Home » බුදු දහම » ධර්මය » විදු ඇසට හසු නොවූ විශ්වයේ සැගවුණු අභිරහස් ත්‍රිපිටකය ඇසුරින් (දෙවන කොටස)
Buddha-scientific-studies

විදු ඇසට හසු නොවූ විශ්වයේ සැගවුණු අභිරහස් ත්‍රිපිටකය ඇසුරින් (දෙවන කොටස)

මේ මාතෘකාව යටතේ පසුගිය ලිපියෙන් බොහෝ කොටම පැහැදිලි කළේ මනුස්සයින්ගේ ශරීරය වටා පිහිටපු ඕරා වළල්ල ගැන. මේ ඕරා වළල්ල ගැන මේ වෙනකොටත් පර්යේෂණ කරන අය බොහොම උනන්දුවෙන් කරුණු කාරණා සොයන නිසා ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීම තමයි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ.  පළමු ලිපිය මෙතනින් බලන්න

මනුස්සයින්ගේ චරිත ලක්‍ෂණ ගත්තොත් ප්‍රධාන වශයෙන් වර්ග 06 ක් දක්වන්න පුළුවන්. ඒ තමයි ලෝභ, දෝස, මෝහ, අලෝභ, අදෝස, අමෝහ ගතිවලට අනුකූල චරිත. එතකොට මනස මේ හැම එකකටම පූර්වංගම වෙන නිසා, මේ චරිත ලක්‍ෂණ පිහිටන්නෙ මනසෙ නිසා, මේ කියන ඕරා වළල්ලට හෙවත් රැස් මඩලටත් ඒ කාරණය ඍජුවම සම්බන්ධයි. ඒ අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ඕරා වළල්ලත් වෙනස් වෙනවා.

ස්වභාවික වර්ණ ගත්තම මූලික වර්ණ විදියට තියෙන්නෙ නිල්, කහ, රතු. ඉතිරි සියළු වර්ණ හැදිල තියෙන්නෙ මේ 03 මූලික කරගෙන. මේ වර්ණ 03 ම එකට එකතු වුනොත් කළු පාට හැදෙනවා. දැන් මේ කියන මූලික වර්ණ 03 මුල් කරගෙන අනෙක් සියළු වර්ණ හැදිල තියෙනවයි කියන කාරණය ඔප්පු කරන්න පුළුවන් දෙයක්. උදාහරණ විදියට වායු ලිපක (ගෑස් ලිපක) නිල්, කහ, රතු එළිය පැහැදිලිවම අවස්ථා 03 කින් ගිනි දැල්ලෙන් පෙන්නුම් කරනවා. මේ ආලෝකයේ දහන ශක්තියක් තියෙනවා. මනුස්සයෙක් සූර්යාලෝකයේ හිටියොත් රත් වෙනවා. පුළුන් කෑල්ලකට උත්තල කාචයක් ඇල්ලුවොත් පිච්චෙනවා. එතකොට මනුස්සයෙක්ගෙ ඕරා වළල්ලෙන් පිට කරන නිල්, කහ, රතු වර්ණයි මේ කියන ආලෝකයයි සමානයි. එහෙම නම් අපේ ශරීරයෙන් පිට කරන කිරණවලටත් දහන ශක්තියක් තියෙන්න ඕන. මනුස්සයා හැමතිස්සෙම ඉන්නෙ ලෝකයෙන් ආස්වාද විඳින්න ගිහින් ඇලි ඇලී ගැටි ගැටී. එතකොට ඕරා වළල්ලෙන් කිරණ පිට කරමින් රාග, ද්වේස, මෝහ වඩ වඩා හිත ඇතුළතින් පිච්චි පිච්චි බාහිර ලෝකයත් පුච්චනවා. ඒක තමයි අවිද්‍යා පච්චයා සංඛාරා කියන එකෙන් කරන්නෙ. එතකොට මේ ඕරා වළල්ලෙන් පිට කරන ෆෝටෝන් අංශුවලට (කර්ම ශක්තියට) වර්ණයන් තියෙනවා. ශක්තියක් නිසා ඒවා කිලෝ ජූල්වලින් මනින්න පුළුවන්.

learn-to-see-auras1

එතකොට චරිත ස්වභාවය අනුව ගත්තොත් සුදු කිරණ පිට කරන්නෙ අලෝභ, අදෝස, අමෝහ චරිතයකින්. ඒ බව ඕරා කෑම් යන්ත්‍රයෙන් පරීක්‍ෂණ කරල ඔප්පු කරල තියෙනවා. හැබැයි වීතරාගී, වීතදෝසී, වීතමෝහී ගුණ වඩපු ඉහළ මග ඵලලාභීන් කියන්නෙ අලෝභ, අදෝස, අමෝහ ඉක්මවා ගිය අය. ඒ නිසා ඒ අයගෙ ඕරා වළල්ල ඊටත් වඩා එළියයි. දැන් එතකොට ලෝකයේ ඉන්න විවිධ චරිත ස්වභාව තියෙන පුද්ගලයන්ගෙ ඕරා වළල්ල ඕරා කෑම් යන්ත්‍රයෙන් අල්ලගෙන පරීක්‍ෂා කරල ඒ අයගෙ චරිත ස්වභාවය අනුව තියෙන වර්ණ මොනවද කියල හොයල, ඒ අනුව මේ මේ චරිත ලක්‍ෂණවලට මේ මේ වර්ණ තියෙනව කියල නියමයක් සම්මත කරගෙන තියෙනවා. ඒ විදියට කරපු පරීක්‍ෂණයක් දැනට ලෝකයේ තියෙනවා. ඒ අනුව ඕරා වළල්ලේ සුදු පාට තියෙන අය අරගෙන ඒ චරිත ලක්‍ෂණ අධ්‍යයනය කරනවා. රතු පාට තියෙන අය අරගෙන ඒ අයගෙ චරිත ලක්‍ෂණ අධ්‍යයනය කරනවා. මේ අනුව හැම වර්ණයකටම එන චරිත ස්වභාවය අධ්‍යයනය කරනවා. ඒ අනුව භාවනානුයෝගී චරිතයක් ගත්තොත් එන්නෙ සුදු ඕරා වළල්ලක්. අධික කර්ම විපාක අනුව දුක් කරදර පීඩා විඳින කෙනෙක්ගෙ ඕරා වළල්ල හුඟක් කළු වර්ණයට සමානයි. එහෙම කෙනෙක්ගෙ පරීක්‍ෂා කළොත් ඕරා වළල්ල කළු පාට බව දැනගන්න පුළුවන්. ඒ වගේම වාසනාවන්ත සශ්‍රීක කෙනෙක් ගත්තොත් ඒ පින් ඵලයට අනුකූලව එන ඕරා වළල්ල සුදු පාටට හුරුයි. ඒ වගේම ලෞකික භාවනා වඩන කෙනෙක්ගෙ සුදු ඕරා වළල්ලක් දැක ගන්න පුළුවන්. කුඩා ළදරුවෙක් ගත්තොත් සුදු ඕරා වළල්ලක් තමයි තියෙන්නෙ. මොකද රාග, ද්වේස, මෝහ තොර කරල නැති වුනත් ඒ මොහොත වෙනකොට ආස්‍රව නැගිල නැති නිසා එතකල් රාග, ද්වේස, මෝහයන්ගෙන් පිච්චීමේ ක්‍රියාවලිය ඉතා අඩුයි.

meditation_chakra_800x600_hd-wallpaper-795679

මේ කාරණය වර්තමානයෙත් දකින්න පුළුවන් උදාහරණයකින් පහදන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රධාන මැතිවරණ කාලයට ජයග්‍රහණය ලබන්න ඉන්න අපේක්‍ෂකයගෙ මුහුණ පැහැපත් වෙලා, ප්‍රසන්න වෙලා බබලනවා. මොකද අලෝභ, අදෝස, අමෝහවලින් කරපු පෙර පුණ්‍ය ශක්තිය ඇදිල ඒම නිසා ඕරා වළල්ලත් සුදු පාටයි. මුහුණ, අභ්‍යන්තරය පෙන්වන කැඩපතක් බඳුයි කියනව වගෙයි ඒ තියෙන සුද්ධතාවය බාහිර රූපයෙනුත් පිටතට විද්‍යමාන වෙනවා. ඒ වගේම බලයේ ඉඳල පරදින අපේක්‍ෂකයගෙ මුහුණේ අර කලින් තිබිච්ච කලඑළි ගතිය නැතිවෙලා අඳුරු ස්වභාවයක් පෙන්නුම් කරනවා. මොකද මේ භවයෙ ලැබිච්ච පුණ්‍ය ශක්තිය අයහපතට යොදවල රාග, ද්වේස, මෝහවලින් කිළිටි කර ගැනීම නිසා නැවතත් ජයග්‍රහණය නොලැබන තැනට වැඩ කටයුතු සකස් කර ගත්තම ඕරා වළල්ලත් කළු පාටයි. එතකොට ඇදෙන්නෙත් ඒ ජාතියේ රාග, ද්වේස, මෝහ සිතිවිලිමයි. එතකොට කලින් තිබිච්ච සුදු විපාක ගෙවී ගොස් කළු විපාකයන් මතු වෙනවා. ඒක ශරීරයෙනුත් පිටවෙලා විද්‍යාමන වෙනවා.

ඊළඟට ලෞකික ජයග්‍රහණය මූලික කරගෙන සටන් කරන්න, අරගල කරන්න යන කෙනෙකුට තියෙන්නෙ මූලික වශයෙන්ම රතු පාට ඕරා වළල්ලක්. මේ කාරණය ඔප්පු වෙන තැනක් තමයි අද ලෝකයේ සටන්කාමී උද්ඝෝෂණවල නියැලෙන පක්‍ෂවල පාට විදියට යොදාගෙන තියෙන්නෙ රතු පාට. ඒ වර්ණවලින් සංකේතවත් වන පක්‍ෂත් සාමකාමී නෑ. බොහොම ආවේගකාරී අදහස් තමයි ඒවාට නායකත්වය දෙන උදවියගෙන් පිටවෙන්නෙ. එතකොට සමහර අවුරුදු 16 – 18 දි නායකත්වය දරණ තරුණ ළමයින්ගෙ ඕරා වළල්ල පරීක්‍ෂා කරල බලන්න පුළුවන් නම් ඒ කාලය වෙද්දි රතු පාටයි. ඒ වගේම නාහෙට අහන්නෙ නැති, හැම තිස්සෙම ක්‍රීඩා තරඟවල යෙදෙන, අරගල කරන අය කියන්නෙ තමන්ට යම් කිසි පාලනයක්, නායකත්වයක් බලාපොරොත්තු වෙන අය. ඒ වගේ අයගෙ දැඩි රතු ඕරා වළල්ලක් තමයි තියෙන්නෙ. ඒ වර්ණය හැදෙන්නෙ ඒ වයස් / කාල සීමාවන්වලදි.

487601015

දැන් ඒ කියන ද්වේසයට අදාළ ඕරා වළල්ලේ පාට රතු කියල දැනගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමයකුත් තියෙනවා. හම සුදු පාට පැහැපත් කෙනෙකුට තරහ ගියොත් මුහුණ රතු වෙනවා. ඒක හැමෝටම අත්දකින්න තියෙන දෙයක්. රතු කට්ට පන්නගන්න එපා කියල කතාවට කියන්නෙත් මේ හේතුව නිසා. එතකොට අද සමාජයේ කෙනෙකුට තරහ ගියාම මළපනිනව කියලත් කතාවට කියනවා. මොකක්ද මේ මළ කියන්නෙ ? සංයුක්ත නිකායේ එන මළ සූත්‍රයේ විස්තර කරනවා රාගමළ, ද්වේසමළ, මෝහමළ කියල. එහෙනම් රාග,  ද්වේස, මෝහයන්ගෙන් රත් වෙලා ඉන්නකොට මළ පනිනව කියන්නෙ ඔය හේතුව නිසා. එහෙනම් එකින් එකට ද්වේසය වඩාගෙන තමන්ගෙ ඉල්ලීම් දිනාගන්න අරගල කරන කෙනෙක් මරණින් මතු කොහේ යයිද ?

vlcsnap-2013-10-27-15h44m54s174

එතකොට ද්වේස චරිතයට හැදෙන ලෙඩ රෝග තියෙනවා. අපේ හෙළ වෙදකමට අනුවත් වා පිත් සෙම් කුපිත වීමෙන් ශරීරය ලෙඩ කරනවා. ලේ වල සංයුතිය අඩුවීම තමයි ලෙඩ කියන්නෙ. ද්වේසයෙන් පිච්චි පිච්චි ඉන්න කෙනෙක් නිතරම රත් වෙලා ඉන්නෙ. පරීක්‍ෂා කරල බැලුවොත් ඒ අයගෙ පිත තමයි වැඩිපුරම කුපිත වෙන්නෙ. අම්ල පිත්ත ප්‍රදාහය කියන්නෙ ඒ වගේ ප්‍රතිඵලයක්. ඒ වගේ කෙනෙකුට පොඩි තට්ටුවක් දැම්මත් කේන්ති යනවා. ඒ නිසා ද්වේස චරිතයක් තියෙන කෙනෙකුට පිත් රෝග හැදීම වැඩියි.

ඊළඟට ලෞකික ආස්වාදය නිසා සුවය විඳින්න ලෝකයේ තියෙන නොයෙක් දේවල්, මිනිස්සුත් එක්ක එකතු වෙලා සංවිධාන කටයුතු කරන අයගෙ ඕරා වළල්ල කහ පාටයි කියල හඳුනගෙන තියෙනවා. ඒ කියන්නෙ ලෝකය ගැන ඇලීමෙන් කටයුතු කරන අය, වෙනත් විදියකින් කියනව නම් ලෝභ චරිතයක්. ලෝකය සමග අධික තණ්හාවෙන් බැදුණු කෙනා ලෝබ කෙනෙක්. ඒ කියන්නෙ නිවන් දකින කටයුතු නෙවෙයි, ලෝකයේ හොඳින් කාල බීල පස්කම් සැප විඳීම හොඳයි කියල, ඒ සඳහා සුව පහසු පරිසරයක් නිර්මාණය කරල දෙන්න උත්සාහ කරන අය. ඒක ලෝකෝත්තර දහමට අනුව ලෝභ චෛතසිකයක්. වෙනත් විදියකින් කියනව නම් රාග චරිතයක්. රාගයට අදාළ ලෙඩ රෝගය තමයි නිතරම සෙම් කුපිත වීම. සෙම පෙරන්න එපා කියල කතාවට කියන්නෙත් රාගාධික බව වැඩි වීම නිසා. සෙම වේලුනාම කහ පාටයි. රාගාධිකයෙකුගෙ ඕරා වළල්ලෙ පාටත් එක්ක ඒ කතාවත් ගැළපෙනවා.

greedy1

ඊළඟට ලෝකයේ සර්ව සාධාරණත්වය බලාගෙන නීතියට අනුව වැඩ කරන, ඒ සඳහාම සටන් කරන අයගෙ ඕරා වළල්ල පරීක්‍ෂා කරල නිල් පාටයි කියල තහවුරු කරල තියෙනවා. දැන් මේ කියන සර්ව සාධාරණත්වයක් මේ ලෝකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ? එහෙම ලෝකයක් මීට පෙර තිබිල තියෙනවද ? දැන් දකින්න තියෙනවද ? අනිච්ච දුක්ඛ අනත්ත ලෝකයක සර්ව සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්නෙ කවුද ? බුද්ධ දේශනාව අනුව නම්, ඒ මෝඩයෙක්මයි.

මේ ලෝකයේ ස්වාභාවය අසාරයි. ඒ නිසයි මේ ලෝකයෙන් මිදෙන්න කිව්වෙ. ඒක තේරුම් ගන්නෙ නැතිව ලෝකය තුළම සර්ව සාධාරණත්වයක් පතාගෙන කටයුතු කරනව නම් ඒක අවිද්‍යාවෙන් / මෝහයෙන් කරන නිගමනයක්. ඒ වගේ කෙනෙක් මරණින් මතු කොහේ යයිද ? සතර අපායෙ තමයි උප්පත්තිය. එතකොට මෝහ චරිතයාගෙ වාතය තමයි කුපිත වෙන්නෙ. ඒ නිසා ඒ අයට වාත රෝග බහුලයි. රාග, ද්වේසවලින් සංඛාර ගොඩ නැගෙන්නෙ මෝහය මූලික වෙලා. මෝහය කාසියක් කියල ගත්තොත් ඒකෙ එක පැත්තක් රාග, අනෙක් පැත්ත ද්වේස. රාගය ඉච්ඡයි සුඛයි කියල ඇලුනොත්, ඒ රාගයට කැමැත්තෙන් බැඳුනොත්, කැමැත්ත ඉෂ්ඨ කරයි කියල හිතුවොත්, ඒ කැමැත්ත කවදාවත් පූර්ණ වෙන්නෙ නැතිවෙනකොට රාගය ද්වේසය බවට පත්වෙනවා. දැන් ඇලීම, ගැටීමක් බවට පත්වෙනවා. ඉතින් කාසියේ දෙපැත්ත මාරු වෙනවා. මොකද අර මෝහය නිසා. කාසියක ස්වභාවය තමයි උඩ දැම්මොත් හැමතිස්සෙම දෙපැත්ත මාරු වීම. මේ ලෝකයේ සර්ව සාධාරණත්වයක් බලාපොරොත්තුවෙන් තමන්ට ඕන විදියට පවත්වාගෙන යන්න උත්සාහ කරනකොට රාගයයි ද්වේසයයි හෙවත් ඇලීමයි ගැටීමයි දෙක තමයි හට ගන්නෙ. ඒකට මුල් වෙන්නෙ මෝහය. මෝහ චරිතයාට බහුල ලෙඩ රෝග ගත්තොත් වාතය කුපිත වීමෙන් හට ගන්නා කොන්දෙ අමාරුව, බෙල්ලෙ අමාරුව, අත පය හිරවීම් බහුලයි. මෝහය වඩන්න වඩන්න මුළු ඇඟ පුරාම වායුව දුවනවා. මෝහය අධික කෙනා අසහනයෙන් බලාපොරොත්තු සහගතව තද කරගෙන, කොහොම හරි ජයග්‍රහණය කරනව කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් ජයග්‍රහණයක් ලැබෙයිද ? එහෙම ලැබිල සතුටින් ජීවත් වෙලා, සතුටින් මැරිච්ච කෙනෙක් ඉන්නවද ?

Rear view of a young man holding his back in pain, isolated on white background, monochrome photo with red as a symbol for the hardening

එතකොට මේ කියන රැස් මඩලෙ හෙවත් ඕරා වළල්ලේ නිල්, රතු, කහ කියන වර්ණ 03 ට අමතරව ඒ 03 එකතු වෙලා හැදුන තවත් වර්ණ තියෙනවා. මේ විදියට පිහිටන ඕරා වළල්ල මනුස්සයින්ට විතරක් නෙවෙයි සතුන්ටත්, ගස් ගල්වලටත්, විවිධ භෞතික ද්‍රව්‍ය වස්තු හැම එකටමත් තියෙනවා. හැබැයි ගස්වැල්වලින් පිට කරන්නෙ මනුස්සයින්ගෙ වගේ රාග, ද්වේස, මෝහවලින් යුක්ත වර්ණ නෙවෙයි. මොකද ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඉඳන් මනුස්සයා පල්ලම් බහිනකොට දස අකුසල් නිසා පිටවෙච්ච සුද්ධ ශක්තිවල ඵල විදියට තමයි මේ ගස්වැල් හටගන්නෙ. ඒ නිසා ගස්වැල්වල තියෙන්නෙ සුද්ධ / සුදු කිරණ ශක්තිය. විශේෂයෙන් ජය ශ්‍රී මහා බෝධිය ගත්තොත් සුද්ධ ශක්තියමයි තියෙන්නෙ. එතකොට අපේ ආදි පැරැන්නන් ගස්වැල්වලට වන්දනාමාන කළෙත් මේ වගේ හේතුවක් උඩ. මොකද අර කාරණය තේරෙන්නෙ නැති නිසා. ඒ නිසා ගස්වැල්වලට වඳින්නෙ මිත්‍යාදෘෂ්ටිකයො කියල කියන්න පටන් ගත්තා. නමුත් ඒවායේ ඇත්තටම තියෙන්නෙ සුද්ධ ශක්තිය. ඒ සුද්ධ ශක්තිය නැවතත් තමන්ට ඇදල ගන්න නම්, තමනුත් යම් කිසි දෙයක් ගොඩනගන්න ඕන. ඒක තමයි සමනන්තරය කියන්නෙ. එතකොට අනන්තර – සමනන්තර ප්‍රත්‍යය අනුව ඒ ශක්තිය ඇදල එනවා. ඒ කියන්නෙ හිත පිරිසිදුව වන්දනාමාන පූජා සත්කාර කරනකොට ඒවායේ තියෙන සුද්ධ කිරණ ශක්තිය ගති ආකර්ශන නියමය අනුව ක්‍රියාත්මක වෙලා තමන්ගෙ සුද්ධ මනසට වදිනවා. ඒ වැදීම නිසා කායික වශයෙන් ඕරා වළල්ල පිරිසිදු වෙලා කයට ඇතිවන ලෙඩ රෝග සමනය වෙන්නත් හේතු වෙනවා. අද හේතුව හරියට නොදැන හිටියත්, බෝධි පූජාවක් තිව්වම රෝගියෙකුගේ ලෙඩ රෝග සමනය වෙනව කියන්නෙත් ඒ හේතුව නිසා.

3

එහෙනම් මේ ඕරා වළල්ල පරීක්‍ෂා කරල තමන්ට, තමන් ඉන්න චරිත ස්වභාවය මොකක්ද කියල හඳුනගෙන, ඊට අනුව තමන්ගෙ චරිතය සුද්ධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකෙන් රාග, ද්වේස, මෝහ කියන වා පිත් සෙම් කිපීමෙන් හට ගන්නා ලෙඩ රෝග දුරු වෙනව වගේම නිවන් දකින්නත් මග පෑදෙනවා. ඒ අනුව මේ ජීවත් වෙන දවසක් ගත්තොත් ඒ දවස පුරා තමන් කටයුතු කරන්නෙ මොනවද, ඒවා ලෝභ, දෝස, මෝහ සහිතද කියල තමන්ම සෝදිසියෙන් ඉඳල ඉවත් කරගන්න පුළුවන්. තථාගත දහම සංසාර රෝගයෙන් මිදෙන්න වගේම ශරීරයේ වා පිත් සෙම් කුපිත වෙලා ඇතිවෙන ලෙඩ රෝගවලටත් හොඳ ප්‍රතිකර්මයක්. ඒ කියන්නෙ කර්මයට ප්‍රතිකර්මයක්. ඒ ප්‍රතිකර්මය තමයි චතුරාර්ය සත්‍යය. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කියල මේ කියන රාග, ද්වේස, මෝහ 03 ක්‍ෂය කරන්න තමයි ඒ ප්‍රතිකර්මය දුන්නෙ. එතකොට රාග, ද්වේස, මෝහ කියන්නෙ අපි ළඟ නිරන්තරයෙන්ම පවතින එකක් නෙවෙයි. බාහිර තියෙන වස්තු එක්ක ඡන්ද රාගයෙන් බැඳිල හදා ගන්නකොට තමයි රාග, ද්වේස, මෝහ එන්නෙ. තමන් ළඟ කලින් නොතිබිච්ච දෙයක් අළුතින් හදාගෙන සසර ගමනත් යන ගමන් ලෙඩත් හදා ගන්නවා.

Add a Comment

Your email address will not be published. Required fields are marked *