Home » සාහිත්‍ය » මහනුවරට ආවේණික ජනකතා..
Silhouette of a woman doing yoga on the beach at sunset

මහනුවරට ආවේණික ජනකතා..

මහනුවරට ආවේණික ජනකතා..

සෙංකඩගල නුවර රජකළ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමයි,  ඕලන්ද ජාතික වැන්රුක් කියන සෙන්පතියයි සම්බන්ධව ගෙතී ඇති මේ ජනකතාව හරිම අපූරු එකක්. ඒ වගේම ඇත්ත කතාවක්. හඟුරන්කෙත ජනතාවගේ මුවග අදත් රැව් පිළිරැව් දෙන කතාවක්.

මිල-මුදල්, තාන්න-මාන්න, හමුවේ සියල්ල පාවා දෙන මිනිස්සු ආද වගේම එදත් හිටියා. එදා රජුගේ හමුදාවේ සිංහල සෙනෙවියෝ කි‍්‍රස්තියානි ආගම වැළඳගෙන,  ඕලන්ද ආණ්ඩුකාරවරයාගෙන් නිලතල ලබාගෙන කන්ද උඩරට රාජ්‍යයයි, කීර්ති ශී‍්‍ර රාජසිංහ රජ්ජුරුවෝයි පාවා දෙන්න සැළසුම් හැදුවා. කි‍්‍රයාත්මක වුනා.

මේ සියල්ල එසේ සාර්ථකව කි‍්‍රයාත්මක වෙද්දී වැන්රුක් සෙනෙවියා සිංහලයන්ද ඇතුළුව විසිදාහක හමුදා බලඇණියක් අරගෙන කන්ද උඩරටට ආවා. රාසිං රජ්ජුරුවන්ට කර කියා ගන්න දෙයක් නැති වුණා. හොඳම පෙර සූදානම පැනයාම නිසා, දළඳා වහන්සේයි පාත‍්‍ර ධාතුවයි අරගෙන රජතුමා හඟුරන්කෙත දිහාවට පැන ගියා.

මේ බව දැනගත්  ඕලන්ද සෙනෙවියා සිංහලයන්ගේ අනුදැනුම ඇතිව රජ සොයා මුලූ හඟුරන්කෙතම පීරුවා. ජනතාවට පහර දෙමින්, ගෙවල් දොරවල් ගිනිබත් කරමින්,  ඕලන්ද සෙන්පති වැන්රුක් රජත්, දන්ත ධාතූන් වහන්සේත් තම භාරයට ගන්න උත්සාහ කළා.

රජුව කෙසේවත් අල්ලාගන්න ඔවුන්ට බැරි වුණා. ටික දිනක් ගතවුනා. රජු ආගන්තුකයෙකු ලෙස වෙස්වලාගෙන වයසක ස්ති‍්‍රයකගේ පැල්පතට ගොඩවුනා. රජුට ගොඩාක් බඩගිනියි.

‘‘අම්මේ බඩගිනියි. කෑමට මොකුත් නැද්ද?’’ ආගන්තුකයා ඇසුවා. උඩරට සිංහලයෝ ආගන්තුක සත්කාර හොඳින් දන්නවා. ඇය පැදුරක්. කොට්ටයක් පිල මත එළලා ආගන්තුකයාට විවේක ගැනීමට සළස්වා ඇය මුළුතැන්ගෙට ගියා.

සහල් හිඟ වූ එකල, ඇය සුන් සහල් ටිකක් ගෙන කිරිබතක් පිළියෙලක කර ආගන්තුකයාට පිළිගැන්වුවා. කිරිබත් තලිය අතට ගත් ආගන්තුකයා අධික උණුසුම නිසාම, තලියේ තැනින් තැන කිරිබත් කන්න උත්සාහ කළා. කන්න බැරිවුණා. අන්තිමට කිරිබත නිවෙන්න තිබ්බා.

මේ දුටු වයසක ස්ති‍්‍රය මෙසේ කීවා.

‘‘පුතේ උඹ කිරිබත් කන්නෙත් අපේ රාසිං රජ්ජුරුවෝ  ඕලන්දකාරයෝ එක්ක යුද්ධ කරනවා වගේමයි’’ කියලා කීවා.

‘‘ඒ කොහොමද අම්මේ’’ ආගන්තුකයා ඇසීය.

ඇයි රාසිං රජ්ජුරුවෝ  ඕලන්දකාරයෝ එක්ක සටන් කරන්නෙත් එහෙමනේ. තැනින් තැන, කලින් කලටනේ. පරදින කොට පලා යනවා. ඉතිං කොහෙමද යුද්ධයක් ජය ගන්නේ පුතේ’’…

වයසක කාන්තාව දුක්මුසු ස්වරයෙන් කීවා.

‘‘ඉතිං රාජසිංහ රජ්ජුරුවෝ කොහොමද කරන්න  ඕනේ අම්මේ’’ ආගන්තුකයා විමතියෙන් ඇසුවා.

‘‘පුතේ ඔය කිරිබත එක එක පිඩු හදලා තලිය තලිය වටේම තියාපන්. අන්තිම පිඩුව හදන කොට මුල් පිඩුව නිවිලා තියේවි. එතකොට ඒ පළමු පිඩුව කාපන් පුතේ. ඒ ගමන්ම දෙවන පිඩුව අරගෙන පළමු පිඩුව තිබූ තැනින් තියාපන්. මේ විදිහට එකින් එක එක තැනකට ගෙන කාපන් පුතේ.’’

වයසක කාන්තාව කීවා. රජුද එලෙසම සුන් සහල් කිරිබත කෑවා. එදා රජු එතැනින් නික්ම ගියේ යුද්ධ සංවිධාන කටයුතු ස්ථිරවම නිගමනය කරගෙනයි.

එදාම රාජ්‍යයේ කඩඉම් සියල්ල මුර ලවා පිළිවෙලින් භට සේනා යවා යුද්ධය පටන් ගත්තේය.

වැන්රුක් සෙනෙවියාගේ සේනාව හඟුරන්කෙත සටනේදී සිංහල සේනාව ඉදිරියේ අන්ත පරාජයට පත්වී පසු බැස්සේය. එසේ පලා යන විට දමාගිය එක් කාලතුවක්කුවක් පසු කලෙක මා ඔයේ වැටී තිබී හමුවිය.

එය අදත් හගුරන්කෙත රජමහා විහාර මළුවේ දක්නට ලැබේ. එදා ඒ උඩරට සිංහල වයස්ගත මැහැල්ලගේ උපාය ඥානය නිසා බුද්ධ ශාසනයත් දළඳා වහන්සේත් කීර්ත ශී‍්‍ර රාජසිංහ රජතුමාත් උඩරට රාජධානියත්  ඕලන්ද ජාතිකයන්ගෙන් ආරක්ෂා විය.

මාදින්නාගොඩ සුදත් විජේනායක.

Add a Comment

Your email address will not be published. Required fields are marked *