Home » සාහිත්‍ය » පාලි සාහිත්‍යය පෝෂණය කළ ගිහි පඩිවරු
Silhouette of a woman doing yoga on the beach at sunset

පාලි සාහිත්‍යය පෝෂණය කළ ගිහි පඩිවරු

පාලි සාහිත්‍යය පෝෂණය කළ ගිහි ප`ඩිවරු

හසන්ත සමරසිංහ

  1. A. {First Class Honors} (USJP)

(තාවකාලික කථිකාචාර්ය,

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය, කැලණිය,

මහාවංස පාලි ගාථා සම්පාදක,

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව*

 

බුදු රජාණන් වහන්සේගේ මුල් බුද්ධ දේශනාවේ භාෂා මාධ්‍යය පාලි ය. එය මාගධී, තන්ති යන නම්වලින් ද කලකදී හදුන්වා තිබේ. ථේරවාද පාලි සම්ප‍්‍රදාය විසින් ත‍්‍රිපිටක බුද්ධ දේශනාවේ පැහැදිලි අර්ථ මතු කරගැනීමට නම් නිරුත්තිය දැන සිටීමේ වැදගත්කම පෙන්වා දෙනු ලැබ ඇත.

‘‘යො නිරුත්තිං න සික්ඛෙය්‍ය – සික්ඛන්තො පිටකත්තයං,

පදෙ පදෙ විකඕඛෙය්‍ය – වනෙ අන්‍ධගජො යථා’’

(මොග්ගල්ලානපඤ්චිකා, කවිදප්පණනීති)

‘‘යමෙක් (ත‍්‍රිපිටක පාලි) භාෂාව ඉගෙන නො ගනිමින් ත‍්‍රිපිටකය ඉගෙන ගන්නේ ද ඒ තැනැත්තා වනයෙහි හැනිරෙන අන්ධ ඇතෙකු (ඒ ඒ ගස් ආදියෙහි හැපෙන්නාක්) මෙන් පදයක් පදයක් පාසා සැක කරන්නේ ය.’’

මෙයින් පැහැදිලි වනුයේ ත‍්‍රිපිටකය පිළිබද නිරාකූල, පිරිසිදු පැහැදිලි දැනුමක් ඇති කර ගැනීමට නම් එහි භාෂා මාධ්‍යය වන පාලි භාෂාව පිළිබද හොද දැනුමක් තිබිය යුතු බව යි. ඇතැම් විටෙක අනුන් ධර්මය විස්තර කරන විට දී වැරදි සිදු විය හැකි ය. පිරිසිදු පාලි හා ධර්ම දැනුමක්, අවබෝධයක් නොමැති විට එම වැරදිවලට හසු වීම ස්වභාවික ය. මේ තත්ත්වය වටහා ගත් ලොව පුරා විසූ සහ වසන ඇතැම් උද්යෝගීමත් ගිහි පිරිස් ද පාලි භාෂාව ඉගෙන ගැනීමට පෙලබී ඇත. ඔවුන්ගෙන් සමහරු තමන් පමණක් පාලි ඉගෙනීමෙන් සෑහීමකට පත් නො වී අනුනට ද පාලි ඉගැන්වීම වෙනුවෙන් පොත පත ලිවීම, පැරණි ධර්ම ග‍්‍රන්ථ සංස්කරණය හා පරිවර්තනය යනාදියට ද ඉදිරිපත් වූහ.

අත්තරගම රාජගුරු බණ්ඩාර පඩිවරයා (ක‍්‍රි. ව. 1700 වර්ෂ ගණන්වලදී පමණ) කීර්ති ශ‍්‍රී රාජසිංහ මහ රජු කල බිහි වූ සුවිශේෂී පාලි විද්වතෙකි. බාල කාලයේදී වැලිවිට සරණංකර සංඝ රාජයන් වහන්සේ වෙතින් පාලි ව්‍යාකරණාදිය ඉගෙන ගත් මොහු පසු ව පැවිදි උපසම්පදා විය. එහෙත් පසු කලෙක පරසතුරු උපද්‍රවයක් ඇති වූ බැවින් මෙතුමාට රජුගේ නියමය පරිදි සිවුරු හැර ගිහි වන්නට සිදු විය. එම සතුරු උවදුරු ඉක්ම ගිය පසු රාජගුරු භාවයට පත් වූ මෙතුමා සූධීරමුඛමණ්ඩනය වැනි පාලි ව්‍යාකරණ පොත් ආදිය ලියුවේ ය.

ෙදාන් අන්දිරිස් ද සිල්වා බටුවන්තුඩාවේ ප`ඩිතුමා (ක‍්‍රි. ව. 1819 – 1892) කුඩා කල පටන් ඉගෙනීමෙහි දක්‍ෂයෙකු වූ බැවින් නාදුගල රේවත තෙරණුවෝ මෙතුමා කුඩා කාලයේදී පැවිදි කරගත්හ. තිස් පස් වැනි වියේදී සිවුරු හැර නැවත ගිහි බවට පැමිණි බටුවන්තුඩාවේ ප`ඩිතුමා එවකට ප‍්‍රකට දේවගැතිවරයෙකු ව සිටි ඞී. ජේ. ගොගර්ලිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති නොර්මල් පාඨශාලාවේ ආචාර්යවරයෙකු බවට පත් විය. එහදී ගොගර්ලි දේවගැතිවරයා බුද්ධාගමට විරුද්ධ ව ලියූ ක‍්‍රිස්තියානි ප‍්‍රඥප්ති නම් පොතක සෝදු පත් බලන ලෙස මෙතුමාගෙන් කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ බැවින් පාසැලෙන් අස් කරන බැව් පැවසී ය. හිතට එකග ව වංචාවක් කරනු අකැමැති වූ ඔහු තනතුරෙන් ඉල්ලා අස් විය. අනතුරු ව වැඩි කලක් ගත වන්නටත් පෙර විවාහ දිවියට පත් හෙතෙම පසු කලෙක එම විවාහය නිසා පුතුන් සතර දෙනෙකු දූවරු දෙදෙනෙකු ද ලැබුවේ ය.

මුලින් ස`දහන් කළ ක‍්‍රිස්තියානි ප‍්‍රඥප්ති කෘතියට පිළිතුරු ලිවීමට අදහස් කළ මෙතුමා ක‍්‍රිස්තියානි ප‍්‍රඥප්ති ඛණ්ඩනය නමින් කෘතියක් රචනා කළේ ය. එහෙත් ඉන් අනතුරු ව ඇති වූ ගැටලූව වූයේ තමන් විසින් රචනා කළ කෘතිය මුද්‍රණය කරගැනීමට ඒ වන විට බෞද්ධ මුද්‍රණාලයක් නොමැති වීම යි. එබැවින් ශිල්පීන් ලවා ලී තහඩුවල අකුරු කප්පවා පොත මුද්‍රණය කරවීය. අනතුරු ව බෞද්ධ මුද්‍රණාලයක් පිහිටුවීමෙහි ලා උත්සාහවත් වූ මේ තෙමේ ලංකාභිනව විශ‍්‍රැත නමින් යන්ත‍්‍රාලයක් පිහිටුවීය. නවකයින්ට පාලි හා සිංහල භාෂා ඉගෙනීමට උපකාර වන පොත් මුලින් ම මුද්‍රණය කරවා ඇත්තේ මෙහි ය.

හික්කඩුවේ සිරි සුමංගල මාහිමියන් සමග එක් වී මහාවංසය සිංහලට නැගූ බටුවන්තුඩාවේ පඩිතුමා එහි මූල පාලි කොටස ද මුද්‍රණයට සංස්කරණය කළේ ය. අනතුරු ව බාලාවතාරය හා කච්චායනධාතුමඤ්ජුසාව වැනි පාලි ව්‍යාකරණය ඉගෙනීමට උපකාර වන මූල ග‍්‍රන්ථ ද මෙතුමන් විසින් තව දුරටත් සංස්කරණය කිරීමෙන් හා බොහෝ ශිෂ්‍ය පිරිසකට පාලි භාෂාව ඉගැන්වීමෙන් පාලි භාෂා විෂය අධ්‍යයනයට මහත් සේවයක් ඉටු විය. පාලි පොත පත ම සංස්කරණයෙන් නො නැවතුණු මේ පඩිවරයා පාලි භාෂාවේ ඥාති භාෂා වන සංස්කෘත හා සිංහල භාෂාවන්ගෙන් රචිත කෘති ද සංස්කරණය කළේ ය. ඒ අනුව අනුරුද්ධශතකය, අමරකෝෂය, වෘත්තමාලාඛ්‍යාව, සූර්යශතකය, මාධවය, රුවන්මල, පියුම්මල හා සිදත්සගරා පුරාණ සන්නය වැනි සංස්කෘත හා සිංහල භාෂා පොත් විශාල ප‍්‍රමාණයක් ද සංස්කරණය කළේ ය.

මේ ආදි වශයෙන් විශාල ලාංකේය ගිහි පිරිසක් පාලි භාෂාවේ උන්නතිය උදෙසා කැප වී ක‍්‍රියා කළහ. මෙහි ඉහතින් සදහන් කළ පඩිවරු දෙදෙනා ම කලක් පැවිදි වී සිටි බැවින් ඇතැම් විට ඇතැමෙකු ඔවුන්ගේ පාලි භාෂා ඥානය ගැන අවතක්සේරුවෙන් සලකන්නට ඉඩ ඇත. එබැවින් එවැනි දුර්මත ඉවතලීමට අදාළ කරුණු කිහිපයක් ද මෙහි ලා සටහන් කළ යුතු ය. කෙනෙකු පැවිදි වුවද පාලි, සංස්කෘත හා බුද්ධ ධර්මය පිළිබද බැස ගත් දැනුමක් ඉබේ ඇති නො වේ. එය වනාහි උත්සාහයෙන් හා වීර්යයෙන් ම ඇති කරගත යුත්තකි. පාලි භාෂා දැනුම ඇති කරගැනීමෙහි ලා ගිහියා හා පැවිද්දා යන දෙදෙනා ම දැරිය යුත්තේ එක හා සමාන උත්සාහයකි. කෙනෙකු කැමැති කාලයක් කැමැති සීලයක් රැුකීම ස්වභාවික දෙයකි. පැවිද්ද ද එසේ ම ය. ඒ සීලය රැක අවසන් වූ පසු ඔහු හෝ ඇය සමාජයේ අනෙක් අයට ද වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකි. ඒ මන්ද යත් අනෙක් අයට වඩා ඒ තැනැත්තා කලක් උසස් සීලයක් රැුකි නිසා ය.

තායිලන්තය වැනි රටවල් දෙස බැලීමෙන් මේ තත්ත්වය තවත් පැහැදිලි කරගත හැකි ය. එම රටවල සෑම පිරිමියෙකු ම පැවිදි ව සිටිය යුතු ය. පැවිදි වීම මෙන් ම සිවුරු හැරීම ද යන දෙක ම ස`දහා උත්සවයක් ගැනීම සිදු කෙරේ. විවාහයක් වන විට, රැුකියාවකට යන විට පැවිදි සහතිකයට විශේෂ සැලකිල්ලක් ලැබේ. වැඩි කලක් පැවිදි වී සිටි තැනැත්තාට වැඩි සැලකිල්ලක් ලැබෙන අතර පැවිදි වී නො සිටියේ නම් සැලකිල්ලක් නො ලැබේ. ජීවිතාන්තය දක්වා ම පැවිද්දේ සිටින පැවිද්දන් අති පූජනීය වේ. මෙවැනි තත්ත්වයක් ඒ රටවල ඇති නිසා බොහෝ දුරට සෑම දෙනෙකු කෙරෙහි ම පාහේ පාලි භාෂාව ගැන යම් හෝ දැනුමක් පවතියි. එසේ ම ඒ රටවල පැවිද්දන් කෙරෙහි සෑම පුද්ගලයෙකු තුළ ම අපමණ ගෞරවයක් හා නිසි අවබෝධයක් පවතියි. එය ලංකාවේ ජනතාවට සාපේක්‍ෂ ව බලන විට ඉතා ඉහළ මට්ටමක පවතියි. ඒ මන්ද යත් ඒ රටවල සෑම කෙනෙකු ම පැවිදි ව සිටි බැවින් පැවිද්දේ වටිනාකමත්, බැරෑරුම්කමත් ප‍්‍රායෝගික ව ම මනා ව දන්නා හෙයිනි.

බුරුම හා තායිලන්තය වැනි රටවල සාමාන්‍ය ජනයා අතර පවා බුද්ධ ධර්මය, පාලි භාෂාව වැනි විෂයන් කෙරෙහි කෙතරම් දැනුමක් ඇත් ද යත් විශාල ගිහි පිරිසක් අතින් පාලි පොත පත ලියැවී ඇත. කච්චායනය නම් පාලි ව්‍යාකරණ සම්ප‍්‍රදායේ පරිවාර ග‍්‍රන්ථයක් වන මුඛමත්තදීපනී කෘතියට කළ පුරාණ ටීකාව වන න්‍යාසප්පදීප නම් කෘතිය රචනා කරන ලද්දේ ඇමතිවරයෙකු විසිනි. බුරුමයේ අරිමද්දන නුවර විසූ නරපතිසීසු රජු කල එනම් බු. ව. 1718 දී පමණ එම රජුගේ ඇමතියෙකු විසින් මෙම කෘතිය ලියා තිබේ. මෙය ලිවීමට පසුබිම් වූ කථාව මෙසේ ය. රජුගේ අන්තඃපුරයෙහි උපන් කුමරියක කෙරෙහි මේ ඇමතියා තුළ කැමැත්තක් ඇති විය. ඒ බව දැන ගත් රජු ඇමතියාට පාලි භාෂාවෙන් ගැඹුරු ග‍්‍රන්ථයක් කළ හොත් එම කුමරිය ඔහුට දෙන බව පැවසුවේ ය. කුමරිය ලබා ගැනීමෙහි උත්සුක වූ ඇමතියා මෙම පාලි ව්‍යාකරණ ටීකාව රචනා කළේ ය. ඇමතියාගේ කෘතියට පැහැදුණු රජතුමා කුමරිය ද රජ්ජුග්ගාහක නම් මැණුම් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානත්වය ද ඔහුට දුන්නේ ය.

බු. ව. දෙදහස් ගණන් ආරම්භයේ දි පමණ බුරුම රට අරිමද්දන නුවර විසූ ච්‍යස්වා නම් රජුගේ දූ කුමරියක විසින් පාලි භාෂාවේ විභත්තිවලින් ගත හැකි නොයෙක් අර්ථ ප‍්‍රකාශ කිරීම සදහා විභත්ත්‍යත්‍ථ නම් කෘතිය රචනා කොට තිබේ. මැය විසින් රචිත මෙම පාලි ව්‍යාකරණ කෘතිය කෙතරම් සම්භාවනාවට පාත‍්‍ර වී ද යත් මෙම කෘතිය විවරණය කරමින් සුතබුද්ධි නම් භික්‍ෂුවක විසින් ටීකාවක් ද රචනා කොට තිබේ. මෙහි සදහන් ච්‍යස්වා රජු පාලි භාෂාව හා ධර්ම විනය පිළිබද හොද දැනීමක් තිබුණු අයෙකු විය. ඔහු රාජ්‍ය පාලනය යුව රජුට භාර දී භික්‍ෂූන්ට හා අන්තඃපුර ස්ත‍්‍රීන්ට ධර්මය ඉගැන්වූ බව සදහන් වේ. තවද මේ රජු විසින් ම පාලි කච්චායන ව්‍යාකරණ සම්ප‍්‍රදායේ පරිවාර ග‍්‍රන්ථයක් වන සද්දබින්‍දුව ද රචනා කරන ලදී. සද්දබින්‍දුව යනු පාලි කච්චායන ව්‍යාකරණයේ ව්‍යාකරණ කොටස් ඉතා කෙටියෙන් මතක තබා ගත හැකි පරිදි ගාථාවලින් ම රචිත කෘතියකි.

බු. ව. 1800 ගණන්වල බුරුම රට විජය පුරයේ විසූ චතුරංගබල ඇමතිවරයා ද සුවිශේෂී පාලි උගතෙකි. මොහු විසින් පාලි කෝෂ ග‍්‍රන්ථයක් වන අභිධානප්පදීපිකා නම් නිඝණ්ඩුවට ටීකාවක් රචනා කළේ ය. එම ටීකාවේ එක් කොටසක් අවසන මෙසේ ස`දහන් වේ.

‘‘සියලූ ව්‍යාකරණ නමැති මහ වනයෙහි නො පැකිලි ව ගමන් කරන ඥාන ගති ඇත්තා වූ, පණ්ඩිතයන් නමැති ඇතුනට සිංහරාජයෙකු වන්, ප‍්‍රඥාවන්ත වූ චතුරංගබල මහ ඇමතියා විසින් විරචිත අභිධානප්පදීපිකාවර්ණනාවේ සාමඤ්ඤකණ්ඩ වර්ණනාව අවසන් වේ.’’ යනුවෙනි.

සද්දසාරත්‍ථජාලිනිය නම් පාලි ව්‍යාකරණ කෘතිය කළ කණ්ටකක්ඛිපනාගිත පණ්ඩිත තෙර නමගේ උගත්කම විමසීමට එකල සිටි රජුට අවශ්‍ය වූ විට ඒ සදහා පිටත් කර හැරියේ මේ ඇමතියා ය. ඇමතියා විසින් තෙරුන්ගෙන් ප‍්‍රශ්න විමසා උන්වහන්සේගේ උගත්කම තේරුම් ගෙන ඒ බව රජුට දන්වන ලදී.

මීට අමතර ව රාමඤ්ඤ දේශාධිපති ව සිටි ධම්මචේතිය රජු විසින් එතුමාගේ රාජධානිය වූ හංසාවතී නුවර ක‍්‍රි. ව. 1400 ගණන්වල දී පිහිටුවන ලද පාලි භාෂාමය සෙල්ලිපියක් වේ. එය කල්‍යාණී සිලාලිපි නම් වේ. එරට බුදු සසුන පිහිටුවීමේ කථා පුවත ඇතුළත් මෙම සෙල්ලිපිය පොතකට ගත හැකි තරමේ ම දීර්ඝ පාලි සෙල්ලිපියකි. කලක් පැවිදි ව සිට ධර්ම විනය හා පාලි භාෂා දැනුම දියුණු කරගත් හෙතෙම පසු ව රාජ්‍යයට පැමිණ කලක් තිස්සේ අපිරිසිදු ව පැවති එරට බුදු සසුන ලාංකේය භික්‍ෂූන්ගේ ආධාරය ඇති ව පිරිසිදු කළේ ය. අනතුරු ව ඒ සියලූ පුවත් ඇතුළත් කොට මෙම සෙල්ලිපිය සැකසී ය.

මේ ආකාරයට ලොව පුරා සිටි ගිහි පාලි උගතුන් නිසා පාලි භාෂාවේ උන්නතිය උදෙසා විශාල සේවයක් ඉටු විය. මේ නිසා අදට ද පාලි ව්‍යාකරණය හා භාෂාව මැනවින් සුරක්‍ෂිත ව ඇත. තථාගත වචනය ආරක්‍ෂා කරගැනීමට නොයෙක් ආකාරයෙන් අනුපමේය කැප කිරීමක් කළ ඒ සැම සදා අනුස්මරණීය යි. අප විසින් කළ යුතු ව ඇත්තේ හුදෙක් ඔවුනගේ ගුණ කීම ම පමණක් නො ව ඔවුන් ගත් මග ගැනීම යි.

(පොල්වත්තේ ශ‍්‍රී බුද්ධදත්ත හිමියන් විසින් රචිත පොත පත මෙම ලිපිය සැකසීමේදී විශේෂයෙන් උපකාරී වූ බව කෘතඥතා පෙරටුව සටහන් කරමි)

 

Add a Comment

Your email address will not be published. Required fields are marked *