Home » විවිධ » පරිසරය » මේ උෂ්ණ අධික වසරක් ද? 2016 වසරේ කාලගුණ අනාවැකිය
bigstock-thermometer-28738382-960x425-960x425

මේ උෂ්ණ අධික වසරක් ද? 2016 වසරේ කාලගුණ අනාවැකිය

මෙම වසර ලෝකය තුළ කාලගුණ විපර්යාස රැසකට ලක්විය හැකි වසරක් බවට විදඥායින් මෙන්ම දෛවඥයින් අවස්ථා කිහිපයකදී මත පලකර තිබුණි.
මේ අතර ඇමෙරිකානු කාලගුණ විද්‍යා ආයතනය හා නාසා ආයතනය මගින් නිකුත් කරන ලද නිවේදන අනුව උදාවූ 2016 වසරේදී අපට රටට එල්නිනෝ කාලගුණික සංසිද්ධියක් අපේක්ෂා කළ හැකි බවට  පුවත් පළ විය. මේ පිළිබද විදෙස් මාධ්‍ය වල වැඩිවශයෙන් කතාබහට ලක්විය. සත්‍ය වශයෙන්ම අපේ රට මුහුණදෙන මෙම කාලගුණික තත්ත්වය අපට නුහුරු දෙයක් වේවිද? එයින් ඇතිවන බලපෑම් කවරේද යන්න පිළිබඳ අපට වැටහීමක් තිබේද? මේ සියලු කාරණා පැන නැගෙන මොහොතේ අපි සැවොම මුහුණදෙන මෙම තත්ත්වය පිළිබඳ අප කාලගුණ විද්‍යාඥ අනුෂා වර්ණසූරිය මහත්මියගෙන්   මෙලෙස විමසීමක් කළෙමු.
එල්නිනෝ තත්ත්වය යනු කුමක්ද?
එල්නිනෝ තත්ත්වය අනාදිමත් කාලයක සිට ලෝකයේ පවතින දෙයකි. එය ඇති වන්නේ පැසිෆික් සාගරයේ නැගෙනහිර ප්‍රදේශයේය. පේරු දූපත් ආශ්‍රිතව එනම් සමකය ආසන්න මුහුදේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම එල්නිනෝ තත්ත්වය ලෙස හඳුන්වනු ලබයි. එසේම මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය අඩුවීම මත ලානිනා කාලගුණික තත්ත්වය ඇති වෙයි.
සාමාන්‍යයෙන් සමකය ආසන්නයේ සුළං හමන්නේ නැගෙනහිර දිශාවේ සිට බටහිර දිශාවටය. එලෙස සුළං හමන විට මුහුදට ඉහළින් වායු ගෝලයේ පවතින ජලය සුළඟ මගින් ඇඳගෙන යෑම සිදුවේ. එවිට මුහුද අභ්‍යන්තරයේ පවතින සිසිල් ජලය ඉහළට ඒමක් සිදුවේ. උදාහරණ ලෙස අප ළිඳක ඉහළ තිබෙන ජලය අදින විට එම ස්ථරය පිරවීමට පහළ තිබෙන ජලය ඉහළට පැමිණීම දැක්විය හැකිය.

El-Nino-map-el-nino

පේරු දූපත් ආශ්‍රිතව උෂ්ණත්වය අවම අගයක සාමාන්‍යයෙන් පැවත එන්නේ මෙම සංසිද්ධිය නිසාය. මෙම දූපත් ආශ්‍රිත මුහුදේ උෂ්ණත්වය අඩුවීම මත එම දූපත් ආශ්‍රිතව මත්ස්‍ය සම්පත බහුලය.
සාමාන්‍යයෙන් නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යෑම මත මත්ස්‍ය සම්පත අඩුවන අතර, මේ පිළිබඳ අවධානය යොමුකරන ලද ධීවරයන් මුල්කාලීනව මෙම කාලගුණික විපර්යාසය හඳුනාගත් බව වාර්තා වෙයි.
මෙලෙස සමකය ආසන්නව පිහිටි පැසිෆික් සාගරයේ ඉහළ ප්‍රදේශයේ ජල වාෂ්ප ඇඳගෙන යෑමට තරම් ප්‍රබල සුළඟක් ඇති නොවුණහොත් මුහුදේ අභ්‍යන්තරයේ සිට ඉහළට පැමිණෙන සිසිල් ජල ධාරාව අඩු වෙයි. ඒ හේතුව නිසා අසාමාන්‍ය උෂ්ණත්වයක් එම ප්‍රදේශය ආශ්‍රිතව ඇති වෙයි.
මෙය එල්නිනෝ තත්ත්වය ලෙස හඳුන්වනු ලැබෙයි. නමුත් මෙම තත්ත්වයට හේතුවන නැගෙනහිර දිශාවෙන් හමන සුළඟේ වේගය අඩුවීම සිදුවන්නේ කුමක් නිසාද යන්න මෙතෙක් සොයාගෙන නොමැත. මෙලෙස සුළඟ හමන වේගය අඩුවෙන නිශ්චිත කාලයක් නොමැති අතර, එය නිතර ඇති වෙයි.
මෙම එල්නිනෝ ඇති වීමේ ප්‍රභලතාවය අනුව එයින් ලෝකයට ඇතිවන බලපෑම තීරණය වෙයි. එනම් අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය වැඩි වී නම් ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ලෙස හඳුන්වනු ලැබෙයි. මධ්‍යම හා සාමාන්‍ය එල්නිනෝ තත්ත්වද ඇති වෙයි. එල්නිනෝ තත්ත්වයකදී සමකය හරහා පවතින ගෝලීය සුළං සංසරණ රටා පද්ධතිය නැත්නම් වෝකර් සුළං සංසරණ රටාව වෙනස් වීම සිදුවෙයි. සාමාන්‍යයෙන් වර්ෂාපතනයක් සිදුවේ නම් සුළඟ ඉහළට නැඟීම සිදුවෙයි.
සුළඟ බහින තැනක වළාකුළු ඇතිවීම සිදුනොවෙයි. මෙලෙස පවතින සුළං සංසරණ පද්ධතියට පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ඉහළයෑම ඇතිවූ විට සාමාන්‍යයෙන් සුළං ඉහළ පහළ යෑම් සිදුවන ස්ථාන වෙනස් වෙයි. ඒ අනුව උෂ්ණත්වය ඉහළ ගොස් ඇතිවන එල්නිනෝ තත්ත්වයකදී හැම රටකටම නියඟ ඇතිවන්නේ නැත. එල්නිනෝ බලපෑම මත ඇතැම් රටකට අධික වර්ෂාපතනයක් ලැබීමටද පුළුවන. ඊට හේතුව සාමාන්‍ය සුළං සංසරණ පද්ධතියට වෙනස්කම් ඇති වීමයි.
වර්තමාන එල්නිනෝ තත්ත්වයෙන් මෙරටට ඇතිවන බලපෑම කෙබදුද?
මෙලෙස පැසිෆික් සාගරයේ ඇතිවන එල්නිනෝ තත්ත්වයන් ප්‍රභල වීම මත ශ්‍රී ලංකාවටද බලපෑම් ඇති වෙයි. මෙම එල්නිනෝ තත්ත්ව ප්‍රබල වුවත් එය සෑමවිටම මෙරටට නියං තත්ත්ව ඇති කරන්නේද නැත. ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාසවල පැසිෆික් සයුරේ එල්නිනෝ තත්ත්වය ප්‍රබලව ඇතිවුවහොත් මෙරටට වර්ෂාපතනය අධිකව ලැබෙයි. පසුගිය ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් මාසවල අප මුහුණ දුන් අධික වර්ෂාපතනයට හේතුව වූයේත් එම කාලය තුළ පැසිෆික් සාගරයේ පැවති ප්‍රබල එල්නිනෝ තත්ත්වයකි. එහි බලපෑම් තවදුරටත් ලෝකයට දැනෙමින් පැවතීම මත එල්නිනෝ පිළිබඳ වැඩි අවධානයක් යොමු වුණත් එය මෙරටට සුභදායී අයුරින් බලපෑම අස්වැසිල්ලකි.
නමුත් ජනවාරි මාසයෙන් පසු අප රටට වර්ෂාව අඩුවීමේ තත්ත්වයක් පෙන්නුම් කෙරෙයි. ඒ පසුගිය වසර 50ක කාලයක් පුරා ඇතිවූ එල්නිනෝ තත්ත්ව හා සසඳා බලා කරන ලද අනාවැකි අනුව දැක්වෙන්නකි.
1998 වසරේ ශ්‍රී ලංකාව බරපතළම එල්නිනෝ තත්ත්වයක බලපෑම්වලට මුහුණදෙනු ලැබීය. ඒ වකවානුවේ මෙරටට දැඩි නියඟයක් බලපෑවේය.
1398410037_Drought621
එම සාධක මත පසුගිය වසරේ ඔක්තෝබර් සිට පවතින එල්නිනෝ තත්ත්වය නිසා ජනවාරි සිට වර්ෂාව අඩු කාලයක් මෙරටට උදාවිය හැකි බවට අපේක්ෂා කෙරෙයි. නමුත් මෙම එල්නිනෝ තත්ත්වය අප්‍රේල් මාසය වන විට පහව යනු ඇති බවටද අපේක්ෂා කෙරෙයි.
මෙවර එල්නිනෝ තත්ත්වය පිළිබඳ පූර්ව දැන ගැනීම් කෙබදුද?
මෙවර ඇතිවී තිබෙන එල්නිනෝ තත්ත්වය පිළිබඳ ඇමෙරිකානු කාලගුණ විද්‍යා ආයතනය ඇතුළු ප්‍රධාන කාලගුණ විද්‍යා ආයතන මත පළ කළේ එය 2014 වර්ෂයේ ඇති විය හැකි බවටයි.
නමුත් එම තත්ත්වය නිශ්චිතව ඇති වුණේ 2015 වර්ෂයේදීයි. ඔවුන් මෙම අනාවැකි පළ කිරීම සඳහා තහෙමු හා ඩාවින් නගර ද්විත්වයේ පීඩන අන්තරය හා මුහුදේ උෂ්ණත්වය මැනීම සිදුකෙරෙන අතර, ඒ ආශ්‍රයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ තත්ත්ව පිළිබඳ අනාවැකි පළ කෙරෙයි. මේ වන විට ඔවුන් පළ කරන අනවැකි අනුව උතුරු අර්ධගෝලයේ සීත සෘතුව අවසන් වන කාලය වන අප්‍රේල් මාසය අවසන් දින කිහිපයේදී වර්තමානයේ මුහුණදෙන එල්නිනෝ තත්ත්වය පහව යෑමට ඉඩ තිබෙයි.
එලෙස සිදුවුවහොත් අප රටට වැඩි බලපෑම් ඇති නොවන අතර, අප්‍රේල් අවසන් වන තෙක් අප රටට වර්ෂාව අඩු කාලයක් උදාවීමට නියමිතය.
අප වර්තමානයේ මුහුණදෙන අධික උණුසුමටත් හේතුව එල්නිනෝද?
වර්තමානයේ අප රට මෙන්ම ලෝකයේ අනික් රටවල්ද මෙම එල්නිනෝ තත්ත්වයට මුහුණදෙමින් පවතියි. නමුත් මේ දිනවල අප රටට ඇතිව තිබෙන අධික උෂ්ණත්වයට හේතුව එල්නිනෝ තත්ත්වය නොවන බවයි පැවසෙන්නේ. ඊට හේතු වී තිබෙන්නේ මේ දිනවල අහසේ වළාකුළු අවම වීමත්, හිරු රශ්මිය සෘජුව පොළවට පතිත වීමත්ය. කෙසේ නමුත් ලෝකයේ මෙතෙක් කර ඇති කාලගුණික ගණනය කිරීම් මත 2016 වසර උෂ්ණාධිකම වසරක් ලෙස හැඳින්වෙයි.
ඒ නිසා උෂ්ණත්වය වැඩි වීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස හැඳින්වෙයි. එසේම පවතින එල්නිනෝ තත්ත්වය නිසා සුළං රටාවේ වෙනස්කම්ද පවතින බැවින් උෂ්ණාධික බව තවදුරටත් අපට දැනෙමින් පවතියි. එනම් වෙනත් වර්ෂ වලදී ජනවාරි මාසය වන විට අපට ශීත කාලගුණයක් පවතින අතර, ඊට හේතු වන්නේ ඉන්දියාව හරහා හමා එන සුළඟේ බලපෑම්ය. නමුත් මේ දිනවල අප රටට සුළඟ හමා එන්නේ නැගෙනහිර දිශාවෙන්ය. මෙම සුළං මුහුද හරහා හමා එන අතර, එය උෂ්ණත්වයෙන් ඉහළ වීම මත මෙම වසරේ ජනවාරි මුල් කාලයේදී වෙනත් වසර වල මෙන් ශීත කාලගුණයක් අපට ඇති නොවීය.
18-may-2010-kalpana-1-satellite1
එල්නිනෝ තත්ත්වයට මුහුණදීමට ඇති කරගත් පෙර සූදානම කෙසේද?
මෙවර අපි මුහුණදෙන එල්නිනෝ තත්ත්වය පිළිබඳ පෙරාතුව දැනුවත් වී තිබුණ අතර, මෝසම් කතිකාවත හරහා ඒ පිළිබඳව රටේ වගකිව යුතු ආයතනවලට දැනුම්දීම මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබීය. පැවති 12 වැනි මෝසම් කතිකාවත තුළදී මෙම එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා වැව්වල ජල කළමනාකරණ කටයුතු හා කෘෂිකර්මික කටයුතු කෙරෙහි තීන්දු තීරණ ගැනීම සිදුකර ඇත. මේ නිසාවෙන් මේ පිලිබඳ නිවැරදිව දැන ඔබත් කටයුතු කරන්නේනම් විපත් අවමකරගැනීමට පුලුවන්
දම්සෙන් කොබ්බෑකඩුව

Add a Comment

Your email address will not be published. Required fields are marked *