Home » විවිධ » බුදු දහමේ ඉගැන්වෙන සැබෑ යහපාලනය
King_Bimbisara_and_the_Buddha

බුදු දහමේ ඉගැන්වෙන සැබෑ යහපාලනය

බුදු දහම අසවල් පිරිස සඳහා පමණක් දේශිත යැයි සීමා මායිම් පැනවිය නොහැක. රජුන් අධාර්මික වූ විට රටේ මහජනයාද එම මගෙහිම වැටෙන බව සලකා රජුන් ධාර්මික වීමේ වැදගත්කම බොහෝ විට අවධාරණය කර තිබේ.
සූත්‍ර පිටකයෙහි දීඝ නිකායට අයත් චක්තවත්ති සීහනාද සූත්‍රය මේ සඳහා මනා නිදසුනකි. ධාර්මික ප්‍රතිපත්ති අනුව රට පාලනය කරමින් රජු සියලු රට වැසියන්ගේ ආර්ථික සමෘද්ධිය, අපේක්ෂාව සහ සමගිය තහවුරු කළ යුතු බව එහි විග්‍රහ කෙරේ.
මේ අනුව විවිධ කුලවලට අයත් ජනයාද, මහණ බමුණන් ද සීපාවාද රැක බලා ගත යුතුය. අධර්ම ක්‍රියා නැවැත්විය යුතුට. දිළින්දන්ට ධනය දී ඔවුන් පෝෂණය කළ යුතුය. මේ ප්‍රතිපත්තිවල සාරය ‘‘සක්විතිවත්‘‘ ලෙස දැක්වේ. මෙම සංකල්පයෙන් බැහැර වූ විට ඇති වන අරාජික තත්වයද චක්කවත්තිසීහනාද සූත්‍රයෙහි මනා කොට විස්තර කර ඇත. ඒ මෙසේය.
  1. දිළින්දන්ට ධනය නොදීම නිසා සොරකම ද
  2. සොරකම වැඩිවීම නිසා අවි ආයුධ ද
  3. අවි ආයුධ වැඩිවීම නිසා ප්‍රාණ ඝාතය ද
  4. ප්‍රාණ ඝාතය වැඩිවීම නිසා බොරුකීමද
  5. බොරු කීම වැඩිවීම නිසා කේලාම් කීමද
  6.  කේලාම් කීම වැඩිවීම නිසා කාමයෙහි වරදවා හැසිරීමද
  7. කාමයෙහි වරදවා හැසිරීම නිසා පරුෂ වචන කීම හා හිස් වචන කීම ද
  8. පරුෂ වචනය, සම්පප්‍රලාපය වර්ධනය වීම නිසා අභිධ්‍යා ව්‍යාපය ද
  9.  අභිධ්‍යා ව්‍යාපාද වර්ධනය නිසා මිථ්‍යා දෘෂ්ටිය ද
  10.  මිථ්‍යා දෘෂ්ටිය වර්ධනය වීම නිසා අධර්ම රාග විශම ලෝභ මිත්‍යා ද
  11.  අධර්ම රාග විෂම ලෝභ මිථ්‍යා වර්ධනය වීම නිසා මවට නොසැලකීම, පියාට නොසැලකීම, මහණුන්ට නොසැලකීම, බමුණන්ට නොසැලකීම, වැඩිහිටියන්ට ගරු නොකිරීම ද වර්ධනය විය.
මේ නිසා මිනිස්සු ආයු වර්ණ දෙකින් ම තව තවත් පිරිහුණහ.
සක්විති රජ කෙනෙක් ඥාන පහකින් සමන්වි වෙති. ඒ මෙසේය.
  1. හොඳ නරක වහා අවබෝධ කර ගැනීමේ ඥානය.
  2. ධර්මයට යටත්ව රට පාලනය කිරීමේ ඥානය
  3. තම පමණ දැන කටයුතු කිරීමේ ඥානය
  4. අවස්ථාවට අනුව කටයුතු කිරීමේ ඥානය
  5. තම යටත් වැසියන්ගේ සිතුම් පැතුම් ඉටු කිරීමේ ඥානය

kart

රටක පාලකයා ගැල් නායකයකු බවත්, ගැල වැරදි මගෙහි යාම සඳහා නායකයකු පෙරමුණ ගතහොත් ගැල් පේලියම වැරදි මඟෙහි යන්නාක් මෙන් රටක පාලයා නොදැහැමි වූ විට පාලිතයන්ද නොදැහැමි වන බව අම්බලට්ඨිකා රාහුලෝවාද සුත්‍රයෙහි දැක්වේ.
මෙසේ යහපාලනයක් උදෙසා බුදුන් විසින් රජුන්ට දුන් උපදේශ විශාල ප්‍රමාණයක් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ.
කූටදත්ත සූත්‍රයෙහි මෙසේ දැක්වේ.
“දැහැමි පාලකයා දිළින්දන්ට ධනය දී ව්‍යාපාර ආරම්භ කිරීමට සහයෝගය දෙයි. රටෙහි යම් පුරවැසියෙක් ගොවිතැන් හා ගව පාලනය සඳහා ධෛර්යවත් කළ යුතුය. ඔහුට අවශ්‍ය මුදල් හා උපකරණ ආදී යටිතල පහසුකම් ලබා දිය යුතුය. වෙළඳාම පිණිස උනන්දුවන පුද්ගලයාට ඒ සඳහා පහසුකම් ලබාදිය යුතුය. රාජ්‍ය සේවයෙහි කැමැත්තාට  වැටුප් ලබා දිය යුතුය. එසේ ප්‍රතිලාභ ලබා දුන් විට වැසියන් පීඩාවට පත් නොකර රටට සේවය කරයි. මේ සියලු කටයුතු නිසා රට සමෘද්ධිමත් වෙයි. සොර සතුරු උවදුරු පහව යයි. මිනිස්සු ඔවුනොවුන් කෙරෙහි සතුටු වෙති. සුහද වෙති. දරුවන් ලෙහි හොවා ගෙන ගෙදර දොරවල් හැර දමා ප්‍රීතියෙන් සාමීචියේ කල් යවති.”
මේ අනුව යහපත් රාජ්‍යයක පැවැත්ම කෙරෙහි ආර්ථික සමෘද්ධිය, සංස්කෘතික පුනර්ජීවනය, ප්‍රජාතන්ත්‍රවාදී හරයන් සහතික කිරීම සහ සහනශීලී පැවැත්ම සහතික කළ යුතුය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *