Home » විවිධ » පරිසරය » ශ්‍රීලංකාව ජෛව විවිධත්වය අතින් උණුසුම් කලාපයක් වේ ..
sri lankan elephants

ශ්‍රීලංකාව ජෛව විවිධත්වය අතින් උණුසුම් කලාපයක් වේ ..

ලොව ලස්සන වන්නේ විවිධත්වය නිසාය. විවිධ ජාතීන් නියෝජනය කරන මිනිසුන් ලොව වාසය කරන බැවින් මිනිස් ලෝකය ලස්සන වී ඇති සේම විවිධ සත්ත්ව හා ශාකවර්ග නිසාවෙන් පරිසරය අලංකාර වී තිබේ. මෙම විවිධත්වය හදුන්වන්නේ ජෛව විවිධත්වය ලෙසය. ලොව ජෛව විවිධත්වයබහුලව පවතිනරටවල් අතරින් ශ්‍රී ලංකාවද එක් රටකි.එහෙත් ශ්‍රී ලංකාව තුළද සත්ත්ව වාසභූමි වසරින් වසර අඩුවෙමින් පවතින නිසා වන සතුන්ට එල්ලවන තර්ජනදවැඩිවෙමින් පවතින අතර, ඒනිසාම ශ්‍රීලංකාව ජෛව විවිධත්වය අතින් උණුසුම් කලාපයක්ද වී තිබේ.

මේඅතර ශ්‍රීලංකාවේ ස්වාභාවික වනාන්තර ප්‍රමාණය 20෴ටත් වඩා අඩුවෙමින් පවතියි. ලංකාවේ වැඩිම ජන කොටසක් වාසය කරන්නේද, අඩුම වනාන්තර ප්‍රමාණයක් පවතින්නේද බස්නාහිර පළාත තුළය. එහෙයින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වනාන්තර ප්‍රමාණය 1෴කටත් වඩා අඩු මට්ටමක පවතී.මේ තත්ත්වය තුළ මෙම ප්‍ර‘දේශවල සිටින වනජීවීන්ගේ තත්ත්වය කෙබඳුදැයි ඔබට අමුතුවෙන් පහදා දිය යුතු නැත. නිතර නිතර විවිධ අනතුරුවලට මුහුණදීමට සිදුවන මෙම ප්‍ර‘දේශයේ වනජීවීන්ට ප්‍රතිකාර කිරීමට ස්ථානයක් හෙවත් රෝහලක් තිබුණානම් එය කෙතරම් වටින්නේද?

බස්නාහිර පළාත තුළ වන සතුන් මුහුණදෙන මෙම ගැටලුව හඳුනාගත් ජලජ සම්පත් කළමනාකරණ සංවිධානය (OARM), ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වනජීවී සුරැකුම් මධ්‍යස්ථානයක් බෙල්ලන්විල අත්තිඩිය අභය භූමිය තුළ ඉදිකිරීමට කටයුතු කර ඇත. මේ සඳහා ජගත් පරිසර පහසුකම් ව්‍යාපෘතියේ සුළු මූල්‍ය ආධාර වැඩසටහන විසින් මූල්‍ය ආධාර සපයාදී තිබේ.වනජීවී සුරැකුම් මධ්‍යස්ථානය වනජීවී අමාත්‍යාංශයටබාරදීම මේවනවිට සියලු කටයුතු සිදුකොට හමාරය නියමිතය.

මව අහිමිවන පැටවුන්, විදුලිසැර වැදීම, වාහනවල ගැටීම, බල්ලන්, පූසන්, කපුටන් වැනි සතුන්ගෙන් හානි සිදුවීම, විෂ සහිත ආහාර ගැනීම, මිනිසුන් විසින් සිදුකරන පහරදීම් ඇතුළු විවිධාකාරයේ අකටයුතුකම් නිසා වනජීවීහු අනතුරට පත්වෙති.මෙලෙස අනතුරට ලක්වූවන්ට ප්‍රතිකාර නොදීම නිසත්, ප්‍රතිකාර කිරීමට නොදැනීම නිසාත් වසරකට මියයන වනජීවීන් ප්‍රමාණය වැඩිවී තිබේ. වනජීවී දෙපාර්තමේන්තුවට අනුව එලෙස වැඩිම අනතුරු ගණනකට මුහුණදෙන සත්ත්වයා වන්නේ අප රටටම ආවේණික වූ කළුවඳුරාය.

වනජීවී දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2013 වර්ෂයේ පමණක් අනතුරට ලක්වූ කළු වඳුරන් සංඛ්‍යාව 52 කි. මීට අමතරව උකුස්සන් සහ රාජාලියන් වැනි සතුන්ද අනතුරට ලක්වන සතුන් අතර සුලබය.හෝතඹුවන්, උගුඩුවන්, හඳුන් දිවියන් වැනි සතුන්ද සුලභය.

උණහපුළුවන්, වවුලන්, විවිධ සර්පයන්, කිඹුලන් සහ විවිධ කුරුල්ලන් වර්ගද මෙලෙස නිතරම අනතුරට ලක්වේ.

වියළි කලාපයේ ජීවත්වන සතුන් මෙන්ම තෙත් කලාපයේ ජීවත්වන සතුන්ද මිනිසුන් විසින් සුරතලයට ඇතිකරන සතුන්ද මෙලෙස  නිතර අනතුරට ලක්වන සතුන් අතර වේ.

වනජීවී සුරැකුම් මධ්‍යස්ථානය තුළ බස්නාහිර පළාතේ අනතුරට ලක්වන සතුන් සඳහා ඉඩහසර වෙන්වන අතර, අත්තිඩිය අභය භූමියේ අක්කර පහක පමණ ප්‍රමාණයක් මේ සඳහා වෙන්කර තිබේ.

වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් මෙම ස්ථානයේ ස්ථිර සේවයේ නිරතවන අතර, අනතුරට ලක්වන වනජීවීන් මෙම ස්ථානයට ගෙනවිත් බාරදීමටද පුළුවන. මෙම ස්ථානයට ලැබෙන වනසතුන් වනජීවී දෙපාර්තමේන්තුව විසින් රැකබලා ගැනීමෙන් අනතුරුව සුදුසු ආරක්ෂිත පරිසරයකට මුදාහැරීමට නියමිතය.

වනජීවී සුරැකීම් මධ්‍යස්ථානයේ පළමු අදියර ලෙස මෙය විවෘත වන අතර, ඉදිරියේදී පක්ෂීන් සඳහා ප්‍ර‘දේශයක්ද, කිඹුලන් සඳහා ප්‍ර‘දේශයක්ද, ශල්‍යාගාරයක්දමෙහි ඉදිකිරීමට ජලජ සම්පත් කළමනාකරණ සංවිධානය බලාපොරොත්තු වෙයි.

වනජීවී සුරැකීම් මධ්‍යස්ථානය හෙවත් සත්ත්ව රෝහල පිහිටුවීමට මූලිකත්වය ගත් පිරිස් මේපිළිබඳවමෙසේ අදහස් දැක්වූහ.

ජලජ සම්පත් කළමනාකරණ සංවිධානයේ සභාපති ශාන්ත ජයවීර මහතා

&ලෝකයේ රටවල් අතරින් ජෛව විවිධත්වය වැඩි රටක් ලෙස ශ්‍රී ලංකාව සලකනවා. නමුත් මේ සතුන්ට ජීවත් වෙන්නට තිබෙන ස්වාභාවික පරිසරය අද වනවිට අඩු වී තිබෙනවා. මේ නිසා සතුන් නිතරම මිනිස් වාසභූමි වෙත පැමිණෙනවා. එහිදී සතුන්ට විවිධ ගැටලුවලට මුහුණ පාන්නට සිදුවෙනවා. විවිධ අනතුරු සිදුවෙනවා. මෙවැනි සතුන් හමුවූ විට ඔවුන්ට ප්‍රතිකාර කරන්නට තැනැක් නොමැති වීම ගැටලුවක්.

අතීතයේ ජාතික සත්ත්වෝද්‍යානය සමහර සතුන් බාරගත්තත්, අනිකුත් සතුන්ට ලෙඩ රෝග පැතිරෙයි කියල හිතලා ඔවුන් එය නවත්වා තිබෙනවා. මේ මධ්‍යස්ථානය හදන්නේ ඒ සතුන් රැකබලාගෙන, ඔවුන්ට ප්‍රතිකාර කර, අනතුරුව නැවත මෙම සතුන් ස්වාභාවික පරිසරයට මුදාහරින්න.ඒ නිසයි වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙන්නේ.

මේ මධ්‍යස්ථානය ආරම්භ කළාට පසු වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු සහ පශුවෛද්‍යවරයෙකු ස්ථිර වශයෙන්ම මෙම ස්ථානයේ කටයුතු කරනවා. ජලජ සම්පත් කළමනාකරණ සංවිධානය ලෙස බොහෝ දුරට සතුන්ගේ සංරක්ෂණයට දායක වන ක්‍රියාකාරකම් බොහෝමයක් අපි සිදු කරනවා.බොහෝ කාලයක් පුරාවට අප තුළ තිබූ අදහසක් තමයි මේ අද ක්‍රියාවට නැංවෙන්නෙ. ගෝනුන්, මුවන් වගේ විශාල සතුන් සඳහා විශාල කූඩුත්, වඳුරන්, උරුලෑවන්, හඳුන් දිවියන් වැනි කුඩා සතුන්ටත්, සර්පයන්ටත් ප්‍රතිකාර කිරීමට ස්ථාන නිර්මාණය කරනවා. විශේෂයෙන්ම මතක් කරන්න දෙයක් තිබෙනවා.මේ මධ්‍යස්ථානය ඇතිකළාට පසුව තමන්ගෙ නිවසට සතෙක් පැමිණියත් අපට දුරකථන ඇමතුම් ලබාදේවි. එසේ නොවී මේ මධ්‍යස්ථානයට කරදරයක් නොවන අයුරින් කටයුතු කරන්න ජනතාව ආකල්පමය වශයෙන්තීරණය කළ යුතුයි. ඒ වගේම සතුන්ට හානි නොකර සිටීමටත් ජනතාව හුරුවිය යුතුයි.*

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර කලාපයේ පශුවෛද්‍ය නිලධාරී සුහද ජයවර්ධන මහතා

&බස්නාහිර වනජීවී කලාපයේ සිටින වන සතුන් රැඳවීමට තමයි මේ මධ්‍යස්ථානය ආරම්භ කළේ. බස්නාහිර පළාත තුළ සිටින සතුන් අතරින් තුවාල වී අවතැන් වන සතුන් මේ ස්ථානයේ රඳවලා මේ ස්ථානයේ තුළදීම ප්‍රතිකාර කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නෙ.විශේෂයෙන්ම ලංකාවට ආවේණික වූ සතුන් සහ අන්තරාවට ලක්වූ සතුන් මේ ස්ථානයේ සිටින නිසා මෙම ස්ථානයේ වැදගත්කම ඉහළයි. වනජීවී දෙපාර්තමේන්තුවේ බස්නාහිර වනජීවී කලාපය තුළට ලැබෙන සතුන් බහුතරයක් මෙම ස්ථානයේ රැඳවීමට අපි බලාපොරොත්තු වෙනවා.නැවත කැලයට මුදාහරිනතුරු ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමත්, ඔවුන් රැකබලා ගැනීමත් තමයි මෙහිදී අපේ රාජකාරිය වී තිබෙන්නෙ. වනජීවීන්ට ඉතාම හොඳසුභසාධනයක් සැලසීමට හැකි වන පරිදි මෙම ස්ථානය පවත්වාගෙන යාමට අපි උත්සාහ කරනවා.

විශේෂයෙන්ම දැනට වඳවීමේ තර්ජනයට මුහුණදී සිටින බස්නාහිර පළාතේ කළු වඳුරා, හඳුන් දිවියා, වල් බළලා වගේ සතුන් සහ කැස්බෑවා, පිඹුරා වගේ සතුන්, පක්ෂීන් වර්ගත් මෙම ස්ථානයේ රැඳවීමට හැකිවන අයුරින් මෙම ස්ථානය වැඩිදියුණු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

ජගත් පරිසර පහසුකම් වැඩසටහනේ සුළු මූල්‍යාධාර වැඩසටහන් ජාතික සම්බන්ධීකාරක ෂෙරීන් සමරසූරිය මහත්මිය

&වනජීවී සුරැකුම් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ජලජ සම්පත් කළමනාකරණ සංවිධානය (OARM) වෙත අපි මුදල් ලබාදුන්නා. විශේෂයෙන්ම අනතුරට ලක්වෙන වන සතුන් වෙනුවෙන් පිහිට වන මධ්‍යස්ථානයක් ලෙසයි අපි මෙය ආරම්භ කරන්න අදහස් කළේ.

වනජීවී දෙපාර්තමේන්තුව මේ සඳහා ඍජුවම සම්බන්ධ වී සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ජගත් පරිසර පහසුකම් යටතේ සුළු මූල්‍ය ආධාර වැඩසටහනින් තමයි මේ සඳහා ආධාර ලබාදුන්නේ.

විශේෂයෙන්ම මේ සඳහා ලක්ෂ 65ක පමණ මුදලක් වියදම් කර තිබෙනවා. ඉදිරියේ අදියර කිහිපයකින් මෙම වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.*

Add a Comment

Your email address will not be published. Required fields are marked *