Home » විවිධ » සමාජ විමර්ශන » දේශයේ අවශ්‍යතාවය වන ආගමික සහජීවන උදෙසා කල යුත්තේ කුමක්ද?
slid1

දේශයේ අවශ්‍යතාවය වන ආගමික සහජීවන උදෙසා කල යුත්තේ කුමක්ද?

ආගම් දර්ශන ලොව පහළ වන්නේ මිනිසා නිසි මග යවනු පිණිස ය. මිනිසා මිනිසත්කමින් පෝෂණය කරනු පිණිස ය. එහෙත් වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය නම් මිනිසා ආගම වෙනුවෙන් මිනිසත්කමින් තුරන්වීමයි. ආගමක මුඛ්‍ය පරමාර්ථයවත් නොදත් බොහෝ දෙනා ආගම වෙනුවෙන් හඬ නගති. එකිනෙකා හා ගැටුම් ඇති කර ගනිති. ආගම වෙනුවෙන් සංවේදී වන ඔවුන් මිනිසත්කමේ නාමයෙන් එකිනෙකාට සංවේදී නොවීම කෙතරම් කණගාටුදායක තත්ත්වයක් ද? මෙකී තත්ත්වය අද ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන් ආසියානු කලාපීය රටවල සුලභව දැකිය හැකි ය. අප රට තුළ ද මෙවැනි ආගමික ගැටුම් ඇති වීම කණගාටුවට කරුණකි. කෙසේ වෙතත් දැන් කළ යුතුව ඇත්තේ ඒවා වැළැක්වීම සඳහා වහ වහා පියවර ගැනීමයි.

islamic-state-iraq-sham_4-660x330

බුදුදහම ප්‍රමුඛ කරගත් හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී විවිධ ආගමික අනුගාමිකයන් ජීවත්වන අප රටට ආගමික සහජීවනය අත්‍යන්තයෙන් අවශ්‍ය වූවකි. කළ යුතුව ඇත්තේ එවැනි ගැටුම් ඇති වීමට බලපාන හේතුවලට පිළියම් කිරීමයි. එමෙන් ම උද්ගතව ඇති ගැටුම්වලට දීර්ඝකාලීන විසඳුම් සෙවීමයි. ඒ සඳහා හුදු ප්‍රාථමික ක්‍රියාමාර්ග අනුගමනය නොකළ යුතු ය. පසුගිය කාලයේ දී ඇතැම් අය විසින් අලුත් අවුරුදු සමයේ ඉදිරිපත් කරන ලද සිංහල,හින්දු, මුස්ලිම් අලුත් අවුරුදු සංකල්පය ද වෙසක් සමයේ දී විවිධ ආගමික සංකේත ඇතුළත් සැරසිලි ද ආගමික සහජීවනය ඇති කිරීම සඳහා ගන්නා ලද ප්‍රාථමික ප්‍රයත්නයන්ගෙන් කිහිපයකි. මතුපිටින් නොව ගැඹුරින් ආගමික සහජීවනය පිළිබඳ වටහාගැනීම අත්‍යවශ්‍ය ය. එකිනෙක අනන්‍යතාවන් අනිසි ලෙස සම්බන්ධ කිරීමෙන් අනපේක්‍ෂිත ගැටුම් නිර්මාණය විය හැකි ය.

_66482836_66482835

මේ සියලු කාරණා සඳහා ජනතාව දැනුවත් විය යුතු ය. ප්‍රබුද්ධ විය යුතු ය. ඒ සඳහා වූ සාකච්ඡා පැවැත්විය යුතු ය. මේ සම්බන්ධ ඉතා වැදගත් ජාත්‍යන්තර සමුළුවක් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් 2015 වර්ෂයේ අප්‍රේල් මස 22 හා 23 යන දෙදින ඇතුළත ආචාර්ය මණ්ඩලයේ මෙන් ම ශිෂ්‍යයන්ගේ ද සංවිධානත්වයෙන් පැවැත්වී ය. එය අතිශයින් අගය කළ යුතු ප්‍රශංසනීය කටයුත්තකි. දෙස් විදෙස් ආගමික නායකයෝ මෙන් ම විවිධ ආගමික භක්තිකයෝ ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ. බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආදී විවිධ ආගම් නියෝජනය කරන පිරිස් ආගමික සංහිඳියාව සඳහා වූ ආගමික ඉගැන්වීම් පිළිබඳ සාකච්ඡා කළහ. එහි දී පෙනී ගියේ සෑම ආගම් දර්ශනයක් ම එවැනි ඉගැන්වීම්වලින් යුතු බවයි. මෙම සම්මන්ත්‍රණය වර්තමානයේ බොහෝ අයගේ දෝෂ දර්ශනයට ලක් වන සර්වාගමික සමුළුවක් මෙන් නොවී ය. එහිදී විවිධ ආගම්හි පවතින සංහිඳියාව පිළිබඳ වූ ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු විය. ලොව පවතින සියලු ආගම් එකිනෙක හා සමාන යැයි කීමට කිසිවෙකුටවත් අවශ්‍ය වූයේ නැත. ආගමික සංහිඳියාව සඳහා වූ ආගමික සංකල්ප ඉස්මතු කිරීමෙහි වැදගත්කම එහි දී දැඩිව අවධාරණය විය. එමෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ එකී ආගම් දර්ශන ඉගැන්විය යුතු බවත්,පුද්ගලයන්ගේ කැමැත්ත මත ආගම් පිළිපැදීමේ අවකාශ විවර කළ යුතු බවත් සාකච්ඡා වීම පැසසිය යුතු කරුණකි.

Pope Francis meets religious leaders at the Bandaranaike Memorial International Conference Hall in Colombo, Sri Lanka, Jan. 13. (CNS photo/Paul Haring) See POPE-RECONCILIATION Jan. 13, 2015.

අප අදහස නම්, ආගමික සහජීවනය උදෙසා අවධානය යොමු කළ යුතු එළඹුම් දෙකක් පවතින බවයි. එනම්,
සදාචාරාත්මක එළඹුම
නෛතික එළඹුම
මෙම අංශ දෙකම ශක්තිමත් විය යුතු ය. සියලු ආගම් නියෝජනය කරන පිරිස් සදාචාරාත්මක විය යුතු ය. එකිනෙකාට ගරු කළ යුතු ය. එකිනෙකාගේ අයිතිවාසිකම් සුරැකිය යුතු ය. මේ සඳහා උපදෙස් දෙන ප්‍රධාන ආගමික දර්ශනය නම් බුදුදහමයි. බුදුදහම සියලු දෙනා සමග සුහදව, සදාචාර සම්පන්නව ජීවත්විය යුතු අන්දම උගන්වන විශ්වීය දහමකි. ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී ආගම්වල ද සහජීවනය සඳහා වූ ඉගැන්වීම් දැකිය හැකි ය. ආගමික නායකයින් කළ යුතුව ඇත්තේ එවැනි සදාචාරාත්මක ඉගැන්වීම් සමාජගත කිරීමයි. ආගම වෙනුවෙන් පෙනී සිටීමට වඩා ආගමික ඉගැන්වීම් ප්‍රායෝගිකත්වයට නැගීමේ වැදගත්කම අවධාරණය කළ යුතුය.
නෛතික එළඹුම රටේ නීතිය හා බැඳී පවති. ආගමික සහජීවනයට බාධා පමුණුවන අයට නෛතික ක්‍රියාමාර්ග ගත යුතු ය. ආගමික ස්ථාන අනිසි ලෙස අත්පත් කර ගන්නවුන්ට ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.

kuragala-03

නෛතික එළඹුම අතර විශේෂයෙන් සාකච්ඡාවට බඳුන්විය යුතු කාරණයක් ඇත. එනම්, රටක නීතිය එක් එක් ජන කොටස්වලට විවිධ අයුරින් ක්‍රියාත්මක වේ නම් ගැටලු ඇති වීම ස්වභාවික තත්ත්වයකි. අප රට තුළ රෝම-ලන්දේසි නීතිය, මුස්ලිම් නීතිය, තේසවලාමේ නීතිය යනුවෙන් එකිනෙක ජන කොටස් බෙදී යන පරිදි නීතිය බලාත්මක කොට ඇත. අපගේ අදහස නම් රටක නීති වර්ගීකරණ කිහිපයක් ක්‍රියාත්මක වීම රටේ ජාතික සමගියට මෙන් ම ආගමික සහජීවනයට බලවත් තර්ජනයකි. රටක ජීවත්වන සෑම පුරවැසියෙකුට ම එක ම නීතිය සමසේ ක්‍රියාත්මක නොවීම සැබැවින් ම ගැටලුවකි. නීති බලාත්කම කිරීම ද ජාති හා ආගම් බේදයකින් තොරව සිදුවිය යුතුය. එක් රටක් තුළ එක් නීතියක් (One Country, One Law) ක්‍රියාත්මක විය යුතුය. මේ සඳහා නීති සම්පාදකයන් මෙන් ම දේශපාලන අධිකාරිය ද ජාතික සමගිය වෙනුවෙන් මෙන් ම ආගමික සහජීවනය වෙනුවෙන් කතිකාවතක් ගොඩනැගීම ඉතා ඉක්මණින් කළ යුතුව ඇත.

LegalPic1

ඉහත සඳහන් කළ අන්දමට සදාචාරාත්මක සහ නෛතික යන දෙඅංශයේ ම මැදහත්වීම ආගමික සහජීවනය සඳහා අවශ්‍යව ඇත.  ආදානග්‍රාහී ආගමික චින්තනයෙන් තොරව ලොව දෙස විවෘතව බැලීම අද යුගයේ අවශ්‍යතාවකි. ආගම් දර්ශන විශ්වීය අගයකින් යුක්තවීම හා සමාජගත කිරීමේ වැදගත්කම සියලු ආගමිකයින් විසින් සිහියට ගත යුතුව ඇත. මේ සඳහා ආගමික නායකයන්, ජනතාව මෙන් ම දේශපාලනඥයන් ද ප්‍රබුද්ධව කටයුතු කිරීම අද යුගයේ අවශ්‍යතාවකි.
කරගස්වැවේ වජිර හිමි,
කථිකාචාර්ය,
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය,
පේරාදෙණි විශ්වවිද්‍යාලය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *