Home » බුදු දහම » ධර්මය » නායක්කර් රජවරුන් සහ වැලිවිට සරණංකර සංඝරාජ හිමි අතර සබඳතා තුළින් සාර්ථක වූ සියම් උපසම්පදාව.
Silhouette of a woman doing yoga on the beach at sunset

නායක්කර් රජවරුන් සහ වැලිවිට සරණංකර සංඝරාජ හිමි අතර සබඳතා තුළින් සාර්ථක වූ සියම් උපසම්පදාව.

 

නායක්කර් රජවරුන් සහ වැලිවිට සරණංකර සංඝරාජ හිමි අතර සබඳතා තුළින් සාර්ථක වූ සියම් උපසම්පදාව.

 

වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයත් සමඟ සිංහල රාජ්‍ය උරුමය අවසන් වේ. ඉන් අනතුරුව බලයට පත්වන්නේ නායක්කර් හෙවත් වඩුග රජවරුන් ය. සිංහල පාලකයින් දකුණු ඉන්දියාවෙන් කුමාරිකාවන් ගෙන්වාගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස විදේශීය රාජ්‍ය වංශයකට සිහසුන උරුමවීමේ නියත ප‍්‍රතිඵල උදා විය. මෙහිදී විශේෂයෙන් ම නායක්කර් රජවරුන් සහ සරණංකර හිමියන් අතර ඉතා සමීප බැඳීමක් පැවතිණ. එම සබඳතාව බුදුදහම යළි නගා සිටුවීමට ද බෙහෙවින් ඉවහල් වූ බව පෙනේ.

 

නරේන්ද්‍රසිංහ රජු නායක්කර්වරුන් සමඟ ඇති කරගත්  විවාහ සබඳතා නිසා උඩරට රාජ්‍යය උරුමය ලබාගැනීමට වඩුග පරපුරට අවස්ථාව උදාවිය. සරණංකර හිමියන් සහ තම හිතවත් ඇමතිවරුන් කිහිපදෙනෙකුට දන්වා අනුමැතිය ලබාගෙන මදුරා පුරයෙන් සිය මෙහෙසියන්ගේ සොහොයුරා මෙහි ගෙන්වා ගත්තේය.  මෙම සිදුවීමෙන් පසු රජුගේ එකම පුත‍්‍රයා වූ උනම්බුවේ බණ්ඩාර භින්න මාතුක හෙයින්, මදුරාවේ උපන් රජුගේ මස්සිනා රජකම සඳහා පුහුණු කරනු ලැබේ යැයි ප‍්‍රසිද්ධ විය.  රජුගේ මස්සිනා එකල උඩරට විසු බහුශ‍්‍රැත යතිවරයා වූ සරණංකර සාමණේරයන්ගේ මග පෙන්වීම අනුව සිංහල කුමරයකු ලැබිය යුතු ආගමික හා ලෞකික අධ්‍යාපනය ලබමින් සිටියේ ය. මෙම සිදුවීම මන්දාරම්පුර පුවතේ මෙසේ දක්වා ඇත. ” හිමියෙනි, මෙ කුමරා බණ, දහම් හා සිප් සතර ද දී මතු සසුන හා රජය ද කරවනු මැනවැයි කියා පැවසීය. කුමර තෙමෙ ඒ යතිඳුන් ඇසුරු කොට නොයෙක් සිප් සතර හා බුදු දහම ද ඉගෙන බුදු සසුනෙහි සැදැහැති විය.   සිහසුනේ අඩුව වහා පිරවිය යුතු බැවින් ඒ සඳහා ශ‍්‍රී විජය රාජසිංහ සුදුසු බවට සරණංකර හිමියන් පෙන්වාදීමත් සමග සෙසු නිලධාරින් ද එය අනුමත කර ඇත. සරණංකර හිමියන්ගේ එම ක‍්‍රියාදාමය විදේශීය රාජ්‍ය වංශයක් ඇතිවීමට සෘජුව බලපෑවේ ය. පැවති පසුබිම නිසියාකාරයෙන් අවබෝධ කරගෙන නායක්කර්වරු බලයට පත්වීම සඳහා අවසර නොදුන්නානම් සිංහල පෙළපත නරේන්ද්‍රසිංහගෙන් අවසන් නොවනු ඇත. සරණංකර හිමියන්ගේ භූමිකාව පමණක් නොව උඩරට පවුල් අතර අසමගිය හා ඊර්ෂ්‍යාව ද විදේශ රජ පෙළපතක් ඇති වීමට මග පැදුවේ ය.

 

ශ‍්‍රී විජය රාජසිංහ රජු ක‍්‍රි.ව. 1739 උඩරට රජු ලෙස බලයට පත්විය.  චුලවංශ කතුවරයා ශ‍්‍රී විජය රාජසිංහගේ බලයට පත්වීම මෙසේ දක්වා ඇත.

 

”සිරිවිජයාදි නාමොසො රාජසීහොති විස්සුතො පත්ත රාජ්ජාභිෂෙකො ච පසන්නො රතනත්තයේ සද්ධම්ම.”……

උඩරට ජනතාව නායක්කර් වංශය පිළිගැනීමට කරුණු කිහිපයක් ඉවහල් විය. ඒ අතර බෞද්ධාගම සම්බන්ධයෙන් දැක්වූ අව්‍යාජ භක්තිය, පාලන උපායශීලීත්වය සහ සම්ප‍්‍රදායානුගත හින්දු සහනශිලීතාව යන හේතු බලපෑවේ ය. තවද රජු සහ රදලවරු අතර පැවති භේදය නිසා රජුට විරුද්ධව ඇතැම් රදලයන් එක්වීම වැළකුණි. කෙසේ වුවත් අවසානයේ නායක්කර් පෙළපත උඩරට බලය නීත්‍යනුකූලව තහවුරු කරගත් බව පෙනේ.

 

සිහසුනේ බලය තහවුරු කරගත් ශ‍්‍රී විජය රජුගේ මිළඟ අරමුණ වූයේ සිංහල බෞද්ධ ජනතාවගේ සහයෝගය ලබාගැනීමයි. ඒ අනුව උඩරට රාජධානිය පුරා කා අතරත් ගෞරවාදරයට පත්ව සිටි සරණංකර හිමියන්ව තමාගේ අනුශාසක වශයෙන් තෝරාගෙන ‘රාජගුරු’ පදවිය පිරිනමා ඇත. මල්වතු විහාරයෙහි පදිංචි වීමෙන් පසුව උන්වහන්සේට රටේ ආගමික ජීවිතයෙහි ප‍්‍රබල ස්ථානයක් හිමි විය.  අප මෙහිදී මතක තබාගත යුතු කරුණක් වන්නේ ශී‍්‍ර විජය රාජසිංහ රජු පක්ෂපාතීත්වය දැක්වූයේ සරණංකර හිමියන් කෙරෙහි පමණක් නොවේ. අස්ගිරිය සහ මල්වතු විහාරවල විසූ ගණින්නාන්සේලා ද ඔහුගේ සැලකුම් ලැබූහ. මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා පෙන්වා දෙන්නේ මල්වතු විහාරයෙහි විසූ ගණනායක භික්ෂුව අසනීප වූ අවස්ථාවේ දී රජතුමා  එම භික්ෂුව ඇතළු භික්ෂූන් දෙතිස් නමක් කොළඹට යවා, එහිදී එම මහානායක ගණින්නැහෙට  ඕලන්ද වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ලබාගැනිමට සැලැස්වූ බවයි.  මින් අවබෝධ වන්නේ මෙම යුගයේදී ගණින්නාන්සේ ඉතා ප‍්‍රබල ස්ථායක සිටි බවකි. ඔවුන් එතෙක් කළ සේවය අමතක කර දැමීමට රජු පවා උත්සාහ නොගත් බව ඉන් ගම්‍ය වේ.

 

සංඝරාජ හිමියන් කළ සේවය අගයනු වස් එතෙක් නොපැවති උපසම්පදාව යළි ස්ථාපිත කිරීම සඳහා රාජ අනුග‍්‍රහය ලබාදීමට රජු ක‍්‍රියා කළේය. ඊට අවශ්‍ය කටයුතු සංවිධානය කර ක‍්‍රි.ව. 1741 දී ප‍්‍රථම දූත ගමන පිටත් කිරීමට පියවර ගන්නා ලදී. මෙසේ පළමු දූත මණ්ඩලය රජතුමාගේ සහ සංණංකර හිමියන්ගේ දූතයන්ගෙන් සමන්විත විය.  ආරගොඩ, ගණේගොඩ, ලදපිටියේ, වටවන සහ හල්පේ යන සිල්වතුන් සිවුරු හරවා උපාසකයන් කොට ගමනට සුදානම් කරන ලදී. දොරණාගොඩ මුහන්දිරම් රාල සහ මාතොට රාල යන ඇමතිවරු දෙදෙනා ද මෙම ගමනට සහභාගි වූහ. උපසම්පදාව ගෙන ඒමට සියලූ කටයුතු සංවිධානය කර ඊට නාවික ගමනා ගමන පහසුකම් ලන්දේසීන්ගෙන් ලබාගැනීමට රජු ක‍්‍රියා කළේය.

 

අපට මතුවන ප‍්‍රධාන ගැටලූවක් වන්නේ රෙපරමාදු භක්තිකයන්  වූ ලන්දේසීන් කවර අරමුණු සහිතව බෞද්ධාගමික උපසම්පදාව පිහිටුවීමට සහයෝගය ලබාදුන්නේ ද යන්න යි. ඔවුන් එසේ කිරීමෙන් සපුරාගත් ප‍්‍රධාන අපේක්ෂා ගණනාවකි. එකී අරමුණු අතර  උඩරට රාජධානියේ ආර්ථික බලය දිනාගැනීම සහ සියම් දේශය සමග ආර්ථික සබඳතා ගොඩනැගීම ප‍්‍රධාන විය. යම් හෙයකින් ලන්දේසීන් උපකාර නොකළ හොත් රජතුමා මදුරාසියේ සිටි බි‍්‍රතාන්‍යයන්ගෙන් හෝ පොන්ඩිචෙරියේ සිටි ප‍්‍රංශ ජාතිකයන්ගෙන් හෝ ආධාර ලබාගෙන උපසම්පදාව පිහිටුවීමට තීරණය කර ඇත. මේ බව දත් ලන්දේසීහු කඩිනමින් සිංහල රජුට උපකාර කොට වෙළඳ ආධිපත්‍යය රට පුරා පතුරුවා ගැනීමට කල්පනා කළහ.

 

දූත පිරිස පඩුරු, පාක්කුඩම් සහිත පාලි භාෂාවෙන් ලියන ලද බණ පොත්, සංදේශ ආදි නිවේදන ලියවිලි ද ඇතිව උපසම්පදාව රැගෙන ඒම සඳහා ක‍්‍රි.ව. 1741 පෙබරවාරි 20 වැනි දින කොළඹ සිට ‘කොන්ටන්ටිනා’ නම් ලන්දේසි යාත‍්‍රාවෙන් බතාවියාව බලා පිටත්ව ගියහ. වඩා කපටි පිළිවෙතක් ගෙන ගිය ලන්දේසීන් දූත පිරිස අයෝධ්‍යාවට යාම වළක්වා පේගුවට යාමට උපදෙස් දී ඇත. එසේ කිරීමට හේතු වූයේ ඒ වන විට ලන්දේසීන් සහ සියම් රාජ්‍ය අතර පැවති අර්බුදකාරී වතාවරණය යි. සියමයට යැවූ පිරිස යාත‍්‍රා කළ නැව වැලිකන්දක හැපී විනාශ විය. ඇමතිවරුන් දෙදෙනකු, උපසක රාල සහ සේවකයා ද හැර සියල්ලෝම මුහුදට බිලි වූ අතර ඉතිරි පිරිස බොහෝ දුක් ගැහැට විඳ පෙරළා දිවයිනට පැමිණියහ. දොරණෑගම මුහන්දිරම් රාල සිදු වූ විපත හෙළි කළ බව මන්දාරම්පුර පුවතෙහි සඳහන් කර ඇත.

 

මෙසේ ක‍්‍රි.ව.1741 ආරම්භ කරන ලද දූත ගමන්වලින් උපසම්පදා භික්ෂූන් වැඩමවාගෙන ඒමට නොහැකි විය. එම ගමනින් සියම් උපසම්පදාව ගැන පැහැදිලි වැටහීමක් සහ පිළිගැනීිමක් ඇති කරගැනීමට හැකි වූ බව පෙනේ. නැවත දූත පිරිසක් උපසම්පදාව ගෙන ඒම සඳහා කි‍්‍ර. ව. 1747 දී පිටත්කර හරින ලදී. මෙමදූත පිරිසට උපැවිදි වූ වැල්ලාවේ, ගලටොඹුවේ, දැලිවෙල, බෝතලේ,  ඕගොඩපොළ යන සිල්වතුන් වහන්සේලා ද දොරණැගම මුහන්දිරම් රාල සහ විල්බාගෙදර මුහන්දිරම් රාලත් ඇතුළත් වූහ.

 

මෙම අවස්ථාවේදී ද සමුදුර තරණය කිරීම පිණිස අවශ්‍ය නාවික පහසුකම් ලන්දේසීන්ගෙන් ලබාගැනීමට රජු කල්පනා කළේය. ලන්දේසීන් විසින් සිංහල රජුටත් සියම් රජුටත් උදව් උපකාර කරනු ලබන්නේ තමන්ගේ වෙළඳ අපේක්ෂාවලට සහයෝගය ලබාගැනීමේ බලාපොරොත්තු සහිතව ය. සියම් දේශයෙන් භික්ෂූන් වැඩමවීමට සිංහල රජුට උපකාර නොකළ හොත් ඔවුන් ඉංගී‍්‍රසි හෝ ප‍්‍රංශ ජාතිකයන්ගෙන් උදව් ලබාගැනීමට ඉඩ ඇති නිසා බතාවියාවෙන් ලංකාවේ ලන්දේසි පාලකයන්ට උපදෙස් දී ඇත්තේ ලක් රජුගේ ඉල්ලීම ඉටුකිරීමට උනන්දු වන ලෙස ය. කෙසේ වුවත් ලන්දේසීන් සිතාමතා ම ගමන ප‍්‍රමාද කළ බව මහචාර්ය කේ.ඩබ්ලිව්. ගුණවර්ධන විසින් පෙන්වා දෙනු ලබයි.

 

පරිපූර්ණ වූ භාෂා දැනුමකින් සමන්විත විල්බාගෙදර රාලගේ ප‍්‍රධානත්වයෙන් ඉහත සඳහන් කළ දූත පිරිස ලන්දේසි නැව්වලින් බතාවියාව බලා ගමන් කළහ. විවිධ දුෂ්කරතා මධ්‍යයේ සියමට දූත පිරිස පැමිණියහ. මෙම අවධියේ සියම් දේශය පාලනය කරනු ලැබුවේ හතරවන බාරොම්කෝට් (ක‍්‍රි.ව. 1732-1758) රජු හෙවත් ධාර්මික රජු විසිනි.  තමන් මෙරටට පැමිණි අරමුණ රජුට පහදා දෙන ලදි. ඒ අතර ශ‍්‍රී විජය රාජසිංහ රජු ක‍්‍රි.ව. 1747 අගොස්තු 11 වන දින මරණයට පත් විය. නව රජුගේ ආගමික හැගීම් නොදැන සියම් රජු භික්ෂූන් මෙහි එවීමට මැලි වූ බව පෙනේ. බලාපොරොත්තු ඉටු කරගැනීමට නොහැකි වූ රාජ දූතයෝ හිස් අතින් පෙරළා දිවයිනට පැමිණියහ. විවිධ බාධක සහ ව්‍යසනයන්ට මුහුණ පෑ මෙම පිරිස අයෝධ්‍යාවෙන් නැව් නැග ත‍්‍රිකුණාමල වරායෙන් මෙරටට පැමිණ ඇත. දෙවන ප‍්‍රයන්තය ද අසාර්ථකවීම පිළිබඳ සරණංකර හිමියන් මහත් සන්තාපයට පත් වූ බව පෙනේ.

 

ශ‍්‍රී විජය රාජසිංහගේ ඇවෑමෙන් ඔහුගේ බිසවගේ සොහොයුරු කීර්ති ශ‍්‍රී රාජසිංහ ක‍්‍රි.ව. 1747 අගෝස්තු මාසයේදී රාජ්‍යත්වයට පත් විය. සොළොස් විය නොපිරුණු ඔහු රටේ චිරාගත චාරිත‍්‍රානුකූලව ඔටුනු පැළඳ උත්සවශී‍්‍රයෙන් රාජ්‍ය පාලනය භාරගත්තේ ක‍්‍රි.ව. 1750 ජනවාරි මස 31 වැනි දිනයෙහි ය. හෙතෙම බාල වියේ සිටම උඩරට රජ වාසලේ විසූ තෙරුන් නමකගෙන් අධ්‍යාපනය ලැබීය. රජතුමා අධ්‍යාපනය ලැබූ තෙර නම සරණංකර හිමියන් බවට මන්දාරම්පුර පුවතේ සඳහන් වේ. මෙම රාජ්‍ය සමය තුළ බුදු සසුනට, අධ්‍යාපනයට, සාහිත්‍යය, භාෂාව සහ ලලිත කලාව යන සෑම අංශයකම ප‍්‍රවර්ධනයක් ඇතිවීම නිසා නව ආරක සංස්කෘතික ප‍්‍රබෝධයක් ද හටගත්තේය.

 

සරණංකර හිමියෝ සසුනේ උද්ගතව ඇති පසුගාමීත්වය සහ එය නගා සිටුවීමට ගත යුතු ක‍්‍රියා මාර්ග පිළිබඳ අභිනවයෙන් බලයට පත් වූ රජතුමාව දැනුවත් කළහ. කරුණු අවබෝධ කරගත් රජු සසුනේ අභිවෘද්ධියට ක‍්‍රියා කරමින් සරණංකර හිමියන්ගේ කටයුතුවලට උපකාර කළේය. තවද එතුමා ලක්දිව විසිර සිටි ගිහි පැවිදි ශිෂ්‍යයන්ට සරණංකර හිමියන්ගෙන් අධ්‍යාපනය ලබාගැනීමට හැකි වන පරිදි අස්ගිරිය, පෝය මළුව, අම්පිටිය, නිත්තවෙල, සුදුහුම්පෙළ සහ ගංගාරාමය යන විහාරයන්හි ශාස්ත‍්‍රශාලා ඉදි කිරීමට කටයුතු කරන ලදි.  මෙම ක‍්‍රියාමාර්ගයන් සමඟ විශාල ශිෂ්‍ය පිරිසක් අධ්‍යාපනික කටයුතු සඳහා පැමිණියහ. නියමකන්ද අධ්‍යාපන ආයතනයෙන් ඇරඹූ ශාස්ත‍්‍ර ව්‍යාප්තිය මේ හේතුකොටගෙන රටපුරා පැතිරිණ.

භික්ෂු සංවිධානයේ චිරස්ථිතිය පිණිස අත්‍යවශ්‍ය වූ  උපසම්පදාව ලබාගැනීමේ තුන්වන උත්සාහය ක‍්‍රි.ව. 1752 දී සිදු විය. සරණංකර හිමියන්ගේ ඉල්ලීම පරිදි ලන්දේසීන්ගේ ද සහයෝගය ඇතිව උපසම්පදාව ගෙන්වාගැනීම සඳහා සියම් රටට දූත කණ්ඩායමක් යැවීමට රජු කටයුතු කරන ලදි. විල්බාගෙදර රාලගේ මූලිකත්වය යටතේ යටිනුවර ඊරියගම නිලමේ, ඇල්ලේපොළ වෙඩික්කාර මොහොට්ටාල, පටවිපොළ රටේ රාළ සහ ආයිත්තාලියද්දේ මුහන්දිරම් ප‍්‍රමුඛ හැටපස්දෙනෙකු ඊට සහභාගි වූහ. ක‍්‍රි.ව. 1750 ජූලි මස 12 වන දින වැලිවිට හිමියන් ලබාදුන් පුද පඩුරු, සන්නස් හා සන්දේශ රැගත් පිරිස දින 12ක් ගත කර ත‍්‍රිකුණාමලයට පැමිණියහ. ලන්දේසින් ලබාදුන් යාත‍්‍රා මෙම ගමනට බෙහෙවින් මහෝපකාරී විය. ලන්දේසීන්ගේ නෞකාවක් වූ ”වෙල්ත‍්‍රක් ”  (වෙල්ටැක්) නැවෙන් දූත පිරිස සියම් රට බලා පිටත් වූහ.

 

මෙම පිරිස ක‍්‍රි.ව. 1751 ජූනි මස සියමයට ගොඩ බැස්සහ. ඒ වන විටත් සියමය පාලනය කරනු ලැබුවේ ධාර්මික නැමති රජතුමා ය. ලාංකික දූත කණ්ඩායම එරට රජතුමා මුණගැසී, තම ගමනේ පරමාර්ථ ඔහු වෙත සැල කළහ.  සියම් රජතුමා විසින් උපාලි නම් මහා ස්ථවිරයන් ප‍්‍රමුඛ සියම් භික්ෂු පිරිසක් ලංකාවට එවීම සඳහා සුදානම් කරන ලදිී. උපාලි හිමියන්, අරියමුනි, මහානාම, බ‍්‍රහ්මජොති, මහාපුඤ්ඤ, ඉන්ද්‍රජෝති, චන්ද්‍රජෝති, මණිජෝති, චන්දසාර, කොට්ඨත, ඉන්ද්‍රසුවණ්ණ, බ‍්‍රහ්මස්සර, යසදින්න, මහා සුමණ්ණ, ධම්මජෝති, මණිසාර, මහාමුනි, ප‍්‍රඥාජාත, සාරචන්ද සහ බ‍්‍රහ්මස්සර යන හිමිවරු ඇතුළත් වූහ.  සියම් පිරිස සියම් නැවකින් ද ලාංකික දූත පිරිස  ඕලන්ද නැවකින් ද ලංකාව බලා ගමන ආරම්භ කළහ. එනමුත් හදිසියේ සියම් නැව අතර මගදී විනාශ වී ඇත. ආපසු අයෝධ්‍යාවට ගිය පිරිස  ඕලන්ද නැවකින් මාස කිහිපයකට පසු දිවයිනට පැමිණියහ. සියම් භික්ෂූන්  ඕලන්ද නැවකින් ත‍්‍රිකුණාමලයට ආ අතර අනෙක් නැව කොළඹට පැමිණි බව කොටගම වාචිස්සර හිමියෝ පෙන්වා දෙති. උපාලි හිමියන් ප‍්‍රමුඛ පිරිස ක‍්‍රි.ව. 1753 මැයි 16 වැනි දින සවස 2.00 ට පමණ මෙරටට පැමිණියහ. රජුගේ අණින් පිළියෙල කරන ලද අති උත්කර්ෂවත් පෙරහරකින් සියම් භික්ෂූන් වහන්සේලා පිරිස මහනුවරට කැඳවාගෙන එන ලදිී.  උපාලි හිමියන් ප‍්‍රමුඛ සියම් භික්ෂූන් වහන්සේලා විසින් ලාංකේය සාමණේරවරුන් පැවිදි කිරීම ආරම්භ කරන ලද්දේ ක‍්‍රි.ව. 1753 ඇසළ මස පුර පසළොස්වක පොහෝ දින ය.  සරණංකර හිමියන් සහ නායක්කර් රජවරුන් අතර පැවති නිරන්තර සම්බන්ධතාවල උච්චතම අවස්ථාව වූයේ සියම් උපසම්පදාව මෙරට පිහිටුවීමයි. මෙම උපසම්පදාවෙන් අනතුරුව රජු සංඝ සංවිධානය ක‍්‍රමවත් පදනමක පිහිටුවීමට කටයුතු කරවීය. සරණංකර හිමියන්ට සංඝරාජ පදවියත්, තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත හිමියන්ට උප සංඝරාජ පදවියත් පිළිගන්වන  ලදී. අස්ගිරිය සහ මල්වතු විහාර දෙකට ම නායක හා අනුශාසක හිමිවරුන් පත් කළ රජු දිවයිනේ සියලූම විහාර මේ ආයතන දෙකේ පරිපාලනයට යටත් කළ බව පෙනේ. උපසම්පදාව ඇති කළ පමණින් සසුනේ චිර ජීවනය ඇති නොවන බව වටහාගත් සංඝරාජ හිමියෝ භික්ෂූන්ගේ සංවරය ඇති කරනු වස් කතිකාවතක් ඇති කිරීමේ වටිනාකම රජුට අවබෝධ කර දුන්හ. මේ අනුව ‘කීර්ති ශ‍්‍රී රාජසිංහ කතිකාවක’ නමින් හැඳින්වෙන ව්‍යවස්ථා පද්ධතියක් රජතුමා විසින් ස`ග රජුගේ සහයෝගය ඇතිව පනවන ලදිී.  නරේන්ද්‍රසිංහ යුගයේ සිට කීර්ති ශ‍්‍රී රාජසිංහ යුගය දක්වා සරණංකර හිමියන් ගනු ලැබු සෑම ක‍්‍රියා මාර්ගයකින් ම සසුනේ අභීවෘද්ධිය හට ගත්තේය.  එම අභිවෘද්ධිය ඇති කිරීම සඳහා මෙම හිමියන්ට වඩාත් පහසු වූයේ එතෙක් ගණින්නාන්සේලා ආරක්ෂා කර ලබා දුන් ශාසනික පිළිවෙත් නිසාය.

අජිත් තල්වත්ත,

  1. (Spc) MA. (PDN) M.Phil (KLN)

ජේෂඨ කථිකාචාර්ය,

මානව ශාස්ත‍්‍ර අධ්‍යයන අංශය,

ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,

මිහින්තලේ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *