නදී අසබඩ වන සිදුවීම මතභේදාත්මක බවයි පෙනෙන්නේ. පසුකාලීනව මුඛපරම්පරාගතව විවිධ පුද්ගල මත මේවාට එකතු වී ඇති බව ප්‍රකට කරුණක්. ත්‍රිපිටකයේ කොටස් පනස් හතක් තිබෙනවා. බෞද්ධයෙකු වශයෙන් ඒවා කියවා තිබීම වැදගත්. ධර්ම කරුණු පිළිබඳ අපැහැදිලිතාවන් වටහා ගන්නට එය රුකුලක් වෙනවා. එසේම මෙවන් ගැටළුවක් දෙස විවෘත මනසින් බැලීමයි අවශ්‍යය. මිථ්‍යාදෘෂ්ටික මත වල එල්බ සිටීමෙන් නිවැරෙදි බෞද්ධ දර්ශනය අවබෝධ කරගත නොහැකියි.
මෙවන් තවත් පරස්පර අවස්ථා බොහෝමයක් බුද්ධ චරිතය හා ගැඹුරු ධර්ම කරුණු තුල දැක්වෙයි. සිද්ධාර්ථ කුමරු ගිහිගෙය හැරයාම පිළිබඳ සම්මතයට ඔබ්බට සිතන්නට මෙම කථිකාවත ඔබට මාර්ගයක් වනු ඇත. තවත් මෙවන් අවස්ථාවක් ලෙස පැවිදි බිමට පත් සිද්ධාර්ථයාණෝ කුසල මාර්ගය සොයා යාම පිළිබඳව ද දැක්විය හැකිය.

නිලුපුල් විතානගේ

Add a Comment

Your email address will not be published. Required fields are marked *