Home » බුදු දහම » කිසිකලෙක කුස පිරීමට ආහාර නොලත් ලෝසකතිස්ස මහරහතන් වහන්සේ
Monk_and_bowl

කිසිකලෙක කුස පිරීමට ආහාර නොලත් ලෝසකතිස්ස මහරහතන් වහන්සේ

ලෝසකතිස්ස හිමියන් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුසසුනෙහි වැඩසිටි මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේගේ විශේෂත්වය වන්නේ  කිසිම දිනක කුස පිරීමට තරම් පිණ්ඩපාතයක් නොලැබීමයි. ලෝසකතිස්ස හිමියන් මව්කුස පිළිසිඳ ගත් දා පටන් උන් වහන්සේගේ මව ජීවත් වූ ගම් වැසියන්ට විවිධ දුක් කරදරයන්ට මෙන්ම විශේෂයෙන් ආහාරපාන අහේනියන්ට මුහුණ පාන්නට සිදුවිය. නිවස මෙන්ම ගමද දුකින් දුකට පත් විය. සත් වසක් එම ගමෙහි භෝගයන් ගින්නෙන් විනාශවන ලදි. සත් වසක් රජු විසින් දඩ ගසන ලදි. මේ පිළිබඳ විමසිලිමත් වූ පවුල් දහසකින් සමන්විත වූ ගම් වැසියන් පවුල් පන්සියය බැගින් දෙකට බෙදීය. ඉන් පසු එක් කොටසක් භාග්‍යවන්තව නැවතත් කිසිදු අහේනියකින් තොර විය. එහෙත් අනෙක් පන්සියය එසේම අභාග්‍ය සම්පන්න විය. ඒ ලෝසකතිස්ස හිමියන් ගේ මව අයත් වූ කොටසයි. මෙසේ නැවතත් එම පවුල් පන් සියය දෙසිය පනහ බැගින් ආදි වශයෙන් කොටස් කරමින් අභාග්‍ය සම්පන්න පුද්ගලයා සොයා ගත්තේය. ඒ වෙන කවුරුත් නොව ලෝසක හිමියන්ගේ මව විය. ගම් වැසියන් මෙවැනි අහේනියකට හා රාජ උදහසට ලක්වීමට හේතු වූයේ ලෝසකතිස්ස හිමියන් මව්කුස පිළිසිඳ ගත් දා පටන් බව දැන මව හා පුතු ගමින් පන්නා දමන ලදි.
මේ අභාග්‍ය සම්පන්න පුතත් සමඟ මහ පාරට වැටුණ මවට ද ආහාරපාන වලට වඩා හිමි වූයේ අන්‍යන්ගේ ඇනුම් බැනුම්වලට හා තාඩන පීඩනයන්ට ලක් වීමටය. මෙසේ දුකින් දුකට පත් වූ මව අවුරුදු හතක් පමණ වන තෙක් තම අවාසනාවන්ත පුතු ඉතා දුකසේ රැකබලා අවසානයේ ඔහුගේ අතට කබලක් දී සිඟා කා ජීවත් වීමට කියා දී වෙන් කරන ලදි. මෙසේ ගෙයින් ගෙට සිඟමනේ යන දරුවාට කුස පිරීමට තබා තොලකට ගෑමට ද අහරක් ලැබුණේ ඉතාම කලාතුරකිනි.
මෙසේ විදී ඔස්සේ සිඟමනේ යන දරුවා දිනක් ධර්ම සේනාධිපති සැරියුත් හිමියන් විසින් දැක ඔහු කෙරෙහි අනුකම්පාවෙන් රැගෙන ගොස් මහණ උපසම්පදාව දෙන ලදි. මහණ වීමෙන් අනතුරුව ද පිණ්ඩපාතේ වැඩිය ද කිසි දිනක උන්වහන්සේගේ පාත්‍රයට සෑහෙන තරම් ආහාරයක් නොලැබිණි. උන් වහන්සේගේ පාත්‍රයට ආහාර බෙදීමට එන සියලු දෙනාට පාත්‍රය පෙනෙනුයේ පිරී ඇති ලෙසය. එම නිසා එම ආහාරය වෙනත් හිමි නමකගේ පාත්‍රයකට බෙදයි. ඉදින් කිසි දිනක ලෝසක හිමියන්ගේ පාත්‍රයට ප්‍රමාණවත් ආහාර නොලැබෙයි. එහෙත් මෙම අපහසුතාවයන් මායිමකට නොගත් ලෝසකතිස්ස හිමියන් බවුන් වඩා මේ ඝෝර සසර කෙළවර කර ගැනීමට හෙවත් රහත් වන්නට තරම් භාග්‍යවන්ත වූහ.

්ාා

නිසි ආහාර නොලැබීම නිසාම විවිධ රෝගාබාධයන්ට ලක් වූ ලෝසකතිස්ස මහරහත්න වහන්සේ පිරිනිවන්පාන සමය ලන්විය. මේ බව දැනගත් සැරියුත් මහරහතන් වහන්සේ ලෝසකතිස්ස මහරහතන් වහන්සේ පිළිබද අනුකම්පාවෙන් විශේෂ චතුමධුරක් සූදානම් කොට තමන් වහන්සේගේ අතේ තිබිය දී වළදන ලෙස දැනුම් දුන්හ. එසේ තමන් වහන්සේගේ අතේ තිබිය දී වැළඳවීමට සැලැස් වූයේ ඉදින් ලෝසකතිස්ස හිමියන්ගේ අතට දුන්නේ නම් එය වැළදීමට පෙර විනාශවන නිසාය. ලෝසකතිස්ස මහරහතන් වහන්සේ ජීවිත කාලය පුරාවටම කුස පිරිමට ආහාරයක් වැළදූයේ එදිනය. එය උන්වහන්සේගේ ජීවිතයේ අවසන් අහාරය ද විය.
ලෝසකතිස්ස මහරහත් වහන්සේ රහත්වීමට තරම් භාග්‍යවන්ත වුවද කුස පිරීමට තරම් ආහාර නොලැබී මෙවන් අභාග්‍ය සම්පන්න තත්වයකට මුහුණු දීමට සිදුවීම පිළිබඳව එදින දම්සභා මණ්ඩපයේ කතාබහට ලක්විය. මෙය දිවකනෙන් දැනගත් බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කොට ලෝසක තිස්සමහරහතන් වහන්සේගේ මෙම අල්පලාභි බවට හෙත් අභාග්‍යයට හේතු දක්වමින් අතීත කතාව මෙසේ ගෙනහැර දැක්වූහ.

z_pic350

පෙර එක් අත් බවක භික්ෂූන් වහන්සේ නමක්ව සිටි ලෝසකතිස්ස හිමියන්ට උපස්ථාන කරන කුළුපග දායකයෙක් විය. දිනක් රහතන් වහන්සේ නමක් මේ ප්‍රදේශයට වැඩම කළ අතර එම දායකයා උන්වහන්සේ කෙරෙහි පැහැදී දානය පූජාකොට අර භික්ෂූන් වහන්සේ සිටි අරමට වැඩම කොට එහි වාසය කරන ලෙස දැන්වීය. රහතන් වහන්සේ ද එසේ කළේය. එම දායකයා සවස් කාලයේ විහාරයට ගොස් භික්ෂූන් වහන්සේලා දෙනම සමඟම පිළිසදර කතාකොට පසු දින දෙනමටම තමාගේ නිවසෙහි දහවල් දානයට වඩිනලෙස ආරාධනා කොට තම නිවෙස බලා ගියේය. තමාට ලැබෙන ප්‍රත්‍ය අඩුවේ යැයි සිතු එම ආරාමයේ දිගටම වැඩසිටි භික්ෂුව, රහතන් වහන්සේ කෙරෙහි ද්වේෂයක් ඇතිකර ගත්තේය.
පසු දින දානය වේලාව පැමිණි කල්හි එම භික්ෂුව දානයට සංඥා කරන ගෙඩියට හා රහතන් වහන්සේ වැඩසිටි කුටියෙහි දොරට නියපිටින් තට්ටුකොට දානයට වැඩියේය. තනිවම වැඩි සුපුරුදු භික්ෂූන් වහන්සේ දුටු දායකයා “පෙර දින වැඩිය භික්ෂුන් වහන්සේ දානයට නො වැඩියේ මන්දැයි” ඇසූ කළ එම භික්ෂූන් වහන්සේ කෙරෙහි දායකයා කලකිරවන අදහසින් භික්ෂුවගේ පිළිතුර වූයේ “තමා දානයට සංඥාකරන ගෙඩිය ගසා ටික වේලාවක් බලා සිටිය ද එම භික්ෂුව නොවැඩි නිසා දොරට ගසා බලා සිටියත් නොවැඩියේ පෙර දින එම දායකයාගේ නිවසෙහි ප්‍රණීත දානය වළදා දිරවා ගැනීමට නොහැකිව තවම නිදි” බැවින් බව පැවසීය.
දායකයා ද තම නිවසට වැඩි භික්ෂුවට මනාව සංග්‍රහ කොට ආගන්තුක භික්ෂූන් වහන්සේටද දානය කොටසක් ගෙන ගොස් දෙන ලෙස පාත්‍රය පුරවා කිරි මිශ්‍ර ප්‍රණීත ආහාරයක් දුන්නේය. එය පිළිගත් භිකෂූන් වහන්සේ ද අතරමගට පැමිණ මෙසේ සිතීය. ඉදින් මෙම භෝජනය වෙනත් අයෙකු ලබාදුන්නොත් එසේ නැතිනම් කපුටන්ට හෝ දුනහොත් එය දායකා දැන තමා කෙරෙහි කලකිරේ යැයි සිතා අතර මගද දියෙහි ද නොදමා එක් ගිනි ගොඩක් දැක අඟුරු ඈත් මෑත් කොට කිසිවෙකුට සොයාගත නොහැකි පරිදි රහතන් වහන්සේ වෙනුවෙන් වූ එම ආහාරය එහි දමා ගියේය. මෙම භික්ෂූවගේ ද්වේෂසහගත ස්වභාවය හා අකටයුත්ත දැනගත් රහතන් වහන්සේ ද වෙනත් ගොදුරු ගමක් බලා වැඩියහ.
මෙසේ එම භික්ෂුව රහතන් වහන්සේ කෙරෙහි දායකයා කලකිරවීමේ අදහසින් ද්වේෂයෙන් කටයුතු කිරීමේ හා රහතන් වහන්සේට පිළිගැන්වීමට ලබාදුන් භෝජනය අඟුරු වළෙහි දැමීමේ විපාක වශයෙන් ආත්ම ගණනාවක් නොයෙක් ජාතිවල ඉපිද ආහාර නොළඹමින් කටුක දුක්විද අවසන් ආත්ම භවයෙහි ද නොයෙක් දුක් ගැහටයන්ට මුහුණ දෙමින් රහතන් වහන්සේ නමක් වුවද අකුසල කර්මයෙහි විපාක වශයෙන් මෙසේ අභාග්‍ය සම්පන්නව නිසි අහර නොලබා  දුක්විද ඇත.

Add a Comment

Your email address will not be published. Required fields are marked *