Home » විවිධ » මෙලොව එළිය නොදකින්නන්
e-800x392

මෙලොව එළිය නොදකින්නන්

මෙලොව සුන්දරත්වය දකින අපි බොහෝ දෙනෙක් ඒ තරම් ගැඹුරින් නොසිතන, මෙලොව එළිය නොදකින්නන්ගේ අපේක්ෂාවන් පිළිබදව අපි සිතුවාද ජාත්‍යන්තර සුදු සැරයටි දිනය ඉහලින් අප සැමරුවත් දැන් එය අමතක වී ඇති බවයි පෙනී යන්නේ. සුදු සැරයටි දිනය ලෙස ලෝකය තුළ දිනක් නම් වී වසර 45 ක් ගත වනවිට ලංකාවේ සිටින ආබාධිත තැනැත්තන්ගේ සංඛ්‍යාව 15෴ ලෙසට ගණන් බලා තිබේ. එමෙන්ම විවිධ මානව ක්‍රියාකාරකම් හා විවිධ පාරිසරික හේතූන් මත ආබාධිත තත්ත්වයන්ට පත්වන පිරිස දිනෙන් දින ඉහළ අගයක් ගන්නා බව වාර්ෂික සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමේදී ගම්‍යවන කරුණකි. වත්මන් සමාජය දෙස අවධානය යොමුකරන විට කුමන ආබාධයකින් පසුවන පුද්ගලයෙකු වුවද ඔහුට හෝ ඇයට සමාජ තුළ වටිනාකමක්, පිළිගැනීමක්, අනන්‍යතාවක් ඇති බව අපි පිළිගත යුතු අතරම ඔවුන් සැබෑ සමාජ කොටස්කරුවෝය. ශ්‍රී ලංකාව තුළ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ නව ආකල්ප වර්ධනය ආරම්භ වූයේ 1981 වර්ෂය ජාත්‍යන්තර ආබාධිත වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමගය. 1992 අංක 09 දරණ දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන බාර අරමුදල නමින් පනතක්ද සම්මත කර ඇති අතර, දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් රජයේ සේවාද ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන බාර අරමුදල ක්‍රියාත්මක කරනුයේ කළමනාකරණ කමිටුවක් මගිනි. දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයන්ට අවශ්‍ය සේවා සැපයීම, පුනරුත්ථාපනය කිරීම හා සහන ලබාදීම අරමුදලේ මෙහෙවර වුවද ඒ සියල්ල මෙරට තුළ ක්‍රියාත්මක වෙනවාද යන්න සැක සහිතය. ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත පිරිස එසේ වනවිට අධ්‍යාපනය ලබන දෘශ්‍යාබාධිතයන්ගේ දුෂ්කරතා පිළිබඳව අපගේ අවධානය යොමුවන්නේ අල්ප වශයෙනි. සාමාන්‍ය‘යෙන් දෘශ්‍යාබාධිත පුද්ගලයන් හට සමාජය තුළ යම් පමණකින් හෝ ඉදිරියට යාමට හැකිවන්නේ අධ්‍යාපනය ලැබීමෙන් පමණක්ය යන මතය සමාජ තුළ තිබේ. නමුත් පෙනීම ඇති අපහට කියවීමට, බැලීමට, හැදෑරීමට ඇති පොතපත සහ අනිකුත් මාධ්‍ය සමග සසඳන කල දෘශ්‍යාබාධිත වූවන්ට අධ්‍යාපනයහැදෑරීමට ඇති සම්පත් දශම ගණනකි.ඔවුන්ගේ පහසුවට බ්‍රේල් ක්‍රමය හඳුන්වාදී තිබුණද බ්‍රේල් ක්‍රමයට මුද්‍රණය වන පොතපත ඉතාම අල්පය. සාමාන්‍ය‘යෙන් ඔබ අප සැමට වසරකදී පරිශීලනය කිරීමට මුද්‍රණය වන පොතපත කොපමණද කියා ඔබ දන්නේද? ඇතැම් විට සිතා ගැනීමට පවා අපහසුය. නමුත් දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් එය ඉතාම සීමිත ගණන් කළ හැකි මට්ටමේ සංඛ්‍යාවකි. තත්ත්වය එසේ තිබියදීත් දැඩි දුෂ්කරතා මධ්‍ය‘යේ අධ්‍යාපනය හදාරා විශ්වවිද්‍යාල වරම් ලැබ උපාධියද සම්පූර්ණ කරගන්නා දෘශ්‍යාබාධිත පුද්ගලයෝ සිටිති. සාමාන්‍ය‘යෙන් දෘශ්‍යාබාධිත පුද්ගලයින් උසස් අධ්‍යාපනය හැදෑරීමට විශ්වවිද්‍යාල වෙත ඇතුළත් වීම ආරම්භ වූයේද 60 දශකයේ පමණය. මේ වනවිට ලංකාව පුරා දෘශ්‍යාබාධිත උපාධිධාරීන් 300ක් පමණ සිටින අතර අධ්‍යාපනය හදාරන පුද්ගලයින්ද වෙයි. සාමාන්‍ය‘යෙන් වසරකට 20-30 අතර දෘශ්‍යාබාධිත සිසුන් විශ්වවිද්‍යාල වරම් ලබාගන්නා අතර, එලෙස සිය අධ්‍යාපනය නිම කළද දෘශ්‍යාබාධිත ප්‍රජාව හට රැකියාවක නිරතවීමේ දැඩි දුෂ්කරතාවයට මුහුණදීමට සිදුව තිබේ. මේ අතර ඇතැම් පුද්ගලයෝ ස්වයංරැකියා තුළින් සමාජයේ ඉහළ මට්ටමකට පැමිණ තිබීම සැබැවින්ම අගය කළයුතු කරුණකි. උපාධිධාරී දෘශ්‍යාබාධිත පිරිස් වෙනුවෙන් යුතුකම් ඉටුකරවා ගැනීමේ අරමුණින් 1983 වර්ෂයේදී පමණ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලය බිහිවී තිබේ. %අඳුරට නැණ පහන් දල්වමු දෑසේ^ යන්න ඔවුන්ගේ තේමාව කරගනිමින් කටයුතු කරයි.රජයේ රැකියාවල 3෴ක් ආබාධිතයන් වෙනුවෙන් වෙන්කර තිබුණද අපගේ නිරීක්ෂණයට අනුවනම් රජයේ කිසිම ආයතනයක 3෴ සංඛ්‍යාව සම්පූර්ණ කර නොමැත. දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් පමණක් නොව ආබාධිත ප්‍රජාව වෙනුවෙන් රජයක් වශයෙන් යොමු කළයුතු අවධානය මෙතෙක් කිසිම රජයකින් යොමු නොකළ බව දෘශ්‍යාබාධිත ප්‍රජාව චෝදනා කරති. මෙවන් තත්ත්වයක් තුළදී දෘශ්‍යාබාධිතයන්ට හඳුනාගත හැකි පරිදි මුදල් නෝට්ටු වෙනස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදීම අගය කළයුතු කරුණකි. සියල්ල එක රැයකින් විසඳීමට නොහැකි බව අප පිළිගන්නා කරුණකි. නමුත් සුළු සුළුවෙන් හෝ අදාළ කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක වීම යුගයේ අවශ්‍යතාවයකි. තවද අප සිහි තබාගත යුතු කරුණක් තිබේ. එනම් ආබාධිත නොවන පුද්ගලයෙකු කිසියම් කරුණක් මත ඕනෑම වෙලාවක ආබාධිත තත්ත්වයට පත්විය හැකිය.එයට නිශ්චිත අවස්ථාවක් නොමැත. එබැවින් ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් අයිතිවාසිකම් ලබාදීම යනු අනාගත ආයෝජනයක් වීමටද පුළුවන. මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් වූ අතර, එම කඩඉම ජයගත් තිබ්බොටුවාව මහා විද්‍යාලයේ තීක්ෂණ දිල්ෂාන් දරුවාගේ වචනවලින් මෙම ලිපිය අවසාන කිරීමට අදහස් කළෙමි. “මගේ අනිත් යාළුවො ඉගෙන ගත්තේ ඇස් දෙකෙන් දැකලා, බලලා. මම ඉගෙන ගත්තේ බ්‍රේල් වලින් අතගාලා.මේ ලෝකෙ දකින්න මම ගොඩක් ආසයි. මගේ ඇස්දෙක හොඳ කරලා දෙන්න* යැයි මේ දරුවා පැවසීය. සුගත් වසන්ත ද සිල්වා දෘශ්‍යාබාධිත නිසාම මට උරුම වුණු කටුක අත්දැකීම් බොහෝමයක් තිබෙනවා. දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය ඔවුන්ට ගැළපෙන අයුරින් විසඳලා දෙන්න කියලා අපි කියනවා. ඒ වගේ ආබාධිතයන් සඳහා වූ පනත අවුරුදු 20කින් පමණ යාවත්කාලීන කර නැහැ. වර්තමානයට ගැළපෙන පරිදි ඒ පනත වෙනස්විය යුතුයි. ඒ වගේම ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතීන් ලබාදීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවිය යුතුයි. එහි බහුතර නියෝජනය ආබාධිතයන් වියයුතු අතර, එමගින් ගෙනෙන වැඩපිළිවෙළ ආබාධිතයන්ගේ යෝජනාවලට ප්‍රමුඛත්වය ලබාදී සිදුකළ යුතුයි කියා මම රජයට කියනවා. පී.ඩී.නිහාල් සුදු සැරයටිය තමයි අපගේ ගමන් මෙවලම. අපිට මඟපෙන්වන අර්ධ ඇස විදිහට සුදු සැරයටිය හඳුන්වන්න පුළුවන්. අපගේ අනන්‍යතා ලක්ෂණයත් එයයි. සුදු සැරයටිය අතින් ගත්තු පුද්ගලයන්ව පෙනෙන පුද්ගලයන් නොසලකා හරිනවා. ඒ වගේම අපිට උදවු කරන්නට පැමිණෙන්නන් අපට අවශ්‍ය දේ කරදිය යුතුයි.එය ගරුත්වයෙන් සිදුකළ යුතුයි. එවිට ඔවුන්ට අපේ ගරුත්වයත් ලැබෙනවා. ඒ වගේම දෘශ්‍යාබාධිත පුද්ගලයන් දැඩි ලෙස වාග් හිංසනයට ලක්වෙනවා.එය වැළැක්වීමටද සමාජය ක්‍රියා කළයුතුයි කියා මම සිතනවා. විශේෂයෙන්ම ඒ අයට අනුකම්පාව කියන දේ හරිම වටිනවා. කසුන් නයනජිත් – වලල්ලාවිට විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන්ට දැනුම, තොරතුරු ලබාගැනීමට දී තිබෙන අවස්ථාව අඩුයි.මට හිතෙන හැටියට අපිට මීට වඩා දැනුමක් දෙන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා. ඒ තුළින් අපිටත් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතනවා.ඒ සඳහා රජයේ මැදිහත්වීම උපරිමයෙන්ම ලැබේවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම සමාජයේ පෙනෙන මිනිසුන්ගේ ආකල්ප වෙනස් වියයුතුයි කියලා මම හිතනවා. ආබාධිත පුද්ගලයන්ට මීට වඩා උදවු උපකාර කළයුතුයි කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි.

Add a Comment

Your email address will not be published. Required fields are marked *