Home » බුදු දහම » ධර්මය » මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන අසිරිමත් සම්බුදු සිරුර
122

මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන අසිරිමත් සම්බුදු සිරුර

තුන් ලොවක් සනසාලූ ඒ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ අසිරිමත් ම ශාස්තෘන් වහන්සේ වන්නේය. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් තුන් ලෝකයට දායාද වන්නේ කල්ප ගණනාවක් පුරා පිරූ පාරමි ධර්මයන්ගේ අනුහසිනි. මහා කරුණාවක් හද මඩලෙහි තැම්පත් වෙමින් ලෝක සත්වයා වෙනුවෙන් උන්වහන්සේ සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වැඩ සිටින විට සුවිශාල පිරිසක් උන්වහන්සේ වෙත ඇදී එන්නට විය. බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙන රජවරුන්, සිටුවරුන්, බමුණන්, ගෘහපතීන් ආදී කොට ගත් පිරිවර ජනයා බුදුරජාණන් වහන්සේගේ රූපශ්‍රීයට වශීකෘත විය. පෙළසාහිත්‍යයේ සඳහන් වක්කලි හිමියන් ඒ අතර වූ හිමි නමකි. මේ අයුරින් බුදුරාණන් වහන්සේගේ රූපකාය අන් සියලු ලෝකසත්වයින්ට වඩා සුවිශේෂී වූයේ කෙසේද යත් අප දැනගත යුතුය. එසේ වීමට බුදුරජාණන් වහන්සේ නමක් සාර අසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට පුරන්නාවූ කුසල ධර්මයන් පිළිබඳව දැනගැනීම තුළින් බුද්ධ රත්නය කෙරෙහි ඇති ශ්‍රද්ධාව දියුණු කරගැනීමට පුළුවනි.එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට ලෝකයේ ඉතා දුර්ලභව පහළ වන බුදුරජාණන් වහන්සේ සතු වන සුවිශේෂී මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකක් පිළිබඳව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ දී සඳහන් කොට තිබේ.

“කතමානි තානි භික්ඛවේ ද්වතතිංස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි යේහි සමන්තාගතස්ස මහාපුරිසස්ස දේවව ගතියො භවන්ති අනඤ්ඤා සචේ අගාරං අජ්ඣාවසති. රාජා හොති චක්කවත්ති. පෙ.සචේඛොපන අගාරස්මා අනගාරියං පබ්බජති අරහං හෝති සම්මාසමුබුද්ධො ලොකේ විචත්තච්ජදො”

life-of-the-buddha-29

මහා පුරුෂ ලක්ෂණ පිහිටන යම් පුද්ගලයකු ගිහිව සිටි නම් සක්විති රජ වන බව ද ගිහිගෙයින් නික්මී පැවිදි වන්නේ නම් සම්මා සම්බුද්ධත්වයට ද පත්වෙන බව ද මෙහි දී විස්තර කොට තිබේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ සතුව පිහිටන ලද මහා පුරුෂ ලක්ෂණ මෙසේය.

  1. සුප්පතිට්ටිත පාද ලක්ඛණං

පෙර භවයන්හි දී කුසල් දහම්හි නිතර හැසිරෙමින් සීලය ප්‍රගුණ කරමින් මව් පියන්ට බමුණන්ට ආදීන්ට කළයුතු සත්කාර කිරීම නිසා පාද සුපිහිටිව පිහිටා තිබෙයි. සම ලෙස පා තැබීමේ ගුණය හිමි වී තිබේ.

  1. පාදතලේසු චක්කලක්ඛණං

පෙර භවයන්හි පරාර්ථකාමීව වාසය කරමින් අන්‍ය පිරිස්ගේ බිය දුරුකර දැහැමි රැකවරණය සලසාලූ බැවින් හා බොහෝ පිරිස් කුසලයට නැඹුරු කරමින් දන් දුන් බැවින් සිරිපා පතුල අලංකාර රටාවන්ගෙන් යුක්ත වෙයි.

  1. ආයත පණ්හිතා

සියලු ප්‍රාණීන්ට මෛත්‍රීයෙන් ප්‍රාණගාතයෙන් වැළකී දඩු මුගුරු ආදියෙන් බැහැර වීම හේතු කොටගෙන දික් විලුඹකින් පරිපූර්ණ වෙයි.

  1. දීඝංගුලිකා

දඬු මුගුරු ආදිය තුළින් වෙන්වී සත්වයන්ට දයානුකම්පිතව වාසය කිරීම නිසා දිග් වූ ඇඟිලි පිහිටා තිබෙයි.

  1. බ්‍රහ්මජ්ජුත්තතා

හිංසාවෙන් තොරව සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කිරීම නිසා බ්‍රහ්මයාගේ බඳු සෘජු වූ ශරීරයකින් යුක්ත වෙයි.

  1. සත්තුස්සදතා ලක්ඛණං

පෙර භවයන්හි ප්‍රණිත ආහාර පාන දන් දීම නිසා දෙපිට අතුල්, දෙපතුල්, දෙඋරහිස් හා කර යන ස්ථාන පිරිපුන්ව පිහිටා තිබෙයි.

  1. මුදු තලුණහත්ථපාද ලක්ඛණං

සතර සංග්‍රහ වස්තූන්ගේ මහජනයාට සංග්‍රහ කිරීම හේතු කරගනිමින් අත් පා මෘදු වූ අයුරින් පිහිටා ඇත.

  1. ජාල හත්ථ පාද ලක්ඛණං

මහජනයා වෙත සතර සංග්‍රහ සිදුකරමින් කරන ලද කුසල කර්මය හේතුකොට දැලක් බඳුවන් වූ අත් පා පිහිටා තිබේ.

  1. උස්සංඛපාද ලක්ඛණං

දස කුසල ධර්මය වඩමින් මහජනයාට පිහිටවෙමින් ඉතා අර්ථවත් වූ වචන කතා කළ හෙයින් පාද වල ගොප් ඇටය උස්ව පිහිටා ඇත.

  1. උද්දග්ගලෝමතා

පෙර භවයන්හි අර්ථාන්විත වූ සොඳුරු බසින් යුතු වූ උඩුකුරුව පිහිටි අක් ඇති ලෝමයන්ගෙන් යුක්ත වී ඇත.

  1. එණිජංඝතා

පෙර භවයන්හි ශිල්ප විද්‍යාවන්ගෙන් ශීලයෙන් යුක්තව ලෝවැසියන්ටද ශිල්ප විද්‍යාවන් උගන්වා සුචරිතයට ගැනීම නිසා ඕලු මුවන්ගේ බඳු වන් කෙණ්ඩා පිහිටා තිබේ. කෙණ්ඩා සිහින්ව පිහිටා ඇත.

  1. සුඛුමච්ඡවි ලක්ඛණං

පෙර භවයන්හි මහණ බමුණන් සමිපයට ගොස් කුසලය, අකුසලය, යහපත, අයහපත කුමක්දැයි විමසීම කරණ කොටගෙන සිවියක් මෙන් වූ ඉතා සිනිඳු සමක් හිමි වී තිබේ.

  1. සුවණ්ණ වණ්ණතා ලක්ඛණං

පෙර භවයන්හි ක්‍රෝධයෙන් නොගැටී සිත ව්‍යාපාදයට නතු නොකරගනිමින් වාසය කළ හෙයින් ද මොළොක් වූ රෙදි පිළි වස්ත්‍ර දන් දුන් බැවින් ද ශරීරය රන්වන් පැහැයෙන් යුක්තය.

  1. කෝසෝහිතවත්ථ ගුයිහතා ලක්ඛණං

බොහෝ කාලයක් වෙන්වුණු, දක්නට නොලැබුණූ නෑදෑ මිතුරන් ආදී යම් යම් පිරිස් මුණගස්වා සමගි කොට ඒ තුළින් සතුටක් විඳීම නිසා නෙළුම් පෙති වලින් ඇතුළත කෙමිය වැසි ඇතිවාක් මෙන් කෝෂය තුළ පුරුෂ ලිංගය පිහිටා ඇත.

  1. නිග්‍රෝධ පරිමණ්ඩලතා

පුද්ගලයාගේ දක්ෂතා හඳුනා ගනිමින් සුදුස්සාට සුදුසු තැන ලබාදීමත් මහජනයා වෙත සංග්‍රහ කිරීමත් නිසා නුග ගසක් සේ උසට සරිලන මහතින් යුත් ශරීරයක් පිහිටා ඇත.

  1. ආජානුලම්භික හත්ථතා

මහජනයාට සංග්‍රහ කරමින් පුද්ගලයාගේ දක්ෂතා හඳුනාගනිමින් සුදුස්සාට සුදුසු තැන ලබාදීම නිසා සිටගෙන සිටියදී නොනැමී දණහිස් අතින් පිරිමැදිය හැකි වීතිබේ.

  1. සීහපුබ්බද්ධකායතා

අන්‍යයන්ගේ යහපත දියුණුව කැමති වෙමින් ජනතාව සිලයෙන් ධනයෙන් වැඩෙන්නේද විමසමින් ජනතාවගේ අභිවෘද්ධිය දැකීමට කැමති වීමත් උවදුරු රහිත බවට කැමති වීමත් නිසා එයට අවැසි අවවාද අනුශාසනා කිරීමත් නිසා මනාසේ පරිපූර්ණ වූ සිංහයකුගේ කයක් මෙන් ශරීරය පිහිටා තිබේ.

  1. චිතංක රසංකා

අන්‍යයන්ගේ අභිවෘද්ධියට උපදෙස් දෙමින් ඔවුන් සීලයෙන් ධන ධාන්‍යයෙන් සුපෝෂණය වීම දැක සතුටු වීම නිසා පිට මැද කිසිදු හැඩයක් නොපිහිටා මස් වලින් වැසී මනා සේ පිහිටා ඇත.

  1. සමවත්ථ ඛන්ධතා

ජනතාව සිලයෙන් ධනයෙන් පිරිපුන් වීම දැක සතුටු වීමත් ඔවුන්ට ඒ සඳහා අවැසි අවවාද අනුශාසනා සිදු කිරීමත් නිසා සමාන ප්‍රමාණයෙන් වට වූ කතා කරන විට නහර ආදිය නොපෙනෙන මනා වූ ගෙලක් පිහිටා ඇත.

  1. රසග්ගසග්ගිතා ලක්ඛණං

පෙර භවයන්හි සත්වයින්ට අවි ආයුධ දඬු මුගුරු ආදියෙන් හිංසා නොකළ නිසා රස නහර මනා ලෙස පිහිටා රස නහර උඩු අතට ගෙලම වැළඳගෙන පවතී.

  1. අභිනීල නෙත්තා

ක්‍රෝධ සහිතව ඇස් ඔරවා බැලීමෙන්, ඇස් කොණින් බැලීමෙන්, ආදියෙන් තොරව අන්‍යයන් දෙස ප්‍රියමනාපව සෘජු සිතින් බැලීම නිසා නිල් පැහැවන් නෙත් යුගලක් පිහිටා ඇත.

  1. ගෝපමකුතා

පෙර භවයන්හි දී ප්‍රිය ඇසින් අන්‍යයන් දෙස බැලීමත් ද්වේශයෙන් යුතුව තවකෙකු දෙස රවා බැලීමෙන්, ඔරවා බැලීමෙන් ආදියෙන් යුක්ත නොවීම නිසා ඇස් යටට ගිලී නොමැතිව මතුපිටට නෙරා නොමැතිව අලුත උපන් වස්සකුගේ නෙත් හා බඳුවන් නෙත් පිහිටා පවතී.

  1. උණ්භීස . සීස ලක්ඛණං

කායිකවාචසික මානසික සුචරිතයෙහි යෙදෙමින් දාන ශීල භාවනාදියෙහි යෙදෙමින් උපස්ථාන කළයුතු ආදීන්ට උපස්ථාන කරමින් සත්වයා නිවැරදි මාවතෙහි යැවීමට මඟ පෙන්වූ හෙයින් පිරුණූ නළලක් සහිතව පිරුණු හිසක් පිහිටා තිබෙයි.

  1. ඒකේකලෝමතා

පෙර භවයන්හි මුසාවාදයෙන් තොරව සත්‍ය තුළින් සත්‍ය ගළපා ජීවත්  වීම සියලු ජනයාට අර්ථාන්විත සත්‍යවාදී බවින් යුතු වීම නිසා එක් ලෝම කූපයක එක් ලෝමයක් පිහිටි බව මින් අදහස් වෙයි.

  1. උණ්ණා ලක්ඛණං

අසත්‍යයෙන් වැළකී සත්‍යවාදීම වූ හෙයින් නළලෙහි දෙබැම අතර දකුණට කරකැවුණු සුදු පැහැති පුළුන් රොදක් බඳුවන් ඌර්ණ රෝම ධාතුව පිහිටා ඇත.

  1. චත්තාළීස දන්තතා

පෙර ජාතීන්හි කේලාම් කීමෙන් වැළකී අන්‍ය පිරිස් බිඳවන්නා වූ වචනවලින් වැළකී අසමගි වූවන් සමගි කිරීම සඳහා වචන භාවිත කිරීම නිසා දන්තයන් හතළිහක් පිහිටා ඇත.

  1. අවිරල දන්ත ලක්ඛණං

බිදුණු සිත් ඇති පුද්ගලයන්ට සත්‍ය පහදා දෙමින් අසමගිය නැතිකොට සමගි කරවීම නිසාත් පුද්ගලයන් බිඳවන සුළු වූ වදන් වලින් වැළකීම හේතු කොට ගෙන විවර රහිත වූ දත් පෙළක් පිහිටන්නට විය.

  1. පහූත ජීව්හතා

පෙර භවයන්හි දී පරුෂ වචනින් වැළකී අන්‍ය පිරිසට සින්වදින ප්‍රිය වූ සතුට උපදවන බොහෝ දෙනාට හිතසුව පිණිස පවතින වචනයන්ගෙන් යුතු වීම නිසා මෘදු දිග හා පතුල් දිවක් ඇත.

  1. බ්‍රහ්මස්සරතාලක්ඛණං

අන්‍යයන් පීඩාවට පත්වන පරුෂ වූ වචනයන් පැවසීමෙන් දුරුව අන්‍යයන්ගේ සිත් සැනසෙන ප්‍රියවචනයෙන් යුතුවීම හේතුකොට බ්‍රහ්මයාට බදු ගැඹුරු වූ හඬක් පිහිටා තිබේ.

  1. සීහහනු ලක්ඛණං

තමාටත් අන්‍යන්ටත් ප්‍රයෝජනයක් නොමැති නිෂ්ඵල වූ හිස් වචන කීමෙන් වැළකී සත්‍යම පවසමින් සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන දහමට විනයට අයත් කරුණු සහිතව ප්‍රමාණවත් අර්ථානවිත දේ අවශ්‍ය තැන් හීදී පැවසීම හේතුවෙන් සිංහයකුගේ යටි හනුව මෙන් උඩ හා යටි හනු ද්විත්වය පිහිටා තිබේ.

  1. සමදන්ත ලක්ඛණං

පෙර භවයන්හි මිථ්‍යා ආජීවයන් වන අල්ලස්ගැනීම් හොර මිනුම් ආදී දේ වලින් ව්‍යාපාර ආදියේ දී අන්‍යයන් රැවටීමෙන් ආදියෙන් වැළකී නිවැරදි වූ දිවිපැවැත්මෙන් යුතු වූ බැවින් එකිනෙකට වෙනස් නොවූ සම දන්තයන් පිහිටා තිබේ.

  1. සුසුක්ක දාඨා ලක්ඛණං

පූර්ව භවයන්හි  දී අන්‍යයන් රවටමින් සිදු කරන මිථ්‍යා ආජීවයෙන් දුරුව, අන්‍යයන්ට සුභදායී රුවටීම් ආදියෙන් තොර සම්මා ආජීවයෙන් හෙවත් නිවැරදි ක්‍රියාවලින් යුක්ත වීම නිසා සුදුවන් පැහැති දන්තයන් පිහිටා තිබේ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *