Home » බුදු දහම » ධර්මය » නිවන වෙතටම පියවරෙන් පියවර
Silhouette of a woman doing yoga on the beach at sunset

නිවන වෙතටම පියවරෙන් පියවර

නිවන වෙතටම පියවරෙන් පියවර

ජීවිතය පුරාවට විහිදෙන සිල්වත් බවක් වෙත

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස…

මම බලාපොරොත්තු වෙනවා මේ ශාසනයේ සම්මා දිට්ඨිය ඇතිකර ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ලෝකෝත්තර දර්ශනය එක එක න්‍යායන්ගෙන් ආකාරයන්ගෙන් පැතිකඩයන්ගෙන් පෙන්වන්නට.

බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වුණත් නැතත් හැමදාම පැවතුණු, හැමදාම පවතින ඇත්තක් තියෙනවා. ඒකට කියන්නේ යථාභූත ස්වභාවය, ඇත්ත ඇති හැටියේ පවතින ස්වභාවය.

‘ඒ ඇත්ත ඇතිහැටිය පවතින ධර්මතාවය නොදන්නාකම නිසා’ අපි වැරදි දෘෂ්ටි, වැරදි අදහස් ඇතිකරගෙන ඒ වැරදි දෘෂ්ටීන්ගෙන්, ‘වැරදි අදහස්වලින් මේ ආයතන ටික ඇසුරු කරන්නට ගිය නිසා’ තමයි තණ්හාව ඇතිවෙලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා.

‘ඒ තණ්හාව නිසා තමයි දුක හටගන්නේ’ කියන කාරණාව පෙන්නුවා.

දුක නැතිවෙන්නට නම් ‘දුක ඇති කරන හේතුව’ නැතිවෙන්නට  ඕනේ.

දුක ඇති කරන හේතුව, නැත්නම් තණ්හාව කියන එක නැති කරන්න පුළුවන්කමක් නැහැ, වැරදි අදහස්වලින් වැරදි දැකීමකින්, වැරදි දෘෂ්ටියකින් මේ ස්පර්ශ ආයතන හය පරිහරණය කරනවා නම්.

එහෙම නම් ඒ සසරේ ඉපදීමට හේතුවෙන කෙලෙස් නැති කරන්න ඒ ‘වැරදි දැකීම’ නැති කරන්න  ඕනේ.

ඒ වැරදි දැකීම නැති කරන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නුවා සම්මා දිට්ඨිය – නිවැරදිව දැක්ක යුතුයි කියලා.

ස්කන්ධ, ධාතු ආයතන කියන ධර්මයන් පටිච්චසමුප්පාද ආදී ධර්මයකින් නුවණින් බැලිය යුතුයි කියලා.

පින්වතුනි, ධාතු විභංග සූත‍්‍රයේදී බහුධාතුක සූත‍්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ‘ආනන්ද මේ ලෝකයේ යම්කිසි දුකක් ඇති වුණා නම් යම්කිසි උපද්‍රවයක් ඇති වුණා නම්, යම්කිසි විපත්තියක් ඇති වුණා නම්, ඒ හැම දුකක්ම, උපද්‍රවයක්ම, විපතක්ම ඇති වුණේ බාලයෙක් හරහායි. පණ්ඩිතයාට ඇතිවෙන දුකකුත් නැහැ, උපද්‍රවයකුත් නැහැ. ඒ නිසා ‘නුවණින් විමසලා බලලා පණ්ඩිතයෙක් වෙන්න’ කියලා මතක් කළා. ඒ අවස්ථාවේදී ආන්නද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, කෙසේ විමසා බලා පණ්ඩිතයෙක් විය යුතුද?’ කියලා. ‘ආනන්ද ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන් විමසලා බලලා පණ්ඩිතයෙක් විය යුතුයි’ කියලා පෙන්නුවා.

ඉතින් ඒ ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද ආදී වශයෙන් විමසන කොට ඇත්ත ඇති සැටිය දැනගන්නට දකින්නට පුළුවන්. ඒ ඇත්ත ඇතිහැටිය දැනගත්ත, දැක්ක දවසටයි සසර දුක ඇතිකරන ඒ ආශ‍්‍රව ධර්මයන් දුරු වෙන්නේ.

පින්වතුනි, ඒ ස්කන්ධයන්ගේ, ධාතූන්ගේ, ආයතනයන්ගේ ඇත්ත ඇතිහැටිය බලන්න එක එක පැතිකඩවල් තියෙනවා. එකම වැවකට බහින්න තොටුපළවල් රාශික් තියෙනවා වගේ සම්මා දිට්ඨිය ඇති කරගන්න න්‍යායන් බොහෝයි. ඉතින් මේ  ඕනෑම න්‍යායකින් කෙනෙකුට මේ දහම දකින්න පුළුවන්. තේරුම්ගන්න, මේ ඇත්ත ඇති හැටියේ දකින දර්ශනයක් තියෙනවා, එතෙන්ට අපි යන්ට  ඕනේ, ඒ හැකියාව අපි ඇතිකරගන්න  ඕනේ කියන කාරනාව.

කල්‍යාණ මිත‍්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ‍්‍රවණය තුළින් සම්මාදිට්ඨිය අහලා දැනගත්තට පස්සේ ‘ඒ දහම දැනගත්ත දහම දැකගන්න යන ගමන් මාර්ගය’ තමයි පින්වතුනි මේ ප‍්‍රතිපදාව කියලා කියන්නේ. සීල, සමාධි, ප‍්‍රඥා කියලා තව පැත්තකින් ගත්විට මේක ‘පූර්වභාග ප‍්‍රතිපදාව’ වෙනවා.

ඒ පූර්වභාග ප‍්‍රතිපදාවේදී පින්වතුනි, කල්‍යාණමිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණය කියන ටික පිටතින් ලැබිලා යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම ප‍්‍රතිපත්තිය කියන ධර්මතා දෙක මේ පින්වතුන් තුළින් පිරෙන්නට  ඕනේ. මේ ධර්මතා හතරේ මුහුකුරා යාමක් හැටියට මේ ධර්මතා හතර වැඞීම නිසා සම්මා දිට්ඨිය කියන කාරණාව ඇතිවෙනවා.

එතකොට තමයි දිට්ඨිසම්පන්නයි, සෝතාපන්නයි කියලා කියන්නේ.

මම දැන් භාවනාව ගැන කරුණු ටිකක් පැහැදිලි කරනවා.

  1. 1. මුලින්ම භාවනා කරන්න ගියහම අපි කියලා දුන්නත් නැතත් මේ පින්වතුන් භාවනා කරන්න ඉස්සරලා තුනුරුවන්ට ගරු කරලා තුණුරුවන් වන්දනා කරන්නට ඕනේ. ඊට පස්සේ මේ ජීවිතය තුණුරුවනට පූජා කරන්නට  ඕනේ.

 

ඒකට කාරණා රාශියක් පෙන්නනවා එහෙම කරන්නේ ඇයි කියලා. පින්වතුනි, අටුවාවලින් පෙන්වනවා අරණ්‍ය සේනාසනයකට එහෙම නැත්නම් බොහෝ දුෂ්කර ප‍්‍රාන්ත සේනාසනයක හිටියත් භයක්, තැතිගැනීමක් ඇති වුණත් හිතට හයියක් තියෙනවාලූ ‘මම මගේ ජීවිතය තුණුරුවනට භාරදීලා තියෙන්නේ. මේ ජීවිතයට රැුකවරණය, ආරක්ෂාව තුණුරුවන්ගෙන් ලැබෙනවා’ කියලා ඒ යෝගාවචරයාට ශක්තියක් ඇති වෙනවා කියන කාරණාවත් ඒ වගේම මෙයා තුණුරුවන්ට ජීවිතය කැප කළ කෙනෙක් කියන කාරණාව තේරුම් ගත්තහම අමනුෂ්‍ය ආදී උපද්‍රවයන් ජීවිතයට ළංවෙන්න තියෙන හේතු අඩුවෙනවා කියන කාරණාවත් අටුවා ආදියේ විස්තර කරනවා. ඒ නිසා ජීවිතය තුණුරුවනට පූජා කරන්නට  ඕනේ.

 

  1. 2. ඊළඟට පින්වතුනි බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලාට දැන හෝ නොදැන හෝ අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම හිත, කය, වචනය කියන තුන් දොරින් යම්කිසි ප‍්‍රමාද දෝෂ වරදක් සිදු වුණා නම් ඒ සියලූ වැරදිවලට සමාවේවා කියලා සමාව ගන්න ඕනේ.

 

ඇයි පින්වතුනි එහෙම සමාව ගන්න කියලා කියන්නේ. සසරේදී හෝ පින්වතුනි ආර්ය උපවාදය කියලා යමක් වෙලා තිබුණහොත් කවදාවත් මේ ධර්මය කියන එක සාක්ෂාත් වෙන්නේ නැහැ කියලා පෙන්වනවා. ධර්මය කියන එකට උත්සාහ කරන්නවත් එපා කියලා පෙන්වනවා. මොකද ඒක නිෂ්ඵල කි‍්‍රයාවක්. ආර්ය උපවාදය එච්චරට බයයි. නමුත් මෙතැන තියෙන භයානකකම තමයි ආර්ය උපවාදය කියන එක කෙනෙක් නොදැන වුණත් වෙන්නට පුළුවන් දෙයක්.

 

මේ ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ අඹ වලට උපමා කරලා ‘අමුයි, අමුයි වගේ’ පෙනෙන අඹ තියෙනවා, ‘ඉදිලා නමුත් අමුයි වගේ’ පෙනෙන අඹ තියෙනවා. ‘අමුයි, ඉදිලා වගේ’ පෙනෙන අඹ තියෙනවා ‘ඉදිලා, ඉදිලා’ වගේ පෙනෙන අඹ තියෙනවා. ඉතින් ඒ වගේ ධර්මතා හතරක් පෙන්වනවා.

 

‘අමුයි අමුයි වගේ’ කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ නැහැ. චතුරාර්ය සත්‍ය්‍ය අවබෝධ නැති කෙනෙකුගේ විදියටම හිත, කය, වචනය අසංවරව කටයුතු කරන කෙනා ‘අමුයි, අමුයි වගේ’ ම පෙනෙනවා.

 

‘අමුයි, ඉදිලා වගේ’ පෙනෙන ගෙඩියක් වගෙයිකියනවා චතුරාර්ය සත්‍යය අවබෝධ වෙලා නැහැ, නමුත් ඉරියව් එහෙම බොහෝම ප‍්‍රසන්නයි. බොහෝම තැන්පත්. අඳින පළඳින කටයුතු, ආහාර පාන ගන්න වෙලාවන්, මේ ඉරියව් හැම දෙයක්ම හිතන, කියන, කරන දේවල් හුඟක් සංවරයි. නමුත් එයාට දුක්ඛ, සමුදය, නිරොධ, මාර්ග කියන චතුරාර්ය සත්‍යය අවබෝධ වෙලා නැහැ. ‘අමුයි, ඉදිලා වගේ’.

 

ඊට පස්සේ තව අඹ වර්ගයක් තියෙනවා ‘ඉදිලා, අමුයි වගේ’ – දුක්ඛ, සමුදය, නිරොධ, මාර්ග කියන චතුරාර්ය සත්‍යය හොඳට අවබෝධයි, හොඳ දැනුමක් තියෙනවා. නමුත් එයාගේ බාහිරෙන් බැලූවහම සංවර බවක් පෙනෙන්නේ නැහැ. ඉරියව්වල සංසිඳුන බවක් පෙනෙන්නේ නැහැ. රළුයි, පරුෂයි වගේ. ඉතින් මෙන්න මෙතැන තමයි ටිකක් භයජනක තැන. අපි හැම කෙනෙක්ම බාහිරව කෙනෙක්ගේ කායික කි‍්‍රයාවේ රළුකම දැකලා, එහෙම නැත්නම් කථාකරන වචනවල අදපලූදු බලලා, නැත්නම් ජීවිතයේ මොනවා හරි හැසිරීමක් බලලා මෙයාට නම් කොහෙද දහමක් තියෙන්නේ කියන කාරණාව සමහර විට අපිට හිතෙනවා. එහෙම හිතුණත්, හිතුණු පමණකින්ම ආර්ය උපවාදය වෙනවා. නමුත් පින්වතුනි එතැන ‘අමුයි වගේ පෙනුණාට ඉදිලා’. ඒ වගේ හොඳට චතුරාර්ය සත්‍යය ධර්මය දන්නවා නමුත් ඉන්ද්‍රිය සංවරයක් නැහැ. එහෙම චරිතත් ලෝකේ තියෙනවා.

 

‘ඉදිලා, ඉදිලා වගේ’ චතුරාර්ය සත්‍යයත් අවබෝධයයි. ඉන්ද්‍රිය සංවරයත් බොහෝම ප‍්‍රසන්නයි කියලා පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා ලෝකයේ. ඉතින් මෙතැනදී ‘ඉදිලා අමුයි වගේ’ කියන පුද්ගලයොත් ඉන්න නිසා අපි උඩින් බලලා සමහර විට සසරේදී හරි ආර්ය උපවාදය වෙන්නට පුළුවන්, කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා බුද්ධාදී ආර්ය උත්තමයන් වහන්සේලාගෙන් සමාව අරගෙන, වැඩිහිටි ගුරුවරුන්ගෙන් සමාව ගන්න  ඕනේ. මේකට කියනවා භාවනා පූර්වකෘත්‍යය කියලා. ඒක කියවන්න ඔනේ නැහැ. කෙනාකෙනාම ඒ ටික භාවනා කරද්දි කරන්න.

 

  1. 3. ඊටපස්සේ පන්වතුනි, භාවනාව කිව්වහම විශේෂයෙන් කාරණා දෙකක් තියෙනවා. සමථ භාවනා සහ විදර්ශනා භාවනා කියලා.

 

පින්වතුනි, සමථ කියලා කියන්නේ ‘සංසිඳවන’ අදහසින්. ඒ කියන්නේ විසුරුණු දෙයක්. ඇවිස්සුණු දෙයක්, ඒ විසිරීම නැතිකරන, සංසිඳවන අදහසින් කියනවා සමථ කියලා. දැන් ගෙවල් දොරවල්වලදී, ගමේගොඬේදී ආරවුලක් රන්ඩුවක් ඇති වුණොත් අපි සමථ මණ්ඩලයකට යනවා කියලා කියන්නේ. ඒ ආරවුල සංසිඳවන තැනට යන එකට කියනවා සමථයකට පත්කරනවා කියලා. අපේ සිතෙන් තියෙන්නේ එකම කෙලෙස් අවුලක්. එක මොහොතක් නිකන් ඉන්න පුළුවන්කමක් නැහැ. මේ සිත හරියට අළුගොඩකට පොල්ලකින් ගැහුවාම විසිරෙන්නා වගේ සිත විසිරිලා. මේ විසිරුණු සිත සංසිඳුවා ගන්නට, එක්තැන් කර ගන්නට, තැන්පත් කර ගන්නට, නතර කරගන්නට, උපකාරී වෙන භාවනා කමටහන්වලට කියනවා සමථ කමටහන් කියලා. චිත්ත ඒකග්ගතාවය ඇති කරගන්නට උපකාරී කමටහන් වලට කියනවා සමථ කමටහන් කියලා. ප‍්‍රධාන වශයෙන් මේ කමටහන් බුදුරජාණන් වහන්සේ හතළිහක් පෙන්වා වදාළා. ඒ සමථ කමටහනට තව නමක් තමයි චිත්ත භාවනා.

 

තව තියෙනවා ප‍්‍රඥා භාවනා කියලා කොටසක්. අර ගාථාවේ පෙන්නුවේ ‘චිත්තං පඤ්ඤඤ්ච භාවයං කියලා. චිත්තං කියලා කිව්වේ සමථ කමටහන, පඤ්ඤං කියලා කිව්වේ විදර්ශනාව. නැත්නම් ප‍්‍රඥා භාවනා කියලා කියන්නේ විදර්ශනාව.

 

විදර්ශනා කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකයේ අනිත් අය දකිනවාට වඩා විශිෂ්ඨව දකිනවා, විශේෂයකින් දකිනවා, විවිධාකාරයෙන් දකිනවා කියන කාරණාවකින් විදර්ශනා, විපස්සනා කියලා කියනවා. පින්වතුනි, විපස්සනා කියන්නේ පාලියෙන්, විදර්ශනා කියන්නේ සංස්කෘත භාෂාවෙන්. සිංහල භාෂාවෙන් අපි කිව්වොත් ‘ඇත්ත ඇතිහැටිය දකිනවා’ කියන එක.

 

ඒ විදර්ශනා භාවනාවට හසුවෙන්නේ ‘මේ ලෝකයා දන්නා වූ, ලෝකයා දකිනා වූ දෙයට වඩා විශිෂ්ඨව බලන, විශිෂ්ඨව දකින’ එකටයි විදර්ශනා කියලා කියන්නේ. විශේෂයෙන් මෙතැන මේ ලෝකය තුළ අපි සත්වපුද්ගලභවායක් ඇසුරු කරන තැනක, ඒ ‘සත්වපුද්ගලභාවයට ඔබ්බෙන්’ පවතින යථාස්වභාවය ‘නුවණින්’ බලන එකට. විශේෂණයකින් බලන එකට, විවිධාකාරයෙන් බලන එකට කියනවා විදර්ශනා කියලා.

 

තව පැත්තකින් ගත්තොත් ‘සත්වපුද්ගලභාවයකින් අපිට දැනෙන අපිට හැෙඟන අරමුණු තුළ නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන්නේ’ කියන කාරණාව ප‍්‍රකට වෙන විදියට ප‍්‍රකට කර ගන්නට බලන එකට විදර්ශනා කියලා කියනවා.

 

ලෝකයා පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට දකින තැන, විශේෂ ඥානයකින් එයා ඇත්ත ඇතිහැටියේ බලනවා නාමරූප කියන ධර්මතා දෙකක පැවැත්මක් තියෙන්නේ, සත්වයෙක් පුද්ගලයෙක් කියලා ඇසුරු කරන තැනක නිස්සත්තො නිජ්ජිවෝ සුඤ්ඤො – සත්වපුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය ධර්මතාවයක් තියෙන්නේ, නාමරූප ධර්මතාවයක් තියෙන්නේ කියලා දකින ටිකට තමයි කියන්නේ විදර්ශනා කියලා.

 

එතකොට මේ සමථ කමටහන විදර්ශනාවට උපකාරයි, විදර්ශනා කරන එක චිත්ත සමථයට උපකාරයි. ඔවුනොවුන්ට උපකාරී පිණිස යුගනද්ධව පවතිනවා. ඒ ධර්මතා දෙකට උපකාරී පිණිස සීලයක පිහිටනවා. මේ විදියට සීලයක පිහිටලා සමථ විදර්ශනා වඩනකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝකයේ ඇත්ත ඇතිහැටිය අපිට දකින්න පුළුවන් දවසක් එනවා.

ඒ දැකිය යුතු ඇත්ත මොක්දද කියලා අපි අහගන්නට  ඕනේ. අන්න ඒ ඇත්ත දැක්ක දවසටයි සසරේ ඉපදීම ඇති කරන සියලූම ආශ‍්‍රවයන්ගෙන්, සියලූම කෙලෙසුන්ගෙන් මනස මිදෙන්නේ.

කෙටියෙන් කිව්වහම නිවන් මඟ කියන එක තියෙන්නේ මේ ආකාරයට සංෂිප්තයෙන් කෙටිවෙලා, කැටිවෙලා. භාවනා කරන හැටි, ඒකට අදාළ කාරනා ගැන සම්පූර්ණ විස්තර කියලා දෙන්න මම උත්සාහවත් වෙනවා.

මේ භාවනා කරනවා කියන කාරනාව පින්වතුනි එක තැනක ඉඳගෙන ඉඳීමෙන්ම විතරක් සිද්ධවෙන සිද්ධියක් නෙවෙයි. ඒක මුළු ජීවිතය පුරාවටම විහිදිලා, විසිරිලා පවතින ධර්මතාවයක්.

පින්වතුනි, මජ්ඣිම නිකායේ ගණකමොග්ගල්ලාන කියලා සූත‍්‍රයක් තියෙනවා. මේ සූත‍්‍රයේදී එක්තරා දවසක් භාග්‍යවතුන් වහන්සේ විසාකා උපාසිකාව විසින් කළ පූර්වාරාමයේ වැඩසිටින කොට මොග්ගල්ලාන කියන බමුණෙක් ආවා. මේ බමුණා ගණන් උගන්නලා ජීවත්වෙන නිසා ගණක මොග්ගල්ලාන කියනවා. මේ ගණකමොග්ගල්ලාන බමුණා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරනලා එකත්පසෙක ඉඳගෙන අහනවා ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ මිගාරමාතු ප‍්‍රසාදයේ පඩිපෙළ දිහා බැලූවාහ අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප‍්‍රතිපදාවක් තියෙන්නේ. එකපාරටම උඩට නැගලා නැහැ. ටිකෙන් ටික තමයි උස්වෙලා තියෙන්නේ. ඒ වගේ අනුපූර්ව කි‍්‍රයාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප‍්‍රතිපදාවක් මේ පඩිපෙළේ තියෙන්නෙත්, භාග්‍යවතුන් වහන්ස මේ වේදය උගන්වන බමුණන්ගේ අජ්ඣායනය කිරීමේදී, අජ්ඣායනය ඉගෙන ගැනීමේදී ඒකද අපූර්ව කි‍්‍රයාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප‍්‍රතිපදාවක් කොට ටිකෙන් ටික තමයි උගන්වන්නේ. භාග්‍යවතුන් වහන්ස, යම් සේ දුණු ශිල්පයඉගෙන ගන්න අයගේ අනුපූර්ව කි‍්‍රයාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප‍්‍රතිපදාවක් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්ස, අපගේද ඉගෙනීම් පරම්පරාවේ අපට උගන්වන්න සුදුසු අතවැසියෙක් ලැබුණු විට අපි ඒ අයට අනුක‍්‍රමයෙන් තමයි උගන්වන්නේ.

එකට එකයි, දෙකට දෙකයි, තුනට තුනයි, හතරට හතරයි, පහට පහයි, හයට හයයි, හතට හතයි, අටට අටයි, නවයට නවයයි, දහයට දහයයි, ඊළඟට 100 දක්වා. දාහ  දක්වා, තව බොහෝ කොට උගන්වනවා. මේ විදියට අනුක‍්‍රමයෙන් තමයි අපි උගන්වන්නේ. ඔබවහන්සේගේ ශාසනයේත් අනුපූර්ව කි‍්‍රයාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප‍්‍රතිපදාවක් පනවන්නට පුළුවන්ද?’ කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ බ‍්‍රාහ්මණයා ඇහුවා.

ඒ වෙලාවේදී ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බමුණ, මගේ ශාසනයේත් අනුපූර්ව කි‍්‍රයාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප‍්‍රතිපදාවක් පනවන්නට පුළුවන්. යම් සේ බමුණ, අශ්වයන් දමනය කරන කෙනෙකුට අශ්වයෙක්ව ලැබුණහම ඉස්සෙල්ලාම මුකවාඩමක් දමනවා. දාලා මත්තේ හික්මවනවා. ඒ වගේ පුරිසදම්මසාරථී වූ භාග්‍යවතුන් වහන්සේට දමනය කළ යුතු පුද්ගලයෙක් ලැබුණාම, භාග්‍යවතුන් වහන්සේ මුලින්ම කරනවා කියලා කියන්නේ මොකද්ද?

දැන් පිනිවතුනි, හොඳට මේ සූත‍්‍රයේ පෙන්වනවා නිවන් දැකීම සඳහා ටිකෙන් ටික කෙනා තුළ වඩා වර්ධනය කරගත යුතු ප‍්‍රතිපත්තිය මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා හික්මිය යුතු පුරුෂයෙක් හම්බ වුණාම මුලින්ම කරන්නේ මොකක්ද?

  1. 1. ‘මහණ, මෙහෙ එන්න, ඇවිල්ලා සිල්වත් වෙන්න ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වූ, ආචාර ගෝචරයන්ගෙන් යුක්ත වූ ස්වල්පමාත‍්‍ර වූ වරදට භය දකිමින් ශික්ෂාවන් සමාදන් වෙන්න කියලා හික්මවනවා.

 

මෝක්ෂයට පමුණුවන, මෝක්ෂයට මුල්වෙන කියන අදහසින් ප‍්‍රාතිමොක්ඛ කියලා කියනවා. එතකොට නිවනට පමුණුවන, නිවනට මුල්වෙන කියන අදහසින්, ඒ ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙන්න කියනවා.

 

ඊටපස්සේ ආචාර ධර්මයන්ගෙන් යුක්ත වෙන්න, අගෝචර ධර්ම අතහැරලා සිල්වතෙකුට ගෝචර ප‍්‍රදේශය විතරක් ඇසුරු කරන්න. ඊටපස්සේ ඒ සිල් ටික කැඞීම තබා කඩන්න හිතින්වත් හිතන්න එපා කියන තැනකින්, හිතන්නේ නැහැ කියන තැනකින් සංවර වෙන්න, හික්මෙන්න කියලා පෙන්වනවා.

 

  1. 2. භාග්‍යවතුන් වහන්සේට පෙනෙනවා පහු කලෙකදී මේ පුද්ගලයා සිල්වත් කෙනෙක් කියලා දැක්කහම, මෙයාව තව ටිකක් හික්මවනවා. ඔබ දැන් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙන්න, ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇහෙන් රූප නොබලන, කනෙන් ශබ්ද නොඅසන එක නෙවෙයි. ඇහෙන් රූප බලන්නට ඕනේ. කනෙන් ශබ්ද අසන්නට  ඕනේ. කොහොමද? ඇහෙන් යම් රූපයක් බලන කොට නූපන් ළාමක අකුසලය උපදියි නම්, උපන් අකුසල ධර්මයෝ වැඩෙයි නම් එබඳු විදියේ රූප නොබැලිය යුතුයි. ඇහැ සංවර කර ගත යුතුයි.

 

මේ වගේ ස්පර්ශ ආයතන හයම දැඩි ලෝභය, ද්වේෂය සහිත වූ ලාමක අකුසල ධර්මයෝ උපදියි නම්, ළාමක අකුසල ධර්මයෝ තමන් අනුව පවතියි නම්, මේ ලාමක අකුසලධර්මයෝ උපදින විදියට ඇහෙන් රූප බලලා නිමිති, අනුනිමිති වශයෙන් ගන්න එපා කියනවා. ඇහැ හොඳට සංවරකර ගන්න කියනවා. ඊට පස්සේ කනෙන් ශබ්ද අහලා නිමිති, අනුනිමිති ගන්න එපා, ලෝභ, ද්වේෂ ලාමක අකුසල ධර්මයෝ උපදින විට මේ වගේ ආයතන ටික සංවර කර ගැනීමක් අවශ්‍යයි. පින්වතුනි නිවන් දකින කෙනෙකුට.

 

දැන් මේ නිවන් දකිනවා කියනකොට ජීවිතයට යෙදෙන්න තියෙන වැඩ ටිකක් කියලා හොඳට මතක තියාගන්න  ඕනේ. මේ එක තැනක ඉඳගෙන භාවනා කරනවා කියන එක මේ විශාල වැඩපිළිවෙලක එක ප‍්‍රදේශයක්, එක කාරණාවක් විතරයි කියන එකත් පැහැදිලි කරගන්නට  ඕනේ.

 

මොකද, එදිනෙදා ජීවිතයේ මේ පින්වතුන්ට මේ කාරණා ටික නැතිනම් අපි බලාපොරොත්තු වෙන විමුක්තියට ළඟා වෙන්න අපිට ලේසි නැහැ. අපහසුයි. එතකොට භාවනාත් කරනවා, නමුත් ආශ‍්‍රව ධර්මයත් ගෙවෙන්නේ නැහැ, හරියට දුවනවා දුවනවා එක තැනක දුවනවා වගේ තේරෙයි මේ පින්වතුන්ට. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය කියන එක ඇතිකර ගන්න  ඕනේ. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, ඒ වගේම මනස කියන ස්පර්ශ ආයතන හයම අකුසල ධර්මයෝ උපදින විදියට නිමිති, අනුනිමිති ගන්න එපා.

 

  1. 3. ඉතින් මේ විදියට බුදුරජාණන් වහන්සේ අවවාද කරලා, අනුශාසනා කරලා හික්මවනවා. මේ විදියට හික්මුනාම මේ පුද්ගලයාව තථාගතයන් වහන්සේ දැක්කාම මත්තේත් එයාව තවදුරටත් හික්මවනවා. මහණ, දැන් ඔබ භෝජනයේ පමණ දැනගන්න කියලා. ආහාරපාන ගන්නකොට ඒකේ රස තෘෂ්ණාවේ ගිජු නොවී මේ ආහාරය ගන්නේ ඇඟ පැහැපත් කරගන්න, තර කරගන්න නෙවෙයි, ශක්තිය වර්ධනය කරගන්න, මද වැඞීම පිණිස නෙවෙයි, මේ කය ජීවිතය දෙක රැුකගන්න, මේ සසරින් එතෙර වෙන ධර්මය පුරාගන්න ජීවත්වීම පිණිසයි කියන කාරණාව බලලා ආහාරපාන ගන්න කියන කාරණාව කියනවා.

 

ඊටපස්සේ බුදුරජාණන් වහන්සේ පසු කාලයකදී මෙයා භෝජනයේ පමණ දන්නා වූ මට්ටමට පත්වුණු කෙනෙක් කියලා දැනගත්තහම එයාව මත්තේත් හික්මවනවා.

 

එතකොට හොඳට බලන්න, මේ නිවන් දකින මාර්ගය අනුක‍්‍රමයෙන් ගැඹුරු බවට පත්කරලා බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ. මුලින්ම තිබුණා ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊටපස්සේ ඉන්ද්‍රිය සංවර සීලය, ඊටපස්සේ භෝජනයේ පමණ දන්නාකම.

 

 

ඉතිරි ධර්ම විස්තරය

ලබන කලාපයේ බලාපොරොත්තු වන්න.

 

ලබුනෝරුකන්ද, අරණ්‍යසේනාසන වාසී,

පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *