Home » විවිධ » සැඟවුණු අරුත් ඇති, සිත නිවන සෙන් උපමා කතා කියවන්න
980x

සැඟවුණු අරුත් ඇති, සිත නිවන සෙන් උපමා කතා කියවන්න

සැබෑ ගුරුවරයෙක්

zen-sanzen-teacher1

බන්කෙයි නම් සෙන් ගුරුතුමා රටරටවලින් පැමිණි විවිධාකාරයේ ගෝලයන් පිරිසකට ධර්මය ගැන කියා දෙමින් භාවනා ක්‍රම පුහුණු කරමින් සිටියේය. ඒ අතරින් එක් ගෝලයෙක් සොරකම් කරන්නට පුරුදුව සිටි අයෙකි. ගෝලයෝ තමන් සතු යම් යම් දෑ නැති වූයෙන් ඒ ගැන ගුරුතුමාට පැමිණිලි කළහ. ගුරුතුමා එය ගණන් නොගෙන සොරකම් කිරීමේ පුරුද්ද අත්හළ යුතු එකකැයි පොදුවේ සියලූ දෙනාම අවවාද කළේය. එත් සොරකම එතැනින් නතර නොවීය. ඉන්පසු ගෝලයන් විමසිල්ලෙන් පසු වූයෙන් සොරකම අතටම අල්ලා ගත හැකි විය. ඔවුහු සොරා අල්ලා ගෙන ගොස් ගුරුතුමාට ඉදිරිපත් කළහ. සොරා පන්සලෙන් පන්නා දමන ලෙස ඉල්ලා සිටියහ. ඒත් ගුරුතුමා ඔහුට අවවාද කළා මිස වෙන කිසිවක් කළේ නැත. සොරකම නතර නොවීය. තවදුරටත් ඉවසා සිටිය නොහැකි ගෝලයෝ සොරා පන්සලෙන් නොරපා නොදැමුවොත් තමන් සියලූ දෙනාම එක්ව පන්සල හැර වෙනත් ගුරුතුමකු සොයා යන බව ඔවුන් සියලූදෙනාගේම අත්සන් සහිත පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියහ.
ගුරුතුමා ඔවුන් සියලූ දෙනාම එක් රැස් කළේය. චෝදනා ලැබූ ශිෂ්‍යයා ද එහි ගෙන්වීය. ඊළඟට ගුරුතුමා කාටත් ඇසෙන සේ පෙත්සම කියවීය. අනතුරුව ගෝලයන් අමතා මෙසේ කීය:
‘‘බොහොම හොඳයි, ඔබ හැම දෙනාම හොඳ නරක හැම දෙයක් ගැනම දන්නා අයයි. ඒ නිසා ඔබ හැමදෙනාටම  ඕනෑම තැනක ගොස්  ඕනෑම ගුරුවරයකුගෙන් ඉගෙනීමේ හැකියාව තියෙනවා. ඒත් මේ ගෝලයාට එහෙම නෑ. ඔහු අඩු තරමින් සොරකම නරක දෙයක් බව දන්නේ නෑ. ඒ නිසා ඔහුට හොඳ නරක කියා දෙන්න ඉන්නෙ මං විතරයි. ඔහු යහමගට ගැනීම මගේ පරම යුතුකමයි. ඒ නිසා කැමති අයට යන්න පුළුවන්.“
ගුරුතුමාගේ ඒ කතාව අසා සිටි ගෝලයාගේ දෑසින් කඳුළු කැට කඩා හැළුණේය. ඔහුගේ සිතෙහි සොරකමට ඇති ආශාව එකණෙහිම අතුරුදන් විය.

හිතේ මඩ

monkcarryingwomanhd

තාන්සාන් හා එකිදෝ යන දෙදෙනා මඩ පාරක් දිගේ යමින් හිටියා. තද වැස්සක් ඒ වන විටත් වැටෙමින් තිබුණා.
පාරේ වංගුවක් ළඟට එද්දී එහි ලොකු මඩ වළක් තිබුණා. ඒ අද්දර ඔවුන්ට සේද කිමෝනාවක් හැඳි ලස්සන යුවතියක් දක්නට ලැබුණා. ඇය ඒ මඩ පාර හරහා යන්න බැරිවයි බලාගෙන හිටියෙ.
‘‘එන්න, කෙල්ලේ‘‘ කියූ තාන්සාන් එක්වරම ඇය ඔසවා ගෙන ගොස් ඒ මඩ වළෙන් එගොඩ කළා.
එකිදෝ ඒ නුදුටුවා වාගේ හයියෙන් හයියෙන් ඉදිරියට ගියා. තාන්සාන් දැරිවි පාරේ අනෙක් පැත්තෙන් තියා හැරී බලන විට එකිදෝ හුඟක් දුර ගිහින්. තාන්සාන් ගමන් වේගය වැඩි කර ගිහින් බොහොම අමාරුවෙන් එකිදෝට එකතු වුණා.
එකිදෝ එදා රාත්‍රියේ නවාතැන් ගත් පන්සලට යන තෙක් තාන්සාන් හා කතා බහ කළේ නෑ. තවදුරටත් නිහඬ ඉන්න බැරි වූ තැනයි එකිදෝ කතා කළේ. ‘‘අපි හාමුදුරුවරුන් වුනාම කාන්තාවන් ළඟට යන්න හොඳ නෑ.“ කී ඔහු තාන්සාන්ගෙන් මෙහෙම ඇහුවා: “විශේෂයෙන් ම ඒ අය තරුණ ලස්සන කාන්තාවන් නම් තවත් භයානකයි. ඔබ ඇයි එහෙම කළේ?“
“මම නම් ඒ ගෑනු ළමයා එතැන තියලා ආවා. ඒත් ඔබ තාම එයාව ඔසවගෙන ඉන්නවද?“ තාන්සාන් උත්තර දුන්නා.

තේ කෝප්පය

Tea-700x400

නැන්-ඉන් ජපන් සෙන් ගුරුවරයෙක්. මෙයිජි (1868-1912) යුගයේ තමයි, ජීවත් වුණේ. ඔහු හමුවීමට විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් ආවා, සෙන් ගැන ඉගෙන ගන්න ආසාවෙන්.
මුලින් ම නැන්-ඉන් ඔහුට තේ පැන් පිරිනැමුවා. ඔහු අමුත්තාගේ කෝප්පයට තේ වත් කළා. ඒ කෝප්පය පිරී ඉතිරී ගියා. ඒත් නැන්-ඉන් තේ වත් කරන එක නතර කළේ නෑ.
මහාචාර්යවරයා ඒ දෙස ගල් ගැසී බලා සිටියා. තේ පිරී ඉතිරී යනවා. තවදුරටත් බලා ඉන්න බැරි තැන මහාචාර්යවරයා හඬ අවදි කළා. ‘‘ඒක පිරිලා නෙ. තවත් වත් කළාට වැඩක් නෑ“
“මේ කෝප්පෙ වගේ ඔබේ ඔළුවත් අදහස් හා සිතිවිලිවලින් පිරිලා ඉතිරිලයි තියෙන්නෙ. මං ඔබට සෙන් කියා දෙන්නෙ කොහොමද මුලින් ඔබ ඔබේ කෝප්පය හිස් කර ගත්තෙ නැත් නම්“ නැන්-ඉන් කීවා.

Add a Comment

Your email address will not be published. Required fields are marked *