Home » විවිධ » ලෝකයේ උතුම්ම පදවිය වන මව් පදවියේ කාර්යභාරය
KARMA-SAMPLE2

ලෝකයේ උතුම්ම පදවිය වන මව් පදවියේ කාර්යභාරය

ලොව සිටින සියලුම වම්වරු තම කාර්යභාරය මැනවින් ඉටු කිරීමට වගබලාගත යුතුය. එම කර්තව්‍ය හරියාකාරව වර්තමාන මවුවරුන්ගෙන් ඉටු නොවීම නිසාාවෙන් දරුවන්ගේ හැදියාවේ නරකපැත්තට විශාල වෙනස්කම් රාශියක් සිදුවෙමින් පවතී.
වසර 30ක රෝහල් ජීවිතයේ මාහට දකින්නට ලැබුණු අත්දැකීම් සම්භාරයට අනුව මා මෙසේ ප්‍රකාශකරනුයේ ඉතාමත් කනගාටුවෙනි.
රටට වැඩදායී දේශීය කුලකතුන් හා කුල කුමරුවන් නිර්මාණය කිරීමේදී එහි පළමු වගකීම හිමිවන්නේ මවට හා පියාටය.
තම කුසතුල දසමසක් දරා සිටින දරුවා කුසතුල සිටියදීම හොඳ ආකල්ප වලින් පෝෂණය කිරීම ආරම්භ කිරීමට මව වගබලාගත යුතුය. ගැබිනි සමය තුල මව ධර්මානුකූලව හැසිරීම, නිතර ආගමික වතාවත් වල නිරතවීම, බෞද්ධ මවක් නම්, බෝමළුව ඇමදීම, නිතර බෝධි පූජා කිරීම, ධර්ම පුස්ථක කියවීම, ආදිය සිදුකිරීමෙන්, සාමකාමී, ඉතා දක්ෂ කාර්යශූර, නිරෝගිමත් දරුවකු මෙලොවට දායාද කරගත හැකි බව පරීක්‍ෂන වලින්ද සොයාගෙන ඇත.
තවද බිහිවීමට සිටින දරුවා මව නැලවිලි ගී කියමින් තම කුස පිරිමැදීම සිදුකිරීමෙන් කුසතුල සිටින දරුවාට මවගේ සෙනෙහෙවන්තකම සම්ප්‍රේෂණයවී දැනෙන්නට පටන්ගනී.
දරුවකු බිහිකිරීමේ දී ස්වභාවික ක්‍රමය අනුගමනය කිරීම තුලින් වඩා ආරක්‍ෂිත ප්‍රසූතියක් හා නිරෝගිව මව හා ලදරුවාට කාලය ගතකිරීමට හැකියාව ඇත.
බිහිවූ දරුවාට මවගේ වචනයෙන් නැලවිලි ගී ගයමින් නැලවීම, නිදිකිරවීම සිදුකල යුතුය.
බහතෝරන වියට පත්වන දරුවාට සෙල්ලම් කිරීමට සෙල්ලම් තුවක්කු, කඩු, කිනිසි, ලබා නොදිය යුතුය. ඔවුනට නිතර සෙනෙහස දැනෙන ලෙස වඩාගෙන සිප වැළඳ ගනිමින් සුරතල් බස් දෙඩිය යුතුය.
තේරෙන වියට පත්වන විට, ඔවුන්ට නිතර හොඳ දේ හා නරක දේ පැහැදිලි කර දෙමින් පවුකිරීමට ලැජ්ජා බය ඇතිකල යුතුයි. පින් සිදුවන යහපත් ක්‍රියා දෙමාපියන් සිදුකරමින් දරුවාත් ඒවාට හවුල් කරගත යුතුයි. එවිට ඔහුද ස්වයංක්‍රීයව ඒවාට යොමුවේ. වර්තමාන සමාජයේ මව හා පියා රැකියාවට යාම තුල දරුවන් තනිවී වෙනත් අයගේ අනසකට යටත්වී ආත්මාර්ථකාමීත්වයෙන් පරිපුන් අවිචාරවත් දරුපරපුරක් බිහිවෙමින් පවතී.
විශේෂයෙන්ම වර්තමානයේ සමාජයේ වියසනකාරී ක්‍රියාවන්වලට ඉතාම ඉක්මනින් දරුවාත් පෙලබෙන්නේ තාරුණ්‍යයට එලබෙනවාත් සමඟමය. තවද තාරුණ්‍යට එලබීමට ප්‍රථම දරුවන් ලිංගික අපචාරවලට ගොදුරුවීමද සිදුවන බව රෝහලට වාර්තාවන දෛනික සිදුවීම් අනුව පෙනීයයි.
ඉන් දරුවන් මුදවාගැනීමට වැඩිහිටියන්වන අපට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇත. මලක් පිපීමට ප්‍රථම පොහොට්ටුව සමයේදීම ගැබ්බර වූ දියණිවරු අනේක ප්‍රමාණයක් අපට රෝහලේ දී මුණගැසිය හැකිය. සිය ජීවිතය අකාලයේ කුණාටුවක් බවට පත්වීමට ගතව ඇත්තේ නිමේෂයකි. මෙවැනි විනාසකාරී තාවයන්ගෙන් වැලකීමට දරුවන්ට කාරණා කියාදීම මවකගේ වගකීමකි.
මිනිසා සාමාන්‍ය නිර්මාණය කිරීමට මූලිකත්වය දෙන්නේ කාන්තාවය. පීතෘ මූලික සමාජයක් පවතිනවා යනුවෙන් සඳහන් කලද එය වචනයට සීමාවූවකි.
පවුල් ඒකකය තුල අපගේ රටේ බොහෝ දේ සිදුකරනුයේ මාතෘමූලිකවය. දරුවන් වැඩි දෙනෙකු නැඹුරුවක් දක්වන්නේ සිය මව වෙතය. එවිට දරුවන්ගේ ගුණාත්මක පෞරුෂ සංවර්ධනයට සිය මවගේ ඇසුර ආදරය බලපානු ලබයි. දියණියක් බොහෝ විට තම මව ආදර්ශයට ගනු ලබයි.
වත්මන් සමාජය තුල “අම්මා” යන උත්තරීතර කියමන බොඳවෙමින් යන සංකල්පයක් බවට පත්වීගෙන එන බවක් පෙනීයයි. බොහෝ අම්මාවරු මව් පදවියේ ගෞරවය, වගකීම හරියාකාරව තේරුම් ගෙන නැත. ආදරණීය මව්වරුනි, මෙම ලිපිය කියවීමෙන්තමා කොතැනද සිටින්නේ යන්න තේරුම්කර ගෙන අඩුපාඩු සකසාගන්න.
මව්වරු පියවරු දෙපලට තරයේ මකක තබාගත යුතු කාරනය වන්නේ තම දරුවන්ට ආදර්ශවත් අන්දමින් හැසිරිය යුතු බවයි. පියා තම බිරිඳට ගෞරව කලයුතුය. එය දකින පුත් කුමරුන්ද තම නැගනියට, සොයුරියට, බිරිඳට ගෞරව කරමින් සැලකීමට පුරුදු පුහුණු වන්නේ ස්වයංක්‍රීයවමයි.
දයාබර මව්වරනි, ඔබලාගේ ක්‍රියාකලාපය තුලින් දියණියන්ට ඉගෙනීමට යමක් තිබිය යුතුය.
“අම්මා” නැමති සංකල්පයේ තිබෙන ගැඹුර, ගාම්භීරත්වය, අව්‍යාජ බව, බුද්ධිමත් බව යන කරුණුවල ගැබ්වී ඇති තත්වයන් පිළිබඳව ගැඹුරින් සොයා බලා ඊට අනුව මව් පදවියේ කාර්යභාරය මැනවින් ඉටුකිරීමට සෑම මවක්ම උත්සාහවන්ත විය යුතුය.
එසේ වීම තුල ඉදිරියේ ඇතිවන සමාජ වියසනකාරීතාවන් යම් පමණකට මැඩපවත්වා ගත හැකිය.
දරුවන්ට හිරි ඔතප් ඇතිකල යුතුය.එනම් ලැජ්ජා බය, එතුලින් මිනිසුන් අයහපත් සමාජ විරෝධී ක්‍රියාවලින් වලකාලනු ලබයි.
නිසි වයසට පැමිණීමට ප්‍රථම අවංක ප්‍රේමයේ දොරටුවට තට්ටු නොකිරීමට ඔබගේ දූ දරුවන්ට කල් ඇතිව දැනුවත් කරන්න. එසේ කිරීම තුල දේශයට වැඩදායී ගෞරවණීය දූ දරු පිරිසක් ලක්දෙරණට දායාද කිරීමෙන් මව් පිය දෙපාර්ශවයටම පින් සිදුකරගත හැකිය.

කමනී ද සිල්වා
ජේෂ්ඨ හෙද නිලධාරිනී සෞඛ්‍ය සත්කාරක සේවා තව කලමනාකරණ ඒකකය
මහරෝහල, මහනුවර

Add a Comment

Your email address will not be published. Required fields are marked *